එයා මුහුණ හකුළුවා ගත්තේ මගේ කට ගඳ නිසාද?

පෙබරවාරි 27, 2023

 

තමාගේ ප්‍රාශ්වාස වාතය දුර්ගන්ධවත් එකක් දැයි බැලීමට විදෙස් රටවල නම් යන්ත්‍ර තිබේ. ශ්‍රී ලංකාවේ තවම එවැනි පහසුකමක් නොමැත. මුඛය දුර්ගන්ධවත් දැයි බැලීමට ලෝහමය හැන්දක් කටේ දමාගෙන එහි කෙළ තවරා ගන්න. පිටතට ගෙන විනාඩි දෙකකට පමණ පසු හැන්දෙන් දුගඳක් හමනවා දැයි බලන්න.එසේ වී නම් නිසැකවම ඔබේ මුඛය දුර්ගන්ධයෙන් යුතු එකකි. මෙවැනි ස්වයං පරීක්ෂණයක් ඔස්සේ තමාටම යථාර්ථය අවබෝධ කරගෙන දුගඳ පාලනය කිරීමට කටයුතු කළ හැකියි. මැණික්කටුව ලෙවකමින් එය වියළිව තබන්න. ටික වේලාවකට පසු දුගඳක් හමනවා දැයි බලන්න.

 

ඔබේ මුඛයෙන් දුර්ගන්ධයක් හමනවා යැයි කෙනකු කීවෝත් එක්වරම ඔබ කලබලයට පත්වේවි.හිතා ගන්නටවත්, අදහා ගන්නටවත් බැරි වේවි.ඇතැම්විට ඔබ පිළි නොගෙන සිටින්නටත් පුළුවනි.

 

මුඛයෙන් දුර්ගන්ධයක් හමන කෙනෙකුට සමාජ ඇසුරක් පවත්වා ගෙනයෑම පවා ගැටලුවක්. 'අනේ මගේ කටිනුත් ගඳක් හමනවද දන්නේ නෑ' යනාදි වශයෙන් දෙගිඩියාවෙන් ඉන්නටත් පුළුවනි. ඔබත් සමඟ කතාබහ කරන කෙනෙක් එක්වරම මුහුණ හකුළුවා ගන්නේ නම් ඔබ මොනතරම් අපහසුතාවකට පත් වේවිද? ඒ ඔබේ මුඛයෙන් හමන දුර්ගන්ධය නිසාම නොවේද? මේ නිසා ඔබට මුළුගැන්වී සිටින්නට වේවි. ඔබ පෙම්වතෙක් පෙම්වතියක් නම් ආදරය කරන්නට පවා වැටකඩොළු දැමේවි. ඔබේ පෞරුෂත්වය එහෙම පිටින්ම බිඳ වැටේවි.

මුඛ සෞඛ්‍ය

මුඛයෙන් දුර්ගන්ධයක් හමන අයකුගේ නිසැකවම මුඛ සෞඛ්‍යයේ ගැටලුවක් තිබේවි. දත්වල දුර්ගන්ධය අවම කිරීමට පහසු හා සරලම ක්‍රමයවන්නේ මනා මුඛ සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමයි. මුඛ සනීපාරක්ෂාවේ අඩුලුහුඬුතා ඇතිවිට මොනතරම් අපහසුතාවනට ලක්වන්නේ දැයි දන්නේ ඊට මුහුණ දීමෙන්මයි.

නිසිලෙස දත් මැදීම : දිනකට දෙවරක් දත් මැදීම ප්‍රමාණවත්. උදේ, රාත්‍රියට අමතරව දවාලට පැණිරස ආහාර වැඩිපුර ගත්තේ නම් දත් මැදීමට පුළුවනි.දෙවතාවක් හෝ දත් නොමදින අයගේ මුඛයෙන් ද දුගඳක් හමන්නට පටන් ගනියි.

* මාස දෙක, තුනකට වතාවක් හෝ අලුත් දත් බුරුසුවකට මාරුවන්න.

* දිනකට දෙතුන් වතාවකට වඩා දත් මැදීම දත්වලට කරන හානියක් වීමටත් පුළුවන්.

* මාස තුන, හතරකට වරක් දත් බුරුසුව මාරු කළ යුතුයි.

*දත්වල කුහර මුඛයේ දුර්ගන්ධය ඇති කිරීමට ප්‍රධානම හේතුවක්. එබැවින් කුහර ඇතිවීම හැකිතාක් වළක්වා ගත යුතුයි.මේ කුහරවල ආහාර කැබැලි නොරැ⁣ඳේවි යැයි කිසිවිටෙක හිතන්නට බැහැ.ඇසට නොපෙනෙන පුංචි පුංචි ආහාර කැබලි දත් බුරුසුවෙන් පවා පිටතට ගත නොහැකි ඒවා මෙලෙස කුහරවල රැඳී තිබේවි.මේ ආහාර කැබැලි නිසා මුඛයෙන් අප්‍රසන්න දුගඳක් හැමීම නතර කළ නොහැකි වේවි.

 

Dental floss ක්‍රමය ඔස්සේ(නූලක් වැනි යමක් ) දත් අතර රැ⁣ඳෙන ආහාරවල කුඩා අංශු පිටතට ගත හැකි වේවි.එසේ නොවුණු විටදී බැක්ටීරියා පටලයක් ඇතිවේ. දත් හා විදුරුමස් අතර ප්‍රදාහයන් ඇතිවන්නේ ඒ අනුවයි.විදුරුමස සෞඛ්‍යසම්පන්නව පවත්වාගෙන නොගියහොත් විවිධ දුගඳවල් හැමීමට ඇති ඉඩකඩ වැඩිවේ.

දිව මැදීමද අත්‍යවශ්‍ය කාරණයකි. දිවේ සෛල මිය යෑම නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩිවේ. රෝස පැහැති පැහැදිලි දිවක් පිරිසුදු හා නීරෝගි බවේ ලක්ෂණයකි.

මුඛ සේදුම් දියරයක් භාවිත කිරීම

මුඛය සම්බන්ධයෙන්, දත් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් දන්ත වෛද්‍යවරයකු හමු වීම සුදුසුම ක්‍රියා මාර්ගයයි. ප්‍රතිබැක්ටීරීයා මුඛ සේදුම් දියරයක්, ප්‍රතිබැක්ටීරීයා අඩංගු දන්තාලේපයක් වෛද්‍යවරයා විසින් නියම කරාවී.

ඇතැම් දුම්කොළ නිශ්පාදන නිසා මුඛයෙන් දුගඳක් හමයි. ඒවායින් විදුරුමස් ⁣රෝග ඇතිවීමට ඉඩකඩ වැඩියි.

මුඛය වියළියි නම්

මුඛයේ ඇති කෙළ මුඛය පිරිසුදු කරවයි. මුඛය වියළි අයගේ කෙළ ස්‍රාවය වන්නේ අඩුවෙනි. එලෙස මුඛය දුර්ගන්ධ වීමට හේතුවකි.දිනකට වතුර මිලීලීටර් 2 - 2 1/2 ක ප්‍රමාණයක් බීමට ගත යුතුයි. වතුරින් හැමවිටම මුඛය පිරිසිදු වේ.

ආහාර පාලනය

කෑම ගන්නේ අඩුවෙන් නම්, ආහාර පාලනය කරනවා නම්, උදේ ආහාරය මඟ හරිනවා නම් කෙට්ටු වෙන්නට උත්සාහ කරනවා නම් කීටෝන් බොඩිස්(Keton bodies) සෑදේ. මේ නිසා ප්‍රාශ්වාස වාතය ගඳගහන එකක් බවට පත්වේ.සමබල ආහාර වේලක් ගැනීම, නිතර ව්‍යායාම කිරීම තුළින් මේ තත්ත්වය අවම කරගත හැකිවේ.

ආහාර ජීර්ණ පද්ධතියේ වෙනස්කම්

බඩවැල්වල විවිධ අවහිරතා ඇතිවිටද දුගඳක් හමයි. මේ දුගඳ මලපහවල දුගඳට සමාන වේ.

පිළිකා, අක්මා රෝග තත්ත්වයන් නිසාද මුඛය දුර්ගන්ධ වීමට පුළුවනි.

 

ලූනූ, සුදුලූනූ, කුළුබඩු සහිත ආහාර, සීනි රහිත ආහාරයන්ගෙන්ද මුඛය දුර්ගන්ධ වේ.

* උණු වතුර කෝප්පයකට දෙහි යුෂ ස්වල්පයක් දමා දිනකට දෙවරක් මුඛය සෝදන්න.

*දත් මැදීමෙන් පසුව මද උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් දමා මුඛය සෝදන්න.

* දත් මදින විට පොල්තෙල් ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් දමා දත් හොඳින් පිරිසිදු කර ගන්න.

* කුරුඳු පොතු, කොස් නටු, පුවක් මල් තම්බා ගත් ජලයෙන් කට නිතර සෝදන්න.

* කරාබු නැටි කිහිපයක් තලා රාත්‍රියේදී වතුර වීදුරුවකට දමා උදෑසන හිස්බඩ පානය කරන්න.

* සමන් පිච්ච කොළ , බෙලි කොළ තම්බා මුඛය සෝදන්න

* උණු වතුර කෝප්පයකට බේකින් සෝඩා තේ හැදි 1 ක් හෝ 2 ක් එකතු කර හොඳින් මිශ්‍රකර එයින් ඔබේ මුඛය සෝදන්න. මෙය ආහාර ගැනීමෙන් පසුව දවසට කීප වරක් සිදු කිරීමෙන් මුඛ දුර්ගන්ධය වළකා ගන්නට පුළුවන්.

මෙතෙක් කල් ඔබත් මුඛය දුර්ගන්ධවත්ව සිට යථා තත්ත්වයට ඒමට කැමැත්තක් දක්වන්නේ නම් ඉහත කී උපදෙස් පිළිපදින්නට මැළිවන්න එපා.