වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
ඔයාටත් නිතර නිතර අමතක වෙනවද?
මතකය වර්ධනය කිරීමට සමත් මැජික් ආහාරයක් හෝ විටමින් වර්ගයක් නොමැති නමුත් පෝෂ්‍යදායි ආහාර මොළයේ සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ.
විශේෂයෙන්ම කොළ ආහාර වර්ග, ඇට වර්ග මෙන් ම තෙල් බහුල මත්ස්‍ය සහ පලතුරු වර්ග මේ සඳහා වඩාත් සුදුසු වේ.
‘නාලිකා මගේ ෆෝන් එක දැක්කද?’ ‘අැයි අනේ ඔයා දැන් ටිකකට කලින් චාජර් එකට ගැහුවා නේ.’ ‘අනේ ඇත්තමයි මට අමතක වුණානේ. හරි හරි ඉක්මනට යමු නේද? හොඳටම පරක්කුයි... අද නම් වෙලාවටම ඔෆිස් යන්න ඕනේ...’
‘ඔක්කොම ලෑස්තියි යමු...’ ‘මේ නාලිකා මට මතක නෑනේ දොර වැහුවද කියලා.’ ‘ඔයා හැමදාම ඔහොමයි අරක මතක නැහැ, මේක මතක නැහැ. දැන් ඉතින් අදත් ලේට් නේ. කමක් නැහැ අැයේ ගිහින් බලමු.’ දොර වහලා නැහැනේ ඒ මදිවට ලන්ච් බෑග් එකත් තාම සාලේ.. ඔයා කිව්වනේ කෑම එක දාගත්තා කියලා..’ ‘මට අමතක වුණානේ..’ ‘අනේ මන්දා සුජිත් මට නම් මේක ඇති වෙලා.. හැම එකම මතක නැහැ. මේ විදිහට ගියොත් ඔයාට මාවත් අමතක වෙයිනේ.’
මේ විදිහේ දේවල් ඔබත් නිවෙසේදී අසා ඇති... මේ අතට ගත්ත ෆයිල් එක කොහෙන් තිබ්බද මන්දා. මතක නෑනේ.. ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් එයත් ඔබට හුරුපුරුදු වැකියක්. නිතර මතකය අමතක වීම ලෙඩක් ද? අද කතා බහ කරමු ඒ ගැන.
මතකය යන්න අපේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක්. ඉගෙනීමට, රැකියාවට, එදිනෙදා ජීවිතයට මේ හැම අවස්ථාවකටම මතකය නැතිවම බැරි දෙයක්. නමුත් සාමාන්‍යයෙන් අපි කාටත් අමතක වීම පොදුයි. එහෙත් මේ අමතක වීම සාමාන්‍ය දෙයක් විදිහට සැලකිය හැකි අවස්ථා මෙන්ම එසේ සැලකිය නොහැකි අවස්ථා ද තිබෙනවා. අපිට නිතරම වගේ අමතක වෙනවා නම් එය ප්‍රශ්නයක් වන්නේ අපේ රාජකාරී කටයුතුවලට වගේම එදිනෙදා ජීවිතයටයි. මේ විදිහට මතකය අහිමි පුද්ගලයන් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නන් ලෙස හඳුන්වයි. මේ ඩිමෙන්ෂියාව ඇතිවීමට හේතුව ඇල්සයිමර් තත්ත්වයයි.
මතකය අමතක කරවන ඇල්සයිමර්
මහලු වීමත් සමඟ තමන්ගේ මතකය අඩුවන බව බොහෝ දෙනෙකු සඳහන් කළත් ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) වැලඳුණු පුද්ගලයන්ගේ මතකය ඉතාම ඉක්මනින් අඩු වී යයි. මෙය ඇතැමකුට මහලු වියට එළැබීමට පෙර වුවද ඇති විය හැකිය. මේ අයගේ මතකය ඉක්මනින්ම අඩු වී යන නිසාම කලබලකාරී ව්‍යාකූල තත්ත්වයක් (confusion) ඔවුන් තුළ ඇති වේ. මේ අමතක වීමත්, ව්‍යාකූල තත්ත්වයත් නිසා ඔවුන් කලකිරීමටත්, පහසුවෙන් කෝප ගැනීමට මෙන් ම බියටපත් වීමටත් ලක් වේ. මේ රෝගයට ලක් වූවන්ට බොහෝ විට අතීතයේ සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳ හොඳින් මතක තිබෙන අතර වඩාත් මෑත කාලයේ සිදු වූ දේ පිළිබඳව අමතක වීම බහුලව සිදුවනු දැකගත හැකි ය.
මොවුන්ට අවස්ථාවට සුදුසු වචන තෝරා බේරා ගෙන කතා කිරීමට අපහසුය. ඒ නිසාම කතා කිරීමේ දී ගොත ගැසීම, දිගු නිහඬතාවය සහ එකම දේ නැවත නැවත කීමත් දැක ගත හැකි ය. එසේම මේ රෝගීන්ට තමාගේ නිවෙස වැනි ඉතා සුපුරුදු පරිසරයක පවා අවශ්‍ය තැන් සොයා ගැනීම අපහසු වනු දැක ගත හැකි ය. උදාහරණයක් ලෙස වැසිකිළිය හෝ කුස්සිය සොයා ගැනීමට අපහසු වී වෙනත් කාමරයකට යෑම දැක්වීමට පුළුවන.
රෝග තත්ත්වය වර්ධනය වීමත් සමඟම එදිනෙදා කටයුතුවන කඩමණ්ඩියට යෑම, ඉවුම් පිහුම් කිරීම පමණක් නොව මුහුණ කට සෝදා තම ඇඳුම් පැලඳුම් ඇඳ ගැනීමට ද අපහසු තත්ත්වයක් ඇති වේ. අන් අය සමඟ කතාබහ කිරීම අපහසුවන අතර ඒ නිසාම තමා අවට පරිසරය පිළිබඳ අවධානය නැති වී යයි. මේ නිසා ඔවුන් වඩ වඩාත් මානසික අවපීඩනයට ලක් වනු දැකගත හැකි ය.
එහෙත් මෙවැනි රෝග ලක්ෂණවලට ඇල්සයිමර් රෝගය පමණක් නොව රුධිර සංසරණ පද්ධතියේ රෝග තත්ත්ව, අංශභාග රෝගය මෙන්ම ඖෂධවල අනිසි ප්‍රතිඵල ද හේතුකාරක විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.
ඇල්සයිමර් රෝගය යනු කුමක් ද?
මෙහිදී මොළය තුළ ඇමිලොයිඩ් (amyloid)ප්‍රෝටීන තැන්පත් වීම සහ ස්නායුවල තන්තු එකිනෙක පැටලී ගැටිති ඇති වීම සිදු වේ. මොළය පුරාම මේ තත්ත්වය ඇති වුවත් වඩා දරුණු ලෙසින් මොළයේ සිතීමේ මධ්‍යස්ථානය ලෙසින් සැලකෙන හිපොකැම්පසය (hippocampus) මේ තත්ත්වයට ලක් වීම නිසා මතකයට හානි සිදුවීම වැනි රෝග ලක්ෂණ පහළ වේ. කල්ගත වීමේ දී මොළයේ ස්නායු සෛලවලට හානි සිදු වී ඒවා විනාශ වේ. මේ නිසා මොළයේ ස්නායු පටක ප්‍රමාණය අඩු වී මොළය ප්‍රමාණයෙන් කුඩාවන අතර මොළයේ ඇති තරලවලින් පිරි කුටීර (ventricules) ප්‍රමාණයෙන් විශාල වේ. මේ අවස්ථාවේ දී මොළයේ ස්කෑන් පරීක්ෂණයක් මඟින් තත්ත්වය හඳුනාගත හැකි වුවත් මුල් අවස්ථාවේ දී එවන් ලක්ෂණ දක්නට නො ලැබෙන බැවින් රෝග තත්ත්වය ස්කෑන් පරීක්ෂණ මඟින් හඳුනාගැනීම අපහසු ය.
එක්සත් රාජධානියේ දත්තවලට අනුව වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගෙන් 14 දෙනෙකු ගෙන් එක් අයෙකුට ද, වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට ද ඇල්සයිමර්ස් රෝගය ඇති බව දැක්වේ.
තවත් බැරෑරුම් අවස්ථාවක් වනුයේ ඉතා අඩු එනම් අවුරුදු 30 හෝ හතළිහේ දී මේ තත්ත්වයට ලක්වන පුද්ගලයන් ද හමු වීමය.
මතකය අහිමි dementia රෝගියෙකු රැක බලා ගැනීම
තම පවුලේ අයකු හෝ මිතුරෙකු ඇල්සයිමර් රෝගයට ලක් වී මතකය අහිමි වීම කනගාටුදායක අවස්ථාවකි. බොහෝ විට තමන් හෝ තම පවුලේ අයකු මේ රෝග තත්ත්වයට බඳුන් වී ඇතැයි පිළිගැනීමට බොහෝ දෙනා මැළිකමක් දක්වති. අනෙක් අතට මෙවැනි රෝග තත්ත්වයක් අප සමාජය තුළ පැහැදිලි හඳුනාගැනීමක් නොමැති නිසා එය මානසික ආබාධයක් ලෙසින් සලකා සාමාජීය වශයෙන් කොන් කිරීමකට ලක්වන අවස්ථා ද දැක ගත හැකි ය. මතකය අහිමි යමෙකුගේ චර්යා රටාවන් බෙහෙවින් වෙනස්වන බැවින් ඔවුන් බලා කියා ගැනීම ඉතාම බැරෑරුම් කටයුත්තකි. විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල මේ සඳහා ඇති විශේෂ සායන සහ පහසුකම් පවතී. අප රට තුළ වර්ධනය වී නොමැති බැවින් බොහෝ විට මේ කර්තව්‍යයට මුහුණ දීමට සිදු වන්නේ රෝගියාගේ පවුලේ සාමාජිකයන්ටය. මෙවන් වාතාවරණයක් තුළ එවැනි රෝගියෙකු රැකබලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එසේ වුවද රෝගියාගේ සුවසෙත සඳහා මේ කාර්යය ඉටු කිරීම අපගේ වගකීමකි.
රෝගියාට තම අනාගතය පිළිබඳ විශ්වසනීයභාවය ඇති කිරීම
මතකය අහිමි වී යන අයගෙන් බොහෝ දෙනා තුළ මුල් කාලයේ දී ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇත. එහෙයින්ම ඔවුන් අනාගතයේ දී තමන්ට අත් විය හැකි ඉරණම පිළිබඳව කනගාටුවට පත් වීම සිදු වේ. මේ නිසා මේ රෝගීන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ විශ්වසනීයභාවය ඇති කිරීම ඉතාම වැදගත් ය. එසේ නොකළ හොත් ඉතා ඉක්මනින් ඔවුන් මානසික අවපීඩනයට ලක්වේ.
නිසි පරිදි ඖෂධ ලබා දීම
මතකය අඩු වීම පාලනය කිරීමට ලබාදෙන ඖෂධ මෙන්ම ඔවුන්ගේ වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ නිසි ආකාරයෙන් මේ රෝගීන්ට ලබා දීම ඉතා ම වැදගත් කරුණකි. ඔවුන් ඒ ඖෂධ නිසි පරිදි පාවිච්චි කරන බව සනාථකර ගැනීම වැදගත්වන අතර පසුකාලීනව ඔබ ඉදිරියේදීම එම ඖෂධ රෝගීන්ට ලබා දීම කළ යුතු වේ. එසේම මේ රෝගීන් නියමිත කාලාන්තරයකට අනුව වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගැනීම ද වැදගත් වේ. විශේෂයෙන්ම අලුත් රෝග ලක්ෂණයක් පහළ වූ විට ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ.
මෙහි දැක්වූයේ මතකය අහිමිවන රෝගියෙකු රැකබලා ගැනීමේ දී වැදගත්වන ප්‍රධාන කරුණු කීපයක් පමණි. ඉතාම වැදගත් වන්නේ ඉවසීමෙන් සහ සන්සුන් ව කටයුතු කිරීම ය. මහලු, රෝගී සහ අපහසුතාවලට ලක් වූ අය හොඳින් රැක බලා ගැනීම අපගේ සංස්කෘතියේම අංගයක්වන බැවින් මෙවැනි රෝගීන්ට සහනයක් සැලසීමට කටයුතු කිරීම අපට අමුතු දෙයක් නො වේ.
ඇල්සයිමර් රෝගය සඳහා ප්‍රතිකාර
ඇල්සයිමර් රෝගය වැලඳුණු රෝගීන්ගේ ස්නායුවලට හානි සිදු වේ. මේ නිසා ස්නායු ප්‍රමාණය අඩුවන අතරම ස්නායු අතර පණිවුඩ ගෙන යන රසායනයක්වන ඇසිටයිල්කෝලීන් (aacetylcholine) නිපදවීම ද අඩු වේ. මේ නිසා රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස සිරුරේ ඇසිටයිල් කෝලීන් ප්‍රමාණය ඉහළ නැංවීම යොදා ගැනේ. මේ සඳහා ඖෂධ ගණනාවක්ම ඇත. රෝගයේ මුල් අවස්ථාවේදීම මේ ඖෂධ භාවිතයට ගත්තේ නම් රෝග තත්ත්වය දරුණු වීම ප්‍රමාද කර ගැනීමට හැකියාවක් තිබේ. මුල් අවස්ථාවේදීම ඖෂධ භාවිතාව මඟින් රෝගය මාස ගණනාවක සිට අවුරුදු දෙක තුනක් දක්වා ප්‍රමාදකර ගැනීමේ හැකියාව ඇත. ඒ මඟින් මේ රෝගීන්ගේ ජීවන තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතර රෝගීන්ට මෙන්ම රෝගියා සමඟ වාසය කරන අයට ද රෝගය පිළිබද වැඩි අවබෝධයක් ලැබීම නිසා ඉදිරියේ දී ඇතිවන ගැටලුකාරී අවස්ථා අඩුකර ගැනීමට ද මහඟු උපකාරයක් වේ.
කෙසේ වුවද මෙම ප්‍රතිකාර ක්‍රම එදිනෙදා සායනික වශයෙන් භාවිත කිරීමට අඩු වශයෙන් තවත් අවුරුදු කිහිපයක් ගතවනු ඇත. එබැවින් දැනට ඇති දැනුම යොදාගෙන රෝගය වළක්වාලීමට උපරිම අයුරින් කටයුතු කිරීම මෙන්ම රෝගයට ගොදුරු වූවන් මැනවින් රැක බලා ගැනීම ඉතාම වැදගත් ය.
මතකය දියුණුකර ගත හැකි වේ ද?
මගේ මතකය මීට වඩා හොඳ වූවා නම් වඩාත් මැනවැයි අප හැමටම සිතුණු අවස්ථා එමටය. ඇත්තෙන්ම අපේ මතකය තවදුරටත් වර්ධනයකර ගැනීමට නැතහොත් අමතක වීම් අඩුකර ගැනීමට හැකියාවක් ඇත. ඒ සඳහා විද්‍යාත්මකව සනාථ වී ඇති උපක්‍රම කිහිපයක් පිළිබඳ සලකා බලමු.
නැවත නැවත යමක් කිරීම
පාඩම් කිරීම මේ සඳහා ඇති කදිම උදාහරණයකි. එකම දෙය නැවත නැවත කිරීම මඟින් එය සිත තුළ හොඳින් තැන්පත් වෙයි. හොඳින් දන්නා දෙයකට සබඳතාවක් ඇතිකර ඒ මඟින් මතකය වඩාත් තහවුරුකර ගැනීමට පුළුවන. එලෙසම පහසුවෙන් මතක තබා ගත හැකි දෙයකට සම්බන්ධතාවක් ඇති කිරීමෙන් මතකය වර්ධනය වේ.
උදාහරණයක් වන්නේ දිසාවන් මතක තබා ගැනීමට අප භාවිත කරන “උපාලි ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” යන්න දැක්විය හැකි ය.
පෝෂ්‍යදායී ආහාර ගැනීම
මතකය වර්ධනය කිරීමට සමත් මැජික් ආහාරයක් හෝ විටමින් වර්ගයක් නොමැති නමුත් පෝෂ්‍යදායි ආහාර මොළයේ සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් ම කොළ ආහාර වර්ග, ඇට වර්ග මෙන් ම තෙල් බහුල මත්ස්‍ය සහ පලතුරු වර්ග මේ සඳහා වඩාත් සුදුසු වේ. එසේම අධික ලුණු සහ තෙල් සහිත ආහාර භාවිත කිරීමෙන් වැළකී සිටීම ද වැදගත් ය.
උපදෙස්
අංගොඩ ජාතික මානසික
සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය
කපිල රණසිංහ