තයිරොක්සින් ස්‍රාවය වීම අඩු වුණොත් මොළයේ වර්ධනය බාල වෙයි

මැයි 25 වැනි දිනට යෙදුණු ලෝක තයිරොයිඩ් දිනය හා තයිරොයිඩ් පිළිබඳ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.
මැයි 30, 2022

 

පුංචි කිරිකැටියකුගේ සුසිනිඳු පතුල විද රුධිර බිංදු කීපයක් ලබා ගැනීම මව්වරුන්ට වේදනාකාරී අත්දැකීමකි. ඒ පිළිබඳ අලුත් අම්මලාට එතරම් අවබෝධයක් නොමැති තරම් ය.

 

ඇත්තටම මොකක්ද මේ අලුත් බබාගේ විළුඹ අසල පතුල විද කරන පරීක්ෂණය. රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා අලුත උපන් දරුවකුට මේ පරීක්ෂණය සිදු කෙරේ. රජයේ රෝහල්වල දී නම් රුධිර බිංදු ලබාගැනීමට පැමිණෙන හෙදියගෙන් මේ පිළිබඳ අසා දැනගන්නට මව්වරු උනන්දු වන්නේ නැත. තවත් මව්වරුන්ට ඒ පිළිබඳ කුතුහලයක් ඇතත් හෙදියගෙන් කවරාකාර ප්‍රතිචාරයක් ලැබේවි දැයි බියක් පැන නැගීමෙන් ගැටලුව එහෙමම යටපත් කරගනී. තවත් මව්වරුන්ට ඒ පිළිබඳ දැනීමක් ඇත්තේ ම නැත.

මෙලෙස සිදු කෙරෙන්නේ අලුත උපන් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය සහ ඉන් ස්‍රාවය වන තයිරොක්සින් හෝමෝනයේ ප්‍රමාණය ගණනය කිරීමයි.

 

තයිරොක්සින් නිසි ප්‍රමාණයට ස්‍රාවය නොවීම

තයිරොක්සින් හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය හරහා යි. මෙහි උත්තේජනය අඩු නම් එය සාමාන්‍ය ප්‍රමාණයට ගෙන ඒමට කටයුතු කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ කාර්යභාර්යයි. නව මාසයක් පුරාවට කිරිකැටි බිලිඳකු කුස දරාන සිටින මවක් ගෙවෙන සෑම තත්පරයක්ම පාසා පතනුයේ නිරෝගී දරුවකුගේ උප්පත්තියයි. එසේ වුවත් යම් යම් රෝග තත්ත්වයන් යටතේ උපත ලබන දරුවන් සිටී. මේවායින් ඇතැම් රෝදුක් සුව කළ හැකි මට්ටමේ ඒවා විය හැකියි. වසරකට ලංකාවේ අලුත උපන් දරුවන් හාරදාහකින් එක් අයකු (1:4000) congenital hypothyroidism හෙවත් තයිරොක්සින් හෝර්මෝනය නිසි ප්‍රමාණයට ස්‍රාවය නොවීම නිසා ඇතිවන සංකූලතාවන්ගෙන් පෙළෙයි.

අලුත උපන් දරුවන් රෝහලින් පිට වීමට පෙර කරන මූලිකම පරීක්ෂණ අතුරින් මෙලෙස විළුඹ ආසන්නයේ පතුල විද කෙරෙන පරීක්ෂණය (newborn heat prick test)ප්‍රතිඵල ලබා දීමට රජයේ සහ පෞද්ගලික රෝහල් එක් එක් දින ගණන් වැය කරයි.

අලුත උපන් දරුවා රෝහලේ නික්ම ගොසින් ගොස් සති දෙකක් සම්පූර්ණ වීමේ දී ප්‍රථම ළමා රෝග විශේෂඥ හමුව සඳහා දිනයක් නියම වේ. මේ දිනට පෙර අදාළ වාර්තාව නිකුත් කළ හැකි නම් එය ද රැගෙන වෛද්‍යවරයා හමුවීමට අවස්ථාව තිබේ. හෝමෝනය ස්‍රාවය වීමේ යම් අඩුවක් ඇත්නම් වෛද්‍යවරයා ඒ සඳහා උපදෙස් දීම සහ ප්‍රතිකාර ඇරැඹීම සිදු කරාවි.

 

සංකූලතා

තයිරොක්සින් ස්‍රාවය වීම අඩු වීමෙන් කුඩා දරුවකුට විය හැකි විශාල ම සංකූලතාව නම් මොළයේ වර්ධනය බාල වීමයි. මනුෂ්‍ය ජීවිතයේ දී මොළයේ වැඩිම වර්ධනයක් සිදු වන්නේ දරුවකු ඉපදී වසරක් පමණ වනතුරු කාලයේයි. ඒ සඳහා තයිරොක්සින් හෝර්මෝනයෙන් ලැබෙන දායකත්වය අති විශිෂ්ටයි.

අලුත උපන් දරුවාගේ තයිරොක්සින් ස්‍රාවය අඩු වීම බැලූ බැල්මට පිටතින් හඳුනාගත නොහැකි තරම්ය. සාමාන්‍යයෙන් මෙවන් දරුවකු වැඩිපුර නිදාගනියි. කිරි උරා බීමේ ගැටලු තිබිය හැකියි. එහෙත් එවැනි ලක්ෂණ අලුත උපන් සාමාන්‍ය දරුවන්ට ද තිබිය හැකියි.

දරුවා ඒ ඒ අවධීන්වල දී කළ යුතු ක්‍රියාකාරිත්වයන් උදාහරණයක් ලෙස වචන උච්චාරණය, සෙල්ලම් බඩු සමඟ කරන ක්‍රියාකාරකම්, ඇවිදීම ආදිය නිසි පරිදි සිදු නොවී නම් මෙයට කවර හේතුවක් බලපා ඇත්දැයි සොයා බැලීමක් කරයි. ඇතැම්විට මෙවැනි අවස්ථාවක දී කෙරෙන පරීක්ෂණවලින් තයිරොක්සීන් ගැටලු ඇති බව හඳුනා ගනියි. මේ වන විට දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ සෑහෙන ප්‍රමාණයක් සිදුව අවසන්. දරුවාට ආරම්භයේදීම තයිරොක්සින් ඌනතාව සඳහා ප්‍රතිකාරයක් ලැබුණේ නම් තත්ත්වය එසේ නොවීමට පුළුවන.

තයිරොක්සින් ඌනතාව හැකි ඉක්මනින් හඳුනා ගැනීමේ වටිනාකම දැන් ඔබට වැටහෙනවා ඇති. newborn heel prick පරීක්ෂණය කෙරෙන්නේ ද මේ නිසාමයි. රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ද මේ පරීක්ෂණය සිදු කෙරෙතත් එහි වාර්තා නිකුත් කිරීම නිසි පරිදි සිදු නොවීම නිසා අලුත උපදින දරුවා තයිරොක්සින් ඌනතාවෙන් පෙළීම සඳහා නිසි ප්‍රතිකාර නො ලබයි. මේ වාර්තාව ලැබෙනුයේ මවගේ හෝ පියාගේ දුරකථනයටයි.

 

වාර්තාව අනුව නිගමන

විශේෂ ළදරු ඒකක, නොමේරූ ළදරු ඒකක, අඩු බර ඇතිව උපදින දරුවන් මේ ආදී සියල්ලකගේම රෝහලින් නික්ම යෑමට පෙර මෙම පරීක්ෂණය සිදු කළ යුතුයි. මුල් සති හය ඇතුළත මෙම වාර්තාව ලබාගැනීම හා එහි අඩංගු දේ පිළිබඳ දැනුවත් වීමක්, උපදෙසක් ලබා ගැනීම ඉතාම වැදගත් වේ.

තයිරොක්සින් හෝමෝන මට්ටමට අනුව ඒ දරුවාට අවශ්‍ය හෝර්මෝන ප්‍රමාණය ඖෂධ ලෙස ලබා දී මසකින් ලබාගන්නා වාර්තාව අනුව යම් නිගමනයකට වෛද්‍යවරු එළැඹේ. එක් එක් දරුවා මේ සඳහා දක්වන ප්‍රතිචාරය විවිධාකාර වේ. එම වාර්තාව අනුව ඉදිරි ඖෂධ ලබා දීමේ මාත්‍රාවන් තීරණය කරනු ලබයි.

දරුවා මව් කුස තුළ වැඩීමේ දී තයිරොයිඩ් සම්බන්ධ වන ගැටලුවක් මේ සඳහා හේතුවක් වේවි. තයිරොයිඩ් ග්‍රන්ථියේ නිවැරැදිව පිහිටා නැති වීම, මව තයිරොක්සින් ඌනතාව සඳහා ඖෂධ ලබා ගන්නා කෙනෙක් වීම ද මෙයට හේතුවක් වේවි. මේ සඳහා ජානමය බලපෑමක් නොමැත. ගැබිනි මවකට දරුවා වෙනුවෙන් කළ හැකි කිසිවක් නොවේ. කෑමෙන් බීමෙන් ඇවතුම් පැවතුම්වලින් වෙනස් කළ හැකි දෙයක් නොවේ.

 

 

උපදෙස් :

නයින්වේල්ස් රෝහලේ

නොමේරූ ළදරු ඒකකයේ

අංශ ප්‍රධානී වෛද්‍ය

සමෘධි වික්‍රමනායක