සිත කය සන්සුන් කරන යෝගා භාවනා ආසන

ජුනි 4, 2024

 

හිතට කිසිම සැහැල්ලුවක් නැද්ද? ආතතිය වැඩි වෙලා ද? මනස නොසන්සුන් ද? ජීවත් වුණා ඇති කියලා හිතෙනවා ද? මේ ගැටලු අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්. අද නිර්මාණය වෙලා තියෙන්නේ අතිශය තරගකාරී සමාජයක්. ඔබට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ එකෙකු අබිබවා තවත් කෙනෙක් නැඟිටින්නට වෙර දරන සමාජ වටපිටාවක.

 

එවැනි පසුබිමක් තුළ ඉහත සඳහන් කළ ගැටලුකාරී තත්ත්වයන් කායික, මානසික හා සමාජීය පැවත්මට සෘජුව හා වක්‍රාකාරව බලපෑ හැකියි. දවසේ පැය විසිහතර පුරාවට අපි කරන්නේ ජීවත්වෙන්න ජීවිතය එක්ක ඔට්ටු අල්ලන එක. එවැනි වටපිටාවක ඔබ නිරන්තරයෙන් විඩාවට හා ආතතියට පත් වෙන්න පුළුවන්. ජීවිතය පස්සේ දුවලා හති වැටිලා ඇති වුණාම බොහෝ දෙනෙක් මානසික සුවය ලබාගන්න හැකි විවිධ ක්‍රමවලට යොමු වෙනවා. යෝගා අභ්‍යාස කියන්නේ සිතේ ඇතිවන විඩාව, මහන්සිය විතරක් නෙවෙයි සිරුරත් නිරෝගී කරවන ඖෂධයක් කිව්වොත් හරියටම හරි.

 

යෝගා අභ්‍යාසයකින් ඔබට නැතිවූ මානසික සුවය ලබාගන්නත්, ආතතිය අවමකර ගනිමින් නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ යෝගා අභ්‍යාසයන්හි නිරත වීම තුළින් ඔබේ ජීවිතයට සුව සහනය ළඟාකර ගත හැකියි. අද අපි කතා කරන්නේ ගතයි සිතයි දෙකම සුවකරන යෝගා භාවනා අභ්‍යාස කිහිපයක් ගැනයි.

මෙහි දැක්වෙන සියලුම භාවනා ආසන පුරුදු පුහුණුවන විට පුද්ගලයාගේ මානසික ස්වභාවය සහ කායික ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

 

මෙහි මුලින් දැක්වෙන්නේ සුබාසනයයි. ඉන්පසු වජ්‍රාසනයත් පද්මාසනයත් ගෙන හැර දක්වමු. මෙම සියලුම භාවනා ආසනවල ප්‍රතිඵල ලබා ගැනීමට කාලයක් එක දිගට පුරුදු පුහුණු විය යුතුය. විශේෂයෙන් හට යෝග ක්‍රමයේ එන මෙවැනි යෝග අාසන සඳහා ප්‍රතිඵල ලබා ගැනීමට නම් බ්‍රහ්ම මූර්තයේ එනම් පාන්දර 4.12ත්

5.12ත් අතර කාලයේදී පුහුණු වීම් කළ යුතුය.

 

සුබාසනය

පළමුව සුබාසනයේ යෙදෙමු. සුබ ආසනය යනු පහසුවෙන්ම යෙදිය හැකි ආසනයයි. මෙම ආසනය බාල, මහලු, තරුණ, ගැබිනි කා හටත් පහසුවෙන් යෙදිය හැකි ආසනයකි. මුලින්ම පාද දෙක ළංකර ගන්න. ඉන්පසු රූපයේ පෙනෙන ආකාරයට පාද දෙක එකිනෙකට හරස්ව තබා ගන්න. දණහිස් දෙක පො‍ෙළාවෙන් ඉහළට එසවී තිබිය යුතුයි. කොන්ද සෘජුව තබා ගන්න. දෙඅත් දිගහැර ඥාන මුද්‍රාවේ තබා ගන්න. ආසනයේ විනාඩි 2-3ක් රැඳී රිද්මයානුකූල ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදෙන්න. මනසින් සිරුර සැහැල්ලුකර ගන්න. සුබාසනයේ යෙදීමෙන් කොන්දට, දණහිස්වලට සහ වළලුකරවලට ව්‍යායාම් ලැබේ.

 

වජ්‍රාසනය

දැන් දෙවැනි රූපයේ ආකාරයට වජ්‍රාසනයට පිවිසෙමු. ඒ සඳහා දණහිස් දෙක පො‍ෙළාව මත තබා දෙපා පිටුපසට සිටින සේ තට්ටම් දෙක මත වාඩි වෙන්න. එසේ වාඩි වී සිටින විට දෙවිළුඹ දෙක එකට සම්බන්ධ වී යටි පතුල් උඩට හරවා තබාගත යුතුය. කොන්ද සෘජුකොට දෙඅත් කකුල් මත තබා ගන්න.

මෙම ආසනයේ රැඳී ආහාර ගැනීම, රූපවාහිනිය නැරඹීම, භාවනා කිරීම ඉතාම සුදුසුයි. ආහාරගත් විගස පුටුවක වාඩී වී විවේක ගන්නවට වඩා වජ්‍රාසනයේ රැඳී සිටීම ශරීරයට බෙහෙවින් ගුණදායකය.

වජ්‍රාසනයෙන් ආහාර ජීර්ණයට මනා පිටිවහලක් ලැබේ. උදරාබාධ සුවකරයි. තමන් ගන්නා අපහසු ආහාර පවා වජ්‍රාසනයෙන් දිරවයි. වාත රෝග බැහැර කරයි. ශරීරයේ සුදු රුධිරාණු ප්‍රමාණය වර්ධනය කරයි. ඒ වගේම හර්නියා, අර්ශස් සහ නාඩි දුර්වලතාවලටත් මෙය ප්‍රතිකාරයකි.

 

 

පද්මාසනය

ඉන්පසු අප පද්මාසනයට පිවිසෙමු. මෙය යෝග අභ්‍යාසවල එන ශ්‍රේෂ්ඨතම භාවනා අාසනයකි. පද්මාසනය යනු සංස්කෘතික භාෂාවෙන් නෙළුම් මලයි. මෙම ආසනයේ රැඳී සිටින විට පිපුණු නෙළුම් මලක ස්වරූපය දිස්වේ.

ඒ සඳහා පාද දෙක සුබාසන ඉරියව්වට ගෙන එන්න. දැන් ඔබේ දකුණු පාදය දෑතින් අල්ලාගෙන වම් පාදයේ කලවා මත තබා ගන්න. එවිට එම උඩින් තැබූ පාදයේ පතුල උඩු අතට හැරී තිබිය යුතුයි. දැන් වම් පාදය ද එම ආකාරයට ගෙන දකුණු පාදයේ කලවා මත තබා ගන්න.

දෑත් දෙක දණහිස් හරහා තබාගෙන කොන්ද කෙළින්කර තත්ත්පර 10-15ක් ආශ්වාස ප්‍රාශ්වාස ව්‍යායාමයේ යෙදෙන්න. පද්මාසනය හොඳින් පුරුදු පුහුණු වූ පසු රැඳෙන කාලය විනාඩි 15-20 දක්වා වැඩිකර ගන්න.

සිත තැන්පත්කර ගැනීමට, ශරීරය නිරෝගීව පවත්වාගෙන යෑමට පද්මාසනයෙන් ලැබෙන පිටිවහල අතිමහත් ය. මෙම ආසනයේ යෙදීමෙන් මනස නිශ්චලකර මානසික විවේකය නම්‍යකූලත්වය වර්ධනය කරයි. පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේෂීන් හා නහරවල් ශක්තිමත් කෙරේ. මේ භාවනා ආසන නිරන්තරව ප්‍රගුණ කිරීමෙන් මහත් ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

 

ඡායාරූප -තිලක් පෙරේරා

නිරූපණය - හාශිනි, චිරත්ජීවා