වර්ෂ 2023 ක්වූ March 27 වැනිදා Monday
ස්වාභාවිකව ගැබ් නොගන්නා ඔබට කිරි සිහිනයට අලුත් පාරක්

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතින් තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.
ගැබිනියක් ලෙස ගත කරන මාස නවයක කාලයක්. දෝතට පුංචි කිරිකැටියෙක්. තම ලෙයින් හැදී වැඩුණු පුංචි දරු පැටියෙක්. දවසින් දවස ලොකු වෙලා අම්මි තාත්ති යනුවෙන් මොළකැටි වදනින් අමතන අයුරු... මේ සියල්ල සිහිනයක් දෝ යැයි සිතෙන තරමටම රන්දලී අතරමං වූවා.
ඇගේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න පිහිට වූයේ IVF තාක්ෂණයයි.
In Vitro Fertilization හෙවත් IVF තාක්ෂණය ස්වාභාවික ගැබ් ගැනීමකට ඉඩක් නැති IUI තාක්ෂණය ඔස්සේ ද දරු පිළිසිඳ ගැනීමකට යා නොහැකි කාන්තාවකට කිරි සිහිනය සැබෑ කරගැනීමට ඇති ලොව දියුණුම තාක්ෂණය භාවිත කරමින් සිදු කරන්නකි. මෙය නළ දරු තාක්ෂණය ලෙස හැඳින්වෙන නිසා බොහෝ දෙනෙක් හිතන්නේ පරීක්ෂණ නළයක එහෙමත් නැත්නම් test tube එකක හැදෙන දරුවෙක් ද කියායි. මේ තාක්ෂණය ආරම්භ වූ කාලයේ හැඳින් වූ ආකාරය නිසයි මේ නම යෙදී ඇත්තේ. පරීක්ෂණ නළයක දරුවකු සෑදීමක් නොව කලලය සෑදීම පමණක් සිදු වේ. කලලයේ මුල් දින 3ක් හෝ 5ක් පමණක් මෙලෙස තැනේ.
IVF කරා යෑමට සිදු වන්නේ ඇයි?
කාන්තා පාර්ශ්වයේ පැලෝපීය නාළ අවහිරතාවක් තිබීම මීට ප්‍රධානම හේතුවයි. එහි ශුක්‍රාණු ඩිම්බයක් හා සංසේචනය වී සෑදෙන යුක්තාණුවට ගර්භාෂය කරා පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පැලෝපීය නාළ සෑදීමට නොහැකියි. ලොව එවැනි ශල්‍යකර්ම දැන් සිදු නොකරයි. නළ දරු තාක්ෂණය බිහි වීමට ප්‍රධානම හේතුවත් එයයි.
නළ දරු තාක්ෂණය ඔස්සේ මෙලොවට බිහි වූ පළමු දරුවා වන්නේ ලුයිසි බ්‍රවුන් එංගලන්තයේදීය. IVF තාක්ෂණය ඔස්සේ ලුයිසි උපත ලබන්නේ මේ දරුවාගේ මවගේ පැලෝපීය නාළ අවහිරතාවක් තිබීම නිසයි.
IVF තාක්ෂණය ඔස්සේ දරු පිළිසිඳ ගැනීම සිදු කරන්නේ පරීක්ෂණ නළයක නොව කදාවකයි.
පැලෝපීය නාළ කෙළවර ඇති අංගුලිකා එකට ඇලී ඇත්නම්, ආසාදනය වී ඇත්නම්, එන්ඩ්රෝමෙට්රියෝසීස් රෝගය විශාල වශයෙන් පවතී නම් IVF කරා යෑම සුදුසු වේ. IUI තාක්ෂණය ඔස්සේ සංසේචනය වී කලලය සෑදෙන්නේ නැති අයගේ අවසාන බලාපොරොත්තුව වන්නේත් IVF තාක්ෂණයයි.
IUI පහක් හයක් සිදු කර එය සාර්ථක නොවුණි නම් එතනින් එහාට එම තාක්ෂණය පසුපස යෑමේ ඵලක් නැත. IVF තාක්ෂණය අති සාර්ථක එකක් බවට පත් වන්නේ සංසේචනය වූ කලලයක් ගර්භාෂයේ තැන්පත් කරන නිසාය.
පිරිමි පක්ෂය දරුපල සම්බන්ධයෙන් තම දුර්වලතා හඳුනා ගැනීමට ස්වාභාවිකව කැමැත්තක් නොදක්වයි. සැමියාගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම හෙවත් සචල ප්‍රමාණය අඩු වීම, විකෘතිතාවයන් ඉතාම වැඩි ශුක්‍රාණු තිබීම වැනි කාරණා මත ඩිම්බයක් වටා ශුක්‍රාණු 80000, 90000 පමණ එක්රොක් වන්නේ නැත. එවැනි අයටත් IUI තාක්ෂණයේ පිහිට පැතීමෙන් පලක් වන්නේ නැත.
IUI තාක්ෂණයෙන් දරුවෙක් පිළිසිඳ නොගන්නේ නම් එහි වරද එහෙම පිටින්ම පිටින් ම බිරිය වෙත පැවරිය නොහැකියි. ඩිම්බය වෙත ශුක්‍රාණු එකතු වීමේ ගැටලුවක් ඇත්නම් දරු පිළිසිඳ ගැනීමක් ඇති නොවේ.
ඉක්සු(ICSI)තාක්ෂණය වෙත යොමු කෙරෙන්නේ එවැනි අයයි.සැමියාගේ ශුක්‍රාණු ප්‍රමාණය '0' නම් එවැනි අයට කිසිවක් කළ නොහැකි යැයි සිතයි. ඇතැම් පිරිමින්ගේ වෘෂණ කෝෂවල සෑදෙන ශුක්‍රාණු පිටතට නොඑයි.
ඩිම්බය වටේ ඇති ස්තරය සමඟ ශුක්‍රාණු එකතු වීමේ ක්‍රමවේදයක් තිබේ. එම ක්‍රමවේදය ස්වාභාවිකව සිදු නොවන විට සංසේචනයක් සිදු නොවේ. ඉක්සි(ICSI) තාක්ෂණය භාවිතයෙන් ඩිම්බයක් තුළට ශුක්‍රාණු ඇතුළු කරන නිසා දරු පිළිසිඳ ගැනීමකට ඇති ඉඩකඩ ඉතාම ඉහළයි.
සැමියාගේ ශුක්‍රාණු '0' නම් ටෙසා ක්‍රමය යටතේ ශල්‍යකර්මයකින් ශුක්‍රාණු ගෙන ඩිම්බයට එන්නත් කොට කලලය සාදා තැන්පත් කරයි.මේ ක්‍රමය ඔස්සේ ගර්භිණි වූ අය සිටියි. ශුක්‍රාණු '0' වන අයගේ බලාපොරොත්තු මේ ඔස්සේ ඉටුකරගත හැකියි. දායක කළ ශුක්‍රාණු ලබා ගන්නට වේ යැයි ඇති වූ පසුතැවිල්ලත් මේ ඔස්සේ ඉවත්ව යයි. තමන්ගේම ශුක්‍රාණුවලින් සංසේචනය කළ යුක්තාණුවක් තම බිරියගේ ගර්භාෂයේ තැන්පත් කරන්නට අවස්ථාව උදා වේ.
එක් ඩිම්බයක් සංසේචනය නොවන විටදී සියුනිකාව තුළ ඩිම්බ නොතිබීම වැනි අවස්ථාවලදී IVF තාක්ෂණයට අනුව ක්‍රම දෙකක් ඔස්සේ කලලය තැන්පත් කෙරේ. Long Protocol සහ Short Protocol ඒ ක්‍රම දෙකයි. පොලිසිස්ටික් ඕවරීස් ඇති කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ස්තරය ඝනකම්ය. ඩිම්බ පිටවීම අඩුකමක් ඇති විටත් ඩිම්බ පිටතට ගෙන තැන්පත් කළ නොහැකිය. එක් දිනයකින් කලලයක් සෑදිය නොහැකි අවස්ථා පවතී.එවිට - long protocol හෝ short protocol යන අවස්ථා දෙක යටතේ ප්රතිකර්මය සිදු කෙරෙයි. මෙහි short protocol සඳහා දින 10කුත් long protocol සඳහා දින 20 කුත් එන්නත් කරයි. පොලිසිස්ටික් ඕවරීස් වැනි තත්ත්ව ඇති විට long protocol ක්‍රමය භාවිත කරයි. ඒ ඩිම්බ අධි උත්තේජනය විය හැකි නිසයි. FSH හෝමෝනය අඩු කාන්තාවන්ට, AMH හෝර්මෝනය වැඩි කාන්තාවන්ට, වයස වැඩි කාන්තාවන්ට short protocol හෙවත් දින 10ක එන්නත් ක්‍රමවේදය භාවිත කරයි. මෙලෙස දෙනු ලබන්නේ ඩිම්බ උත්තේජනය කරන එන්නතයි. මෙහිදී ලබා දෙන්නේ FSH නමැති හෝ්මෝනයයි.
මෙම එන්නත් ලබා ගැනීමට දින දහයක් විස්සක් කොළඹ සිටිය යුතුයි, එන්නත් ලබා ගැනීමට සායනයට පැමිණිය යුතුය..... ආදී ලෙස බොහෝ දෙනා සිතයි.මෙය ඉන්සියුලින් හෝමෝනය මෙන් එන්නත් කරන පෑනකි. මෙය තමාට ම නිවෙසේදීම කළ හැකියි. තමාම එන්නත ලබාගෙන රැකියාව බලා පිටත්ව යෑමට ද පුළුවනි. මේ අතරතුර කාලයේ දින තුනක් ඩිම්බ පරිණත වී ඇත්දැයි පරික්ෂා කරයි.දින දහය ඇතුළත 2 වන දින, 7 හෝ 8 දින, 10 වන දින මෙලෙස පැමිණිය යුතුයි. ඔසප් වී දෙවන දිනයේ සිට එන්නත් විදීම අරඹයි. දින 10 අවසානයේ ඩිම්බ චූෂණය හෙවත් ඒවා පිටතට ගැනීම සිදු කරයි.
උපදෙස්
කලල විද්‍යා වෛද්‍ය
මධාර රැලපනාව