අපස්මාරය වැඩි වෙලා ඇයි මේ?

මාර්තු 20, 2023

සමාජයේ අපි අතර බහුලව දක්නට ඇති රෝග එකිනෙකට වෙනස් වුවත් අපි මේ රෝග කිසිවක් කාටවත්ම වැලඳෙන්නේ නැත්තම්.... කියා සිතේවි. අපස්මාරය හෙවත් මීමැස්මොරයත් එවැනිම රෝගයක්. සිරුර ගැහිලා, ක්ලාන්තය මෙන් ඇද වැටී, දත කට පූට්ටු වී අවසානයේ කට කොනින් සෙම ගලා යන තත්ත්වය ෆිට් එක, මී මැස්මොරය, අපස්මාරය යන නම් වලින් හඳුන්වන්නයි, අපි පුරුදුව සිටින්නේ.

 

බාල මහලු භේදයකින් තොරව වත්මනේ වැඩි පිරිසක් අතර අපස්මාර රෝගී තත්ත්වය ඇතිබවයි සෞඛ්‍ය අංශ වෙතින් ඇසෙනුයේ.

ව්‍යවහාරයේ ෆිට් එක නැතිනම් වලිප්පුව යන තත්ත්වය ඇතිවීමට ප්‍රවණතාවක් ඇති රෝගී තත්ත්වය අපස්මාරයි. අපස්මාරය ඇති අයකු නිරතුරුවම ෆිට් එක නිසා අපහසුතාවට ලක්වේ. ෆිට් එක සැදුන විට මොළයේ ස්නායු අධි විද්‍යුත් කම්පනයකට ලක්වේ. මෙය මොළයේ සීමිත කොටසක් හෝ සම්පූර්ණ මොළයෙන්ම ඇතිවන තත්ත්වයකි. විද්‍යුත් කම්පනය හටගන්නා ස්ථානය මත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

 

අපස්මාර රෝග ලක්ෂණ

*සිහිමද තත්ත්වයෙන් සිටීම

*අත් පා දැඩිවීම

*ඇස් ගිලීයනවා සේ ඉහළ යෑම

*වර්ණවත් බල්බ පත්තු වෙනවා සේ පෙනීම

මී මැස්මොරය යනු අපස්මාරයට ඇති තවත් වචනයකි.

 

*උණ වලිප්පුවයි, අපස්මාරයයි දෙකක්ද?

උණ වලිප්පුව මාස 3 -6 අතර කාලයක දී ඇති වී අවුරුදු 5-6 අතර කාලයකදී ඉබේම සුව වී යයි. මෙය වලිප්පුවක් මිසක අපස්මාර තත්ත්වයක් ලෙස නොසැලකේ. ඒ මොහොතට අවශ්‍ය බෙහෙත් නියම කරනවා වෙනුවට දීර්ඝකාලීනව ගන්නට ඖෂධ නියම නොවේ.

රුධිරයේ සිනී මට්ටම වැඩි අය අඛණ්ඩව ඖෂධ ලබාගනිමින් කරන්නේ රෝගය පාලනය කිරීමයි. අපස්මාර තත්ත්වයේදීත් නියම කරන ඖෂධ වර්ග කිහිපයක් තිබේ. එය අපස්මාර තත්ත්වය මත රඳා පවතී. මේ ඖෂධ මඟින් රෝගී තත්ත්වය මැඬ පවත්වනවා විනා නිට්ටාවට සුව කිරීමක් සිදුනොවේ. තවත් ඇතැම් අපස්මාර තත්ත්ව කාලයත් සමඟ ඉබේම සුව වී යයි. තවත් පිරිසකගේ ඖෂධ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හෝ මාත්‍රාව අඩු කිරීමට පුළුවනි. මෙය තීරණය වන්නෙත් අපස්මාර වර්ගය මතයි.

අපස්මාර වර්ගය හඳුනාගන්නේ එය හටගෙන නැවත යථා තත්ත්වයට පත්වෙද්දි බාහිරට පෙන්නුම් කරන ලක්ෂණ මතයි. තත්ත්පර ගණනක සිහිමද ගතියක් ඇතිව හටගන්නා ඇතැම් අපස්මාර තත්ත්ව අපස්මාර තත්ත්වයක් දැයි සොයා ගැනීමටවත් නොහැකි වෙයි. මෙවැනි රෝගීන් නිතර නිතර ඇස්පිල්ලම් ගසයි. බලාගත් අත බලා සිටියි. අවුරුදු 5 -6 දී පටන් ගන්නා අපස්මාර රෝගී අවස්ථාවලදී අවුරුදු 11 - 12 කාලයේදී නැති වී යයි.

මුළු ජීවිත කාලය පුරාවටම පවතින අපස්මාර තත්ත්වයක් තිබේ. අවුරුදු 13 - 14 කාලයේ පටන් ගන්නා තවත් අපස්මාර වර්ගයක් තිබේ. මෙහිදී උදෑසන අවදි වනවිට ගැස්මක් ඇතිවේ. දත්මදිද්දී තේ එකක් බොද්දී සුළු ගැස්මක් ඇතිවේ. කාලයක් ගියවිට අපි සාමාන්‍යයෙන් දකින දරදඬුවීම් දැකගත හැකි වේවි. මෙය ඇතැම් විට ජීවිත කාලය පුරාවටම පවතීවි.

මොළයේ ස්කෑන් එකක් ලබාගැනීම, මොළයේ ඇති විද්‍යුත් තරංග පටිගත කිරීම (EEG පරීක්ෂණය) වැනි පරීක්ෂණවලින් මේ අපස්මාර තත්ත්වය කවරක්දැයි, එය ජීවිත කාලය පුරාම පවතී ද යන්න තහවුරු කරගත හැකියි. එහෙත් අපස්මාර තත්ත්වයේ රෝග විනිශ්චය සිදුකරන්නේ, පරීක්ෂණවලින් නොව රෝගියාට අපස්මාර තත්ත්වය ඇතිවන පියවරයන් අනුවයි. එය රෝගියා රැගෙන එන පුද්ගලයාගෙන් අසා දැන ගනියි. වෛද්‍යවරයාට පවසන විස්තරය වැදගත් වූවකි. වෛද්‍යවරයා රෝග විනිශ්චය සිදුකරන්නේ ඒ අනුවයි.

අපස්මාර රෝගියා කට කොනින් සෙම දමා පසුව ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වන අන්දම දැකගත හැකියි. මෙහිදී කටින් පිටවන්නේ සෙම නොව ඛේටයයි. සාමාන්‍යයෙන් අපි කෙළ ගිල්ලත් මෙවැනි විටෙකදී කෙළ ගිලීමක් සිදුනොවේ. එය එකතු වී කට කොනින් ගලාගෙන යයි. තවත් සමහරකුගේ අවසානයේ මුත්‍රා පිටව මේ සියල්ල ස්වභාවිකවම රෝගියා යථා තත්ත්වයට ඒ මොහොතේ ම වගේ පත්වේ. සියයට 99ක්ගේම වාගේ මෙලෙස ස්වභාවිකව විනාඩි කිහිපයකින් යථා තත්ත්වයට පත්වේ.

ගැබ් ගැනීම

අපස්මාර තත්ත්වය ඇති අය ගැබ් ගැනීමේ වරදක් නැත. එහෙත් මෙතෙක් ලබාගත් ඖෂධ වර්ග යම් වෙනස්කමකට ලක් කරාවි. ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවක් ඒ පිළිබඳ වෛද්‍යවරයකුට පැවසීමෙන් ආරක්ෂිත ඖෂධයකට කල්තියාම යා ගත හැකි වේවි. මන්ද ගැබ්ගෙන සති කිහිපයකට පසුව තමා ගැබ්ගත් බව තහවුරු වන නිසා ඒ වනවිටත් අපස්මාරය සඳහා ගත් ඖෂධයේ අතුරුඵල කලලයට ලැබී තිබෙන්නට පුළුවනි.

අපස්මාර වර්ග ගණනාවක් සේම අපස්මාරය ඇතිවීමට හේතු ගණනාවක් ද බලපෑ හැකියි. ෆිට් තත්ත්වය බහුලවම දකින්නේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් හා අවුරුදු 65ට වැඩි අයගෙනි.

අපස්මාරය ඇති වන්නේ ඇයි?

* උපතේදී මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවිම

* උපතේදී හෝ ළමා, තරුණ වයසේ දී ඇතිවන අනතුරු

* මොළයට විෂ බීජයක් යාමෙන්

* ජානමය වශයෙන් ඇතිවන බලපෑම් නිසා

* රෝගය වළක්වා ගත හැකිද?

* ඖෂධ මාත්‍රා මඟ නොහැරීම

* අධිකව මත්පැන් පානය නොකිරීම

* නිදි වැරීමෙන් වැළකීම

* අපස්මාරයට ගන්නා ඖෂධවල ක්‍රියාකාරීත්වයට බාධා නොදෙන වෙනත් ඖෂධ වර්ග භාවිත කිරීමෙන් වැළකී සිටීම

 

*භාවිතයට ගන්නා ඖෂධ

මේ සඳහා ඖෂධ වර්ග කිහිපයක්ම භාවිත කරන අතර වඩාත්ම සුදුසු ඖෂධය කුමක් දැයි වෛද්‍යවරු තීරණය කරයි.

 

ශ්‍රී ලංකා අපස්මාර සංගමයේ සභාපති

ස්නායු විශේෂඥ වෛද්‍ය

කිෂාර ගුණරත්න