ආයෙත් මාස්ක් පලඳින්න ඕනෙද?

ජනවාරි 15, 2024

වසර තුනකට ආසන්න කාලයක් වසංගතයක් නිසාවෙන් රටක් ලෝකයක් විදිහට අපි හැමෝම දුක් වින්දා. ඉන් කායික, මානසික විතරක් නොවෙයි ආර්ථික වශයෙන් ද ලොකු පරිහානියක් සිදුවුණා. මේ සියලු දුක් කම්කටොලු මතින් යළිත් නැඟී සිටින්නට අපි හැමෝම සූදානම්. එහෙත් කනින් කොනින් ඇසී යන්නේ නැවතත් මාස්ක් (මුව ආවරණ) පලඳින්නට අවශ්‍ය බවයි. අපේ නිරෝගීතාවය, සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් ඒ පිළිබඳ දැනුම්වත් වීම බෙහෙවින් වටී.

*වෛද්‍යතුමනි, සමාජයේ කතාවන වයිසරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

ඔමික්‍රෝන් නව කොරෝනා වයිරස ප්‍රභේදයේ නව උප ප්‍රභේදයක්වන JN .1 මේ වනවිට ලොවම කතා කරන මාතෘකාවක්. අසල්වැසි ඉන්දියාවට එය තර්ජනයක් වී අවසන්ය.

ඉතා වේගයෙන් ලොව පුරා පැතිරී යන බැවින් එය සැලකිල්ලට ගත යුතු උප ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට යොමු වී ඇත.

*මෙහි රෝග ලක්ෂණ මොනවාද?

නව කොරෝනා වයිරසය ශරීරගත වූ විට ඇතිවන උණ, කැස්ස, ඇඟපත වේදනාව, දැඩි වෙහෙස, නාසයෙන් සොටු දියර ගැලීම, හිසරදය, උගුර වණවීම, මාංසපේශී වේදනාව වැනි ලකුණු බ්ව් .1 උප ප්‍රභේදය ආසාදිත වූ විට ද ඇති වෙනවා. දැනට වෙනත් අලුත් විශේෂ ලක්ෂණ හඳුනාගෙන නැහැ.

*අපේ ආරක්ෂාව තහවුරුකර ගන්නේ කෙසේ ද?

මේ කාලයේ නව කොරෝනා වයිසරය පමණක් නොව ඉන්ෆ්ලුවෙන්සා වැනි වෙනත් ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දෙනවා. ජනතාවට මුහුණු ආවරණ පැලඳීම වැනි ආරක්ෂක පියවර නැවතත් අනුගමනය කරන ලෙසට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම ඩෙංගු වැනි වයිරස් උණ රෝග අවධානම ද පවතින බැවින් ඔබට වැලඳි ඇත්තේ කුමන උණ රෝග ලක්ෂණය දැයි හඳුනාගත යුතුය.

එමෙන්ම පෙර පරිදිම,

*කසින විට, කිවිසින විට ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුහුණ ආවරණයකර ගැනීම.

*සෙනඟ ගැවසෙන පොදු තැන්වලට ගිය පසු, පොදු වාහනවල ගමන්කර පැමිණි පසු ආදී සැක අවස්ථාවල සබන් ගා දෑත් සේදීම.

*රෝග ලක්ෂණ ඇත්තම් නිවෙසට වී සිටීම. එහිදී ඇඳ විවේකයෙන් හෝ සාමාන්‍ය පැරසිටමෝල් ගැනීමෙන් රෝගය සුව නොවේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න. එයට හේතුව ඩෙංගු රෝගය වැලඳී ඇත්තම් ඔබ ගන්නා ඖෂධ මඟින් රුධිර වහනයක් වීමට ඉඩකඩ ඇති බැවිනි.

*විශේෂයෙන් රෝගය පිළිබඳ සැකයක් ඇත්නම් ඒ සඳහා පරීක්ෂණ සිදුකර ගැනීම ඉතා වැදගත්.

පෙර පරිදිම මේ වයිසරය වැලඳුණොත් දරුණු ලෙසින් බලපෑම වැඩි ඉඩක් ඇත්තේ කුඩා දරුවන්ට, වයස අවුරුදු හැට ඉක්ම වූ පුද්ගලයන්ට, ගැබිනි මවුවරුන්ට, දිගු කාලීනව වෙනත් රෝගවලින් පීඩා විඳින්නටයි. ඒ නිසා ඔවුන් වඩාත් ආරක්ෂිතව සිටිය යුතුයි.

 

 

උපදෙස් -

විශේෂඥ වෛද්‍ය

ජයරුවන් බණ්ඩාර