කැස්සක් හෝ කිවිසුමක් යන විට ඔබටත් මුත්‍රා පිටවෙනවා ද?

ජුනි 13, 2022

 

කිවිසුමක් යද්දි, කහිද්දී පාලනයකින් තොරව මුත්‍රා ස්වල්පයක් පිටවීම කාන්තාවන් බොහොමයක් කෙරෙන් දැකිය හැකියි. එහෙත් මේ බව කිසිසේත් ම හුවා නො දක්වමින් එම අපහසුතාවන් සඟවා තබා ගනිමින් ජීවත්වන කාන්තාවන් අප අතර ඕනෑ තරම් සිටියි.

මෙසේ පාලනයකින් තොරව මුත්‍රා පිටවන අවස්ථා මොනවා ද? එසේ මුත්‍රා පිට වන්නේ ඇයි? යන්න අපි ආයුර්වේදාත්මක ඇසින් බලමු.

 

ආකාර කිහිපයක්

සාමාන්‍ය ලෙසට මුත්‍රා පිටවීමට වඩා වෙනස් අන්දමින් මුත්‍රා පිටවීමේ ආකාර කිහිපයක්ම තිබිය හැකියි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම නව්‍ය වෛද්‍ය විද්‍යාවේ ද කතාබහට ලක් වූ කරුණකි.

බහු මුත්‍රාව - වැඩිපුර මුත්‍රා පිටවීම

මුත්‍රා ඝාතය - මුත්‍රා පිට කිරීමට අවශ්‍යතාව තිබුණත් මුත්‍රා පිට නොවන අවස්ථාව

මුත්‍රා කෘච්ඡතා - අපහසුවෙන් මුත්‍රා පිටවීම

මෙය මුත්‍රා දැවිල්ලක්, වේදනාවක්, මුත්‍රා පිටවීම අපට අවශ්‍ය පරිදි ඒකීය දහරාවක් ලෙස නොව නැවති නැවතී යෑම, මුත්‍රා කර අවසන් වූවත් එය එසේ නොවේ හැඟෙනවා විය හැකියි.

මේ සෑම අවස්ථාවක දී ම මුත්‍රා පිටවීම පාලනයකින් තොරව (Urine Incontinence) වන්නට පුළුවන. මේ තත්ත්වය ස්වාභාවිකවම වන දෙයක් ද විය හැකියි. එසේත් නැත්නම් අසහනයෙන් යුතුව මුත්‍රා පිටවනවා (Strees Urine Incontinence) විය හැකියි.

අසහනයෙන් යුතුව මුත්‍රා පිට වන්නේ කුමක් හෝ පීඩනයක් නිසා වන්නට පුළුවන. එනම් කැස්සක දී, කිවිසුම් යෑමක දී, අධික බරක් එසවීමේ දී, තදින් හිනා වීමේ දී මෙසේ වන්නට පුළුවන. මේ සෑම විටක දී ම උරස් කුහරයේ චලනයන් වේගවත් වේ. උරස් කුහරය සහ උදර කුහරය අතර ඇති මහා ප්‍රාචීරය උදරය දෙසට තද වීමේ දී උදර කුහරය පහළින්ම ඇති මුත්‍රාශයට කිසියම් පීඩනයක් එල්ල වේ. මුත්‍රාශයට එම පීඩනය දරාගත නොහැකිව මුත්‍රා පිටවන තැන විවර වී මුත්‍රා ස්වල්පයක් පිට වේ. එහෙත් ස්වාභාවික අවස්ථාවල දී මුත්‍රා පිටවන කපාටවලට එම පීඩන දරාගෙන මුත්‍රාශය වසාගෙන සිටීමට පුළුවන.

 

කාන්තාවන් අතර වැඩිපුර

කාන්තාවන්ගේ ගර්භාෂය ඇතුළු ප්‍රජනක පද්ධතිය පිහිටා ඇත්තේ මුත්‍රාශය අසලින්. ගර්භාෂය කොන්ද ප්‍රදේශයේ සිට ඉදිරියට බැලුමක් මෙන් නැමීමකින් පිහිටයි. ගර්භණී බවකින් හෝ වෙනයම් හේතුවක් නිසා ගර්භාෂයේ විශාලත්වයක් සිදුවුවහොත් නිසැකවම තමන් අසල ඇති පටකය තද කරයි. එනම් මුත්‍රාශය තද කරයි. ගර්භණී බව හැරුණුකොට ෆයිබ්‍රොයිඩ්, ඩිම්බ කෝෂ ආශ්‍රිත ගෙඩි, පිළිකා තත්ත්ව නිසා හට ගන්නා ගෙඩි, ගර්භාෂයේ බිත්ති ඝන වීම ආදී මේ කුමන අවස්ථාවක දී වුවත් ගර්භාෂය විශාල වේ. බරින් වැඩි වේ. බරින් වැඩි වන විට තමාට යටින් ඇති අවයවය වෙත පීඩනයක් එල්ල වීම ඉබේම සිදු වේ. පුරුෂ පක්ෂයේ සිරුර අභ්‍යන්තරයේ මෙවන් ව්‍යුහයක් නැත. එසේ පිහිටා ඇත්තේ කාන්තාවන්ට පමණි.

පාලනයකින් තොරව මුත්‍රා පිටවීම කාන්තාවන් අතර බහුලවම දක්නට ඇත්තේ ඒ නිසයි තරුණ වයසේ දැරියන්ට වඩා කාන්තාවන් අතර මෙම තත්ත්වය වැඩිපුර දක්නට ලැබේ. ඒ වයසට යෑමත් සමඟ සිරුරේ පටක ක්‍රමයෙන් ඉහිල් වන නිසයි. උදාහරණයක් ලෙස සම ගතහොත් වයස්ගතවත් ම සම එල්ලා වැටීම නැතහොත් ඉහිල් වීමක් සිදුවේ. බාහිර මෙන්ම අභ්‍යන්තර අවයවවලට වන්නේ ද එයමයි.

ආර්තවාභාවය නිසාත් පටක ඉක්මනින්ම දුර්වල වේ. මේ නිසා ආර්තවාභාවය සමඟ මේ තත්ත්වය වැඩිපුර දක්නට ලැබේ.

ප්‍රතිකාර

මුත්‍රා ඉබේ පිට වීමක් වන්නේ මුත්‍රාශය කෙරෙහි ඇතිවන පීඩනය වැඩිවී පටක දුර්වලවීම නිසා යි. එනම් රෝගය තරමක් ඉදිරියට ගොස් තිබෙද්දී ය. ප්‍රතිකාර පටන් ගන්නට වන්නේ මෙවැනි පියවරක සිටිය දී ය. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ගර්භාෂය ආශ්‍රිත පටක ඉහළට ඔසවා තැබීමේ ශල්‍යකර්ම සිදු කරයි. එක්කෝ ගර්භාෂය ඉවත් කරයි.

වයස වැඩිවත්ම මේ තත්ත්වය වැඩි දියුණු වේ. එය වළක්වා ගන්නට නම් ඇවතුම් පැවතුම්වලින් සහයක් ලබා ගන්නට සිදු වේ. මෙවැනි තත්ත්වයක් ඇති අයකු මුත්‍රා වේගය හෙවත් මුත්‍රා පිට කිරීමට ඇති අවශ්‍යතාව දරාගෙන නොසිටිය යුතු වේ. ගමනක් බිමනක් යන්නේ නම් රැස්වීමකට සහභාගි වන්නේ නම් මුත්‍රා පිටකර යෑම හෙවත් මුත්‍රාශය හිස් කරගෙන තිබීම අත්‍යවශ්‍ය වේ. පැය කිහිපයක් එක දිගට වැසිකිළි යාමට අවස්ථාව නොමැති නම් දෙවාරයක් වුව හොඳින් මුත්‍රා පිට කර මුත්‍රාශය හිස් කරගෙන තිබීම කළ යුතුයි.

වතුර අඩුවෙන් පානය කළහොත් මුත්‍රා යෑම අඩු වේවි යැයි සිතීම මෙම ගැටලුව සඳහා කොහෙත්ම පිළියමක් නොවේ. මුත්‍රා රැඳීම වැඩි නිසා මුත්‍රා ආසාදනයට ඇති ඉඩකඩ ද වැඩි නිසා පිරිසුදු වතුර ප්‍රමාණවත් පරිදි පානය කිරීම අත්‍යවශ්‍ය වේ. එදිනෙදා ජීවිතයේ ව්‍යායාම කිරීම මෙවැනි අයකුට වඩාත් සුදුසු වේ. නමුත් බර එසවීම, පඩි නැගීම සුදුසු නැත. කපාට ශක්තිමත් කිරීම සඳහා වූ ව්‍යායාම නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ද සිදු කෙරේ.

මෙම ව්‍යායාමයේ දී වන්නේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංස පේශි වරින්වර තද කිරීමයි. මෙය ඉඳගෙන, හිටගෙන යන ඉරියව්වලින් ද කළ හැකියි. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලදී ඖෂධීය ජලය බේසම්වලට දමා යෝනි මාර්ගය ගිලෙන සේ එම වතුරේ වාඩි වීමට සලස්වයි. එම වේලාව ඇතුළත ඉහත ව්‍යායාම කිරීම සඳහා උපදෙස් ලබා දේ.

 

තරුණ අයට

උපතින්ම පටකවල ඇති දුර්වලතා මත තරුණ අයට වුවද ඉබේම මුත්‍රා ස්වල්පයක් පිටවීම සිදුවිය හැකියි. ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ්, සිස්ට් වැනි තත්ත්ව හට ගත්තේ නම් එවැනි විටක දී ද මේ තත්ත්වයට ගොදුරු වීමට පුළුවනි. ගර්භාෂය, මුත්‍රාශය, ප්‍රජනක අවයව අවට ශල්‍යකර්මවල දී ඉඳහිට සිසේරියන් සැත්කම් නිසාත් පාලනයකින් තොරව මුත්‍රා පිටවීමට පුළුවනි.

 

 

 

උපදෙස්:

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය

විද්‍යායතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය

කාන්තා රෝග පිළිබඳ ආයුර්වේද

විශේෂඥ වෛද්‍ය ආචාර්ය කෞමදී කරුණාගොඩ