සමාජය දැනුවත් වී තුරන් කළයුතු එච් අයි වී

දෙසැම්බර් 11, 2023

ඒඩ්ස් රෝගීන් දෙස, එච් අයි වී ආසාදිතයකු දෙස වපර ඇසින් බලන්නට අපි තවමත් පුරුදුව සිටිමු. ඒඩ්ස් මාරාන්තික බව ඔබ අප දන්නා කාරණයකි. එහෙත් එච්.අයි වී. මාරාන්තික නැත.

ඔවුන් හෙළා දැකීම, කොන් කිරීම නොකළ යුතුයි. එසේ කරන්නේ නම් ඔවුන් පරීක්ෂණ සඳහා හෝ ඉදිරිපත් වන්නේ නැත. රෝගය උත්සන්නවීම ව්‍යාප්තිය වැඩි වන්නේ එවිටයි. එච් අයි වී බෝවන ක්‍රම ඔස්සේ බෝවීම වැඩි වන්නේ ද එවිටයි.

නිසි පහසුකම් ලබාදීම, අවශ්‍ය දැනුම සපයාදීම ඔස්සේ එච් අයි වී ආසාදන වැලඳීම වළකාලිය හැකි වේ. ඒඩ්ස් රෝගය සඳහා මෙතෙක් ඖෂධයක් සොයා ගත නොහැකි වූවත් එච් අයි වී සඳහා ඖෂධ තිබේ. ඒවා ජීවිත කාලය පුරාවටම ගැනීමට වග බලාගත යුතුවේ.

 

එච් අයි වි ශරීරගත වන්නේ කෙසේ ද?

 

එච් අයි වී වයිරස් ආසාදනයකි.

* අනාරක්ෂිත ලිංගික සබඳතා

* ආසාදිත රුධිර පාරවිලයනය

* මත්ද්‍රව්‍ය ගන්නා අය අතර

කටු, සිරින්ජර් හුවමාරු වීම

* ආසාදිත මවකගෙන් දරුවාට එච්. අයි. වී ශරීරගත වීම යන ක්‍රමවේදයන් ඔස්සෙයි.

1981 වර්ෂයෙහි පළමුවරට ඒඩ්ස් රෝගියකු හඳුනා ගැනීම ඔස්සේ මිලියන 8‍ෙක් පමණ ඒඩ්ස් රෝගීන් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අතුරින් මිලියන 4ක් පමණ මේ වන විට මියගොස් ඇත.

ඒඩ්ස් හෝ එච් අයි වී වයිරසය නිට්ටාවට සුව කළ හැකි එන්නතක් හෝ ඖෂධයක් මේ වන තෙක් සොයාගෙන නැත. වාසනාවකට පාලනය කරගෙන ජීවත් වන්නට හැකි ප්‍රතිකාර තිබේ. එච් අයි වී යනු ජීවිත කාලයටම ප්‍රතිකාර ගැනීමට සිදු වන රෝගයක් බව නොකියාම බැරිය.

 

වළක්වා ගත හැකි ක්‍රම

 

** ඒ ඒ වයස් කාණ්ඩ, සමාජ කණ්ඩායම් අනුව විවාහය තෙක් සුදුසු සහකාරියක් සහකරුවකු ලැබෙන තෙක් ලිංගික සබඳතාවලින් ඈත්ව සිටීම

තරුණ පරපුර අතර එච් අයි වී වළක්වා ගැනීමට නම් ලිංගික ජීවිතය පිළිබඳ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වේ. ලිංගික සබඳතා විශ්වාසවන්ත එක් සහකරුවකුට හෝ සහකාරියකට පමණක් සීමා කිරීම අතිශය වැදගත් වේ. විවිධ හේතු නිසා එක් සහකාරයකුට වඩා වැඩි දෙනෙක් ආශ්‍රය කරන්නට සිදුවේවි. ඒ සඳහා ආරක්ෂිත උපක්‍රමයක් ලෙස කොන්ඩම් භාවිතය අතිශය වැදගත් වේ.

ලෝකයේ ඇති එච් අයි වී නිවාරණ ක්‍රම ලංකාවට ද හඳුන්වා දී තිබේ.

පූර්ව නිවාරණ ප්‍රතිකාර ක්‍රමය එච් අයි වී සඳහා අධි අවදානමක් ඇති කණ්ඩායම් වෙනුවෙන් එනම් පිරිමි පිරිමි සම්බන්ධකම් පවත්වන අය, ආරක්ෂිත කොපු භාවිත කරන්නට අකැමැති අය, එක් අයකුට වඩා වැඩි අය සමඟ ලිංගිකව ඉන්නා අය... මේ අය සඳහා ඇත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගන්නට ඇති ප්‍රතිකාරයි. මේවා අතුරු ආබාධ හැකි තරම් අඩු ඒවා වන අතර සාර්ථක පහසු ඖෂධ ක්‍රමවේදයකි.

 

පසු නිවාරණ ප්‍රතිකාර ක්‍රමය

හදිසියේ එච් අයි වී වයිරසයට නිරාවරණය වුවහොත් විශේෂයෙන්ම රෝහල් කණ්ඩායම් ඇතුළු පිරිස් එච් අයි වී රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී, එන්නත් කිරීමේ දී එන්නත් කටුවක් ඇනුණොත් වැනි අවස්ථාවලදී එය ශරීරය තුළ තුළ ස්ථාපනය වීම වළක්වා ගත හැකි වේ. එච් අයි වී ඇතැයි කියා නොදැන කෙනකු සමඟ ලිංගික සබඳතාවක් ඇති වන්නට පුළුවනි. එවැනි අවස්ථාවලදීත් පැය 72ක් ඇතුළත මෙම ප්‍රතිකාර ලබාගත යුතු අතර සියලුම ලිංගාශ්‍රිත සායනවල, නිවාඩු දිනවල, රාත්‍රී කාලයේ හදිසි කෙනෙකුට ලබා ගත හැකි වේ.

එච් අයි වී වැලඳුණු ආසාදිතයන්ට ඖෂධ ගැනීම අතිශය වැදගත්ය. ඒ අනුව ආසාදිතයින්ට වයිරස් තත්ත්වය හොඳින් පාලනය කරගෙන සෑහෙන්න කාලයක් ජීවත් වීමට පුළුවනි. ප්‍රතිවයිරස් ඖෂධ ගනිද්දී ඒ අයගේ ශරීරවල ඇති වයිරස් ප්‍රමාණ ඉතාමත් අඩු වේ. රෝගියාට මෙන්ම රෝගියා සමග ලිංගික සබඳතා පවත්වන අයටත් රෝගය සම්ප්‍රේෂණය නොවන තත්ත්වයට පත් වේ.

රෝගය හඳුනා ගැනීමයි අතිශය වැදගත් වන්නේ. ඒ සඳහා රුධිර පරීක්ෂණයක් කළ යුතු වේ. විනාඩි කිහිපයකින් ප්‍රතිඵලය ලබාගත හැකි වේ. ඒ සඳහා රුධිර පරීක්ෂණ තිබේ. ඇඟිල්ල විද රුධිර බිඳුවක් ගෙන රහසිගතව පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි එම පරීක්ෂණය සිදු කෙරෙයි.

 

Self Test Kit

 

අලුතින්ම හඳුන්වා දුන් ස්වයං පරීක්ෂණ කට්ටලයක් (Self Test Kit) තිබේ. මෙහිදි මුඛ තරලය භාවිත කොට කොවිඩ් පරීක්ෂණයක් මෙන් නිවෙසේදීම කරගත හැකියි. විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රතිඵලය ලබා ගත හැකි වේ. මේවා සායනවලින් ගැනීමට මෙන්ම නිවෙසටම ගෙන්වා ගැනීමේ පහසුකම ද තිබේ.

 

Know 4 sure.lk

මෙය app එකකි.මෙම app එක වෙත පිවිසීමෙන් ඊට අවශ්‍ය දැනුම, තමා අවදානමක ඉන්නවාද යන තක්සේරුව, සායනයකට යෑමට පෙර වෙලාවක් වෙන්කර ගැනීම, online service මගින් අවශ්‍ය දෑ ලබා ගැනීම, නිවෙසටම පරීක්ෂණ කට්ටලයක් ගෙන්වාගැනීම, කොන්ඩම් ගෙන්වා ගැනීම ආදිය මේ ඔස්සේ සිදු කරගත හැකියි.

 

ලිංගාශ්‍රිත සායන සඳහා යොමු වීමෙන්

රෝගියෙක් සායනය වෙත යොමු වුවහොත් හඳුනාගැනීමේ සිට දින හතක් ඇතුළත ඖෂධ ඇරැඹීමට පටන් ගනී. ඖෂධ තුනක එකතුවක් තනි පෙත්තක් ලෙස දිනකට ලබාගත හැකියි.නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ඖෂධ ලබා ගැනීමෙන් වයිරසය නැවත නැවත ගුණනය වීම අඩු වේ.