ජීවත් වෙන්න බෙහෙත් අරන් අත වනන්න එපා

නොවැම්බර් 21, 2022

 

ප්‍රතිජිවක අවභාවිතය නිසා, බැක්ටීරියාවන්ට හැකිවෙලා තියෙනවා, ඒවාට ඔරොත්තු දෙන්න. එවිට, රෝගය සුව කරන්න බැරි වෙනවා. එවිට රෝගය උත්සන්න වී රෝගියා මිය යන්නත් පුළුවන්.

 

ඔබ කී වරක් ඔබේ දරුවාට රෝගී වී, ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත ගෙන ගියාද?

ඒ අවස්ථාවලින්, කී වතාවක්, දරුවාගේ ඖෂධ සමඟ ප්‍රතිජීවක ලබා ගත්තාද?

එකී සෑම අවස්ථාවකම, දරුවාට ප්‍රතිජීවක අවශ්‍ය යයි “ඔබ” සිතනවාද?

මොනවද මේ ප්‍රතිජීවක?

මොනවා සඳහාද ඒවා ප්‍රයෝජනවත් වෙන්නේ?

 

අද අපි කතා කරන්නේ ඒ ගැන,

ප්‍ර‍තිජීවක කියන්නේ බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීමට හෝ වැළැක්වීමට භාවිත කරන ඉතා වැදගත් සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ගයක්.

කුඩා දරුවො නිතරම අසනීප වෙනවා. විශේෂයෙන්ම, පෙරපාසල් දරුවන් ඔවුන් විෂබීජවලට මුලින්ම නිරාවරණය වෙන්නෙත් මේ අවදියේ වෙන්න පුළුවන්.

බොහොමයක් වෙලාවට මේවා සෙම්ප්‍රතිශ්‍යාව වගේ වෛරස් ආසාදන. බොහොම කලාතුරකින් තමයි බැක්ටීරියා ආසාදන ඇතිවෙන්නෙ.

විශේෂයෙන්ම, මුලු පන්තියටම සෙම්ප්‍රතිශ්‍යාව නම්, ඒ බොහෝවිට වෛරස් ආසාදනයක්. මොකද, සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් වර්ග මහා ගොඩක් තියෙනවා. ඉතින්, එකක් ඉවර වෙනකොට, තව එකක් !

වෛරස් ආසාදනවලට ප්‍රතිකාරයක් ලෙස ඔබ ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්න හිතුවොත්, ඒ කරන්නෙ හානියක් බව , ඔබට දැන් තේරෙනවා නේද?

වෛරස් ආසාදනවලට ප්‍රතිකාරය තමයි, හොඳින් විවේක ගැනීම, නිතරම උණුසුම් පානයන් ලබා දීම සහ පෝෂණීය ආහාර ලබා දීම.

වෛරස් ආසාදනවලදී ප්‍රතිජීවක ලබා දීමෙන්, අනතුරක්, හානියක් මිස, යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ..

එතකොට මොකක්ද වෙන හානිය?

අපේ ඇඟේ බැක්ටීරියාවන් කෝටි ගාණක් ඉන්නවා. වැඩි දෙනා, හොඳ අය, ඔවුන් අපව රෝගකාරක විෂබීජවලින් ආරක්ෂා කරනවා.

හරියට අපේ ගෙදර හදන බල්ලා, අපිව හොර හතුරන්ගෙන් බේරාගන්නවා වගේ.

අපි බල්ලව මැරුවොත් මොකද වෙන්නෙ, අපිට තිබුණු ආරක්ෂාව නැති වෙලා, අපිට හොර හතුරන්ගෙන් අනතුරු වෙනවා.

ඒ වගේම, අපේ ශරීරයේ ඉන්න හොඳ බැක්ටීරියාවන්, අප ප්‍රතිජීවක ගන්න හැම වෙලාවකම මිය යනවා.

ඒ මත වැඩෙන්නෙ, ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන, ප්‍රතිරෝධී බැක්ටීරියාවන් .. ඉතින් දරුවන්ට ඇත්තටම, බැක්ටීරියා ආසාදනයක් යම් දවසක ඇති වුණොත්, සාමාන්‍ය ප්‍රතිජීවකයකට එය සුව කරන්න බැරි වෙනව විතරක් නොවෙයි, දරුවා රෝහල් ගත කරලා විවිධ ඖෂධවලින් වැඩි කාලයක් වෙදකම් කරන්නත් වෙනවා.

ඒ කියන්නෙ දරුවෙක් අසනීප වුණොත් බෙහෙත් ගන්න එපා කියන එකද?

 

නැහැ, කොහෙත්ම නැහැ,

දරුවා, සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමු කරන්න,

වෛද්‍යවරයා, දරුවාව පරීක්ෂා කරලා, බැක්ටීරියා ආසාදනයක් කියලා තීරණය කළොත්, අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධයක්, අවශ්‍ය මාත්‍රාවෙන් අවශ්‍ය කාලයක් සඳහා ලබා දේවි. එතකොට, එයින් යම් හානියක් සිදු උනත්, රෝගය නිසා සිදු වන හානිය ඊට වඩා බරපතළ නිසා, දරුවාට නියමාකාරයෙන් ඖෂධ ලබා දීමට කටයුතු කරන්න. ඒක ඉතාම වැදගත්. අනිවාර්යයෙන්ම, නියම මාත්‍රාව, නියමිත ආකාරයටම, පැය හයෙන් හයට හෝ අටෙන් අටට, නියමිත කාලයට ලබා දෙන්න නමුත් ඇන්ටිබයොටික් කරල් හෝ සිරප් බලෙන් නම් ඉල්ලන්න එපා.

ඊට අමතරව මේ ටිකත් හොඳින් හිතට ගන්න:

- සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, උගුරේ අමාරුව සහ නිදන්ගත තුවාල සඳහා තමන්ගේ හිතුමතේට ඖෂධසල්වලින් ප්‍රතිජීවක ලබා ගැනීම සුදුසු නෑ. දරුවන්ට විතරක් නොවෙයි ඕනම කෙනකුට තමන්ගේ හිතුමතේට ඖෂධසල්වලින් ප්‍රතිජීවක ලබා ගැනීම සුදුසු නෑ..අපේ වැඩිහිටියෝ තමන්ගේ දරුවන්ට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදෙනකොටම ෆාමසියකට ගිහිල්ලා මොනවාහරි බෙහෙත් ටිකක් ඉල්ලාගෙන එනවා..නමුත් අපට නිතර හැදෙන කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව සහ පාචනය බොහෝ විට වෛරස් නිසා ඇති වන බවත්, ඒවා ඉබේම සුව වන බවත් අප දැන සිටිය යුතුයි.

යම් යම් බැක්ටීරියා ආසාදන සඳහා වෛද්‍යවරයෙක් නිර්දේශ කරන ප්‍රති ජිවක ලබාගත යුතු කාලසීමාව සම්පූර්ණ නොකිරීමත් තවත් ගැටලුවක්. ඒ කියන්නේ ඇතැම් අය තමන්ගේ අසනීපය සුව වීගෙන එනවා යයි දැනෙන විට තමන් ගන්නා ඖෂධ අතර මඟදී නතර කරනවා. ඔච්චර බෙහෙත් ගන්න හොඳ නෑ ලෙඩේ හොඳ වුණාම අයේ මොකටද බෙහෙත්. එහෙම හිතන අය ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. ඉතා සුලභ උදාහරණයක් නම්, කලින් ඇති වූ මුත්‍රා ආසාදනයකදී, ප්‍රතිජීවක කාලසීමාව සම්පූර්ණ නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිරෝධි බැක්ටීරියා මඟින් ඇතිවන මුත්‍රා ආසාදනවලින් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.

සමහර අය හිතන්නේ මේ ඖෂධ වැඩිපුර ගත්තාම අතුරු අබාධ ඇති වෙනවා කියලා. මේ නිසා අතුරු ආබාධ අඩු කිරීමේ අරමුණින් වෛද්‍යවරයා නිර්දේශ කරන කාල සීමාවට බෙහෙත් ගන්නේ නෑ. එතකොට ආයෙත් ඉතා කෙටි කාලෙකින් එම රෝග ඇති වීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මාත්‍රාව අඩු කිරීමත් ඉතාම භයානකයි.

අපේ අය කරන තවත් වැරැද්දක් නම් සමාන රෝග ලක්ෂණ ඇති පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රතිජීවක බෙදා ගැනීම. වෛද්‍යවරයකු ප්‍රතිජීවක ඖෂධයක් නිර්දේශ කරන්නේ රෝගියාගේ ඉතිහාසය පිළිබඳ පූර්ව නිරීක්ෂණයකින් පසුව බැක්ටීරියා ආසාදනයක් කියලා තීරණය කළොත්. විශේෂයෙන් ඔහුට හෝ ඇයට ආසාත්මිකතා තියෙනවා ද, වෙනත් රෝග සම්බන්ධ විස්තර,වයස, බර වගේ විස්තර දැනගැනීමෙන් පසුවයි. මේ නිසා වෙනත් කෙනකුට දෙන ඖෂධ තවත් කෙනකු පාවිච්චි කළොත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. භයානක තත්ත්ව කරා යන්නත් පුළුවන්.

- ඒ වගේම ප්‍රතිජීවක ගන්නා විට, නියම මාත්‍රාව නියමිත කාලසීමාවට වගේම නියම වේලාවට ගැනීම ඉතා වැදගත්.

ප්‍රතිජීවක සොයාගැනීමට පෙර, ආසාදන නිසා, ජීවිත විශාල ගාණක් විනාශ වුණා. ඒ අසාදනයට එරෙහිව සටන් කිරීමට ඖෂධ නොමැතිවීමෙන් අසාදනය උත්සන්න වී සෙප්සිස් (ඵඥනඵඪඵ) තත්ත්වයට පත්වන නිසයි. නමුත් ප්‍රතිජීවක සොයාගැනීමත් සමඟ, මේ තත්ත්වය වෙනස් වුණා. බැක්ටීරියා ආසාදනයක් ඇති වුණාම ඊට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිජීවක මඟින් බැක්ටීරියා විනාශ වී රෝගය සුව වෙනවා.

නමුත් අවාසනාවට, ප්‍රතිජීවක අවභාවිතය නිසා. බැක්ටීරියාවන්ට හැකි වෙලා තියෙනවා. ඒවාට ඔරොත්තු දෙන්න. එවිට රෝගය සුව කරන්න බැරි වෙනවා. එවිට රෝගය උත්සන්න වී රෝගියා මිය යන්නත් පුළුවන්.

මේක කවදාහරි සිද්ද වෙන්න යන දෙයක්ද? නෑ. දැනුත් වෙන දෙයක්.

ප්‍රතිජීවක-ප්‍රතිරෝධී බැක්ටීරියා ආසාදනවලින් 2019 දී ලෝකෙ පුරාම, මිලියන 1.2 ක ජනතාවක් මිය ගිහින් තියෙනවා.

ඒක තවත් උග්‍ර වෙමින් තමයි තියෙන්නෙ. අපේ රටේ රෝහල්වලත්, දැනට භාවිතවන සියලුම ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධි බැක්ටීරියාවන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව සුළුපටු නැහැ.

දැනට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල ප්‍රතිජීවක ඖෂධවලට එරෙහි ඉහළ ප්‍රතිරෝධය හේතුවෙන් මුත්‍රා ආසාදන නියුමෝනියාව සහ වෙනත් සෙම් රෝග ඇතුළු බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීම දුෂ්කර වෙමින් පවතින බව අපි නිරීක්ෂණය කරනවා. ම්තඥඡඵඪඥතතච නදඥභථධදඪචඥ, ඒජඪදඥබධඡචජබඥප ඵනන වැනි බැක්ටීරියා, නියුමෝනියාව, රුධිර ප්‍රවාහ ආසාදන සහ අලුත උපන් බිලිඳුන්ගේ සහ දැඩි සත්කාර ඒකක රෝගීන්ගේ ආසාදන වැනි රෝහල්ගත ආසාදනවලට ප්‍රධාන හේතු වෙලා තියෙනවා.. එවැනි බැක්ටීරියා ජීවීන් ශ්‍රී ලංකාවේ පවතින සියලුම ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී වන බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා , එවැනි ආසාදන ඇති රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට විකල්පයක් නැහැ. කිසිදු ප්‍රතිජීවයකට ඛ්ර්‍ණඍධ්ච් -19 ඇතුළු කිසිදු වෛරස් ආසාදනයක් සුව කළ නොහැකි බව ජනතාව හොඳින් දැනුවත් වීම අවශ්‍යයි.

 

තවත් වැදගත් දෙයක් තමයි, කලට වේලාවට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම. එමගින් රෝග වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව, නිවැරදි සෞඛ්‍යාරක්ෂිත පුරුදු පිළිපැදීම (නිතරම දෑත් පිරිසිදු කිරීම, කහින විට වැලමිට ආධාරයෙන් මුව ආවරණය කර ගැනීම) ඉතාමත් වැදගත් .

 

 

 

 

 

උපදෙස්

ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය

මධුමනි අබේවර්ධන

ජාතික රෝහල මහනුවර

 

 

රසිකා එස්. රණවීර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය