යොවුන් වියේ ඔබට කරන ආමන්ත්‍රණයයි මේ....

දෙසැම්බර් 25, 2023

යොවුන් වියේ පසුවන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම එකිනෙකාගේ ලිංගික අවයව පිළිබඳ මනා දැනුම්වත් බවක් ලබා සිටීම වැදගත් වේ. මේ ප්‍රශ්න හා උත්තර ඒ සඳහා අත්වැලක් වේවි.

වෘෂණ කෝෂයක් කුඩාවට හෝ වෘෂණයක් නැතිව වෘෂණ කෝෂ පිහිටා තිබීම ලිංගික කටයුතු සඳහා බලපායිද? දරුවන් ඇතිවීම කෙරෙහි බලපායිද?

නැත. නමුත් වෘෂණ කෝෂවල එක් වෘෂණයක් නොමැති නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

වෘෂණ කෝෂ ඉදිමීම සිදුවන්නේ කෙසේද?

නොයෙක් රෝගී තත්ත්වයන් නිසා ඉදිමීම ඇතිවිය හැකියි. එනම්

* අණ්ඩකෝෂ හා වෘෂණ අතර වූ තරලයේ පරිමාව වැඩිවීම

* බරවා රෝග අවස්ථාව

* හර්නියා වැනි තත්ත්ව ඇතිවීම

* අනතුරු ඇතිවීම

* ගොනෝරියා නිසා හෝ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහයේ අතුරු ආබාධයක් ලෙස

* පිළිකා (තරුණ අයගේ දුර්ලභයි)

එසේ ඉදිමීම ඇති වුවහොත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යයි. වෛද්‍යවරයෙක් හැර අන් කවරෙක්වත් මෙවැනි තත්ත්වයකට පිළියම් යෙදීමට සුදුස්සෝ නොවෙති.

බර ඉසිලීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියා නිසා වෘෂණ විශාල වෙනවාද?

බර ඉසිලීමෙන් වෘෂණ විශාල වීමක් සිදු නොවේ. සමහර විට විට සුළු කොටසකට 'හර්නියා' රෝගය ඇතිවීමට ඉඩ තිබේ. යට ඇඳුම් පැලඳ නොසිටියේ නම් බයිසිකල් පදින විට අනතුරු ඇති වුවහොත් කම්පනය නිසා ඉදිමිය හැකියි.

ශුක්‍රාණු නිෂ්පාදනය නැවතෙන්නේ කුමන වයසේදී ද?

පිරිමි ළමයකුගේ ශුක්‍රාණු නිෂ්පාදනය වයස අවුරුදු 13 දී 14දී පමණ ආරම්භ වී මුළු ජීවිත කාලය තුළම නොනැවතී නිෂ්පාදනය වේ. ශුක්‍රාණුවල සංඛ්‍යාව සහ ගුණාත්මක බව වයස්ගත වීම සමඟ අඩුවේ.

පිරිමින්ට සිහිනෙන් ශුක්‍රාණු පිටවීමෙන් ඔහුගේ ශරීරය කෙට්ටු වීමක් සිදුවේද?

නැත.

ස්වප්න මෝචනය ශරීරයට අහිතකර ද?

පිරිමි ළමයෙකුට නින්දේදී සිදුවන ශුක්‍රාණු පිටවීම මෙලෙස හඳුන්වන අතර මෙය එම වයසේදී ඇතිවන ස්වභාවික තත්ත්වයකි. එබැවින් ශරීරයට අහිතකර බලපෑමක් ඉන් ඇති නොවේ.

පුරුෂ ලිංගය ප්‍රාණවත් වන්නේ ඇයි? එය පාලනය කර ගන්නේ කෙසේද?

මෙය නව යොවුන් වියේදී ආරම්භ වන ලක්ෂණයකි. හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා පුරුෂ බීජාණු (ශුක්‍රාණු) හට ගැනීමත් ලිංගික හැඟීම් ඇතිවීමත් හේතුවෙන් පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙයි. එහි ඇති රුධිර නාලවලට/ පටකවලට අධික ලෙස රුධිරය ගලා ඒම නිසා ශිෂ්ණය මෙලෙස ප්‍රාණවත් වේ. මෙය සාමාන්‍ය ක්‍රියාවලියකි. හැඟීම් පාලනය කර ගැනීම මඟින් මෙම තත්ත්වය ද පාලනය කරගත හැකියි. (උදාහරණයක් ලෙස වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීම, පොත් කියවීම, ක්‍රීඩා කිරීම, ගීත ගායනය, රූපවාහිනිය නැරඹීම විනෝදාංශවල නිරකවීම, ආගමානුකූල ක්‍රියාකාරකම් වැනි අවධානය වෙනතකට යොමුවන ක්‍රියාකාරකම්)

ශිෂ්ණයේ පෙර සම පසු පසට නොඇදේ නම් කළ යුත්තේ කුමක්ද?

පෙර සම පසුපසට නොඇදේ නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය යි.

ශිෂ්ණය කොට වුවහොත් ලිංගික තෘප්තියක් ලැබිය නොහැකිද?

මෙය වැරදි මතයකි. සමහර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මේ මතය බොහෝවිට දරති. නමුත් සංසර්ගයේදී තෘප්තිය ලැබීමට ශිෂ්ණයේ ප්‍රමාණය බලපාන්නේ නැත. උපදෙස් අවශ්‍ය නම් පවුල් සංවිධාන සංගමයේ ප්‍රජනන සෞඛ්‍ය අංශයෙන් විමසන්න.

ශිෂ්ණය අප්‍රාණික වීමට හේතු මොනවාද?

බොහෝවිට මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ මානසික හේතු නිසයි. නමුත් සමහර අවස්ථාවලදී දියවැඩියාව නිසාත් සමහර ඖෂධ වර්ග පාවිච්චි කරන කාලය තුළදීත් අධික මත්පැන් පානය, දුම් පානය හේතුවෙන් ඇතිවන ස්නායු ආබාධ නිසාත් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියි.

මුස්ලිම් පිරිමින්ගේ ලිංගය සුන්නත් කිරීමේ විද්‍යාත්මක තත්ත්වය කුමක්ද?

ශිෂ්ණය කෙළවර ශිෂ්ණ මුණ්ඩය වටා ඇති පෙර සම ඉවත් කිරීම මෙයින් සිදුකෙරේ. මේ නිසා පිරිසුදුකම රැකගැනීම පහසුයි. මෙය සාමාන්‍යයෙන් ආගමික චාරිත්‍රයකි.

 

විශේෂ ස්තූතිය :

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට