මානසික ගැටලු

පෙබරවාරි 12, 2024

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියාගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

නැන්දම්මාගේ අමුතු හැසිරීමක්

ප්‍රශ්නය

මම විවාහ වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. මගේ නැන්දම්මා දවසට තුන්හතර පාරක් නානවා. අද හවස රෙදි හෝදලා වැනුවෙ නැත්තම් ඒවා ආයෙමත් හෙට හෝදලා වනනවා. රෙදිවලට දූවිලි ගියත් ආයේ හෝදනවා. බිම වැටුණත් ආයේ හෝදනවා. අනිත් දේවල්වලට ඒ තරම් පිරිසුදු නෑ. තමන් කන පිඟාන කෝප්පයක් අපිරිසුදුව තියෙනවා. උයන්න ගන්න භාජන දැලි පිටින් තියෙනවා . මගේ රෙදි පවා බිම වැටුණොත්, වැලේ තියෙද්දි දූවිලි ගියොත් හෝදනවා. රෙදි හෝදන්න 10ට පටන් ගත්තොත් 1 විතර වෙනකම් සෝදනවා. මෙය මානසික ලෙඩක් ද?

 

පිළිතුර

 

ඇත්තටම මේක සුළු මානසික රෝගී තත්ත්වයක්. අපි ඒක මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය නියුරෝසියාව එහෙම නැත්නම් (OCD – Obsessive Compulsory Disorder)කියලත් හඳුන්වනවා. මේ රෝගී තත්ත්වය හැදෙන පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතයට මේ මානසික සිතුවිලි රටාවත්, ඒ ඒ ක්‍රියාකාරකමුත් ඍජුවම බලපානවා. මේ රෝගී තත්ත්වයේදී දකින්න ලැබෙන ප්‍රධානම ලක්ෂණය තමයි එකම කාර්යය නිතර නිතර කරන්න පෙලඹීම

සහ එකම සිතුවිලි නැවත නැවත සිතට ඇතුළු වීම. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්ගේ සිතට ඇතුළුවන සිතුවිලි ප්‍රියජනක ඒවා නම් නෙවේ. ඒ නිසාම ඒ සිතුවිලි නිසා රෝගියා වඩ වඩාත් පීඩාවට පත් වෙනවා. ඒ වගේම ඔහු හෝ ඇය කරන සමහර දේවල් බලන් ඉන්න අයට අප්‍රිය සහගත දේවල් වෙන්නත් පුළුවන්. ඒක ඒ රෝගය හැදුණු කෙනා හිතාමතා කරන දෙයක් නෙවෙයි කියලත් මතක තියාගන්න.

නිතර රෙදි සේදීම එම රෝගයේ තවත් එක් ලක්ෂණයක් පමණයි. එහි රෝග ලක්ෂණ ගණනාවකි.

මොවුන් තුළ පවතින තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ මොවුන් විසබීජවලට බිය වීම. එම නිසා මොවුන් අධික ලෙස පිරිසුදුභාවය පිළිබඳව සිතනවා. මේ නිසාම ඇතැම් රෝගීන් නෑමට පෙර ශරීරයේ විවිධ ස්ථානයෙහි ගෑම සඳහා සබන් කැබලි වෙන් කරගන්නා අතර එම සබන් කැබලි නිමවන තෙක්ම ස්නානය කරනවා. මේ නිසා මොවුන්ට නෑම සඳහා පැය 3ක පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම තම ඇඳුම් හෝ ශරීරය යම් තැනක ස්පර්ශ වුවහොත් තම ඇඳුම් හෝ ශරීරය අපිරිසුදු වූවා යැයි සිතා අධික භීතියකට පත් වෙනවා.

මේ රෝගය ඇති වීමට ජානමය බලපෑම් සහ කුඩා කාලයේදී ඇතිවන යම් ආසාත්මිකතාවක් හේතු විය හැකියි.

මෙම රෝගය සුවකර ගතහැකි රෝගයක්වන අතර රෝග ලක්ෂණ පවතින්නේ නම් මනෝවිද්‍යා උපදේශනය වෙත යොමු වීම වැදගත්. උපදේශනය මඟින් සුව කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති රෝගීන් සඳහා ඔෟෂධීය ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. තව දෙයක්. මේ වගේ තත්ත්වයක් ඔබට, ඔබේ හිතවතකුට තිබෙනවා නම් නොසලකා හරින්නට එපා. මේ තත්ත්වය 100%ක්ම සුව කරගන්නට පුළුවන්. කල් නොහැර මනෝ උපදේශනයට සහ ප්‍රතිකාරයට යොමු කිරීමෙන් ඉක්මනට හොඳ කරගන්නත් පුළුවන්.

 

------------------

දුරකථන හඬපටය නිසා මැරි මැරී උපදිනවා

 

ප්‍රශ්නය

අප විවාහ වී අවුරුදු 5කි. දරුවන් නැතුව දහදුකක් විඳි අතර එක් වරෙක දරුවෙක් කුසට පැමිණියා. එහෙත් ඒ දරුවා කුස හිටියේ මාස 5කි. මමයි මගේ මහත්තයායි ගොඩක් දුක් වුණා. එලෙස කාලය ගත විය. දවසක් මහත්තයාගේ දුරකතනයේ පටිගත වීම්වල තිබුණ අඳුරන්නේ නැති ගැහැනු කෙනෙක් එක්ක කතා කරන දුරකතන පටිගත වීමක් අසන්න ලැබිණි. මහත්තයාගෙන් ඇහුවා මේ කවුද කියලා ඇයි ඔහොම කරන්නේ? මාව එපා ද කියලා. මම ගොඩක් ඇඬුවා.

එයා කිව්වා, ගෙදර ප්‍රශ්න වැඩියි. දරුවා නැති වුණා. ඒක එයාට දරාගන්න බැහැ. එයාට මොනවා වුණා ද දන්නේ නැහැ. විහිළුවට කතා කළේ කියලා. මම දැන් ලොකු පීඩනයක ඉන්නේ. මහත්තයා රැකියාව කරන්නේ ආරක්ෂක අංශයක. මාසෙකට සැරයයි ගෙදර එන්නේ. මම ඉන්නේ අම්මා ළඟ. අම්මාත් කියන කතාවලින් මගේ ඔළුව විකාර වෙනවා. මම තාමත් හිතින් මැරි මැරී උපදිනවා. දරුවා නැතිවුණ එකයි, මහත්තයා කරපු වැඩේ ගැනයි.

එයා මගෙන් සමාව ගත්තා. ආයේ ඒ වරද කරන්නේ නැහැ කියලා. මට ගමට යන්න බැහැ දරුවා නැතිවුණ නිසා. කන්න ගියත්, නිදාගන්න ගියත්, මට නිතරම මතක් වෙන්නෙත් මහත්තයා කරපු දේ. මට මගේ හිත හදාගන්න උදව් කරන්න.

 

පිළිතුරු

දරුවාගේ අහිමි වීමත්, සැමියා විසින් සිදු කරනු ලබනවා යැයි කියන ක්‍රියාවත් හේතුවෙන් ඔබ තුළ දැඩි මානසික පීඩනයක් ඇති වී තිබෙන බව දැකිය හැකියි. මේ හේතුවෙන් ඔබට යම් විශාදය තත්ත්වයක් ඇතිවෙන්න හැකියාව තිබේ. සිතේ පවතින මේ ගැටලුකාරි ස්වභාවය නිසා හැඟීම්, දැනීම්, සිතුවිලි වෙනස් වී දෛනික ජීවිතයේ වැඩකටයුතුවලටත් එය බලපෑ හැකියි.

මේ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය බව පෙනී යයි. සැමියාවත් ගෙන්වාගෙන උපදේශනය හා මනෝ ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න. සුදුසුම පියවර වන්නේ ඔබ දෙදෙනාම එක්ව විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමු වී උපදේශනයකට යොමු වීමයි.

ඒ වගේම සිත සැහැල්ලුවෙන් සතුටින් තබාගැනීමට උත්සාහ කරන්න. නැවත දරුවකු ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමට නම් ඔබ තුළ පවතින මානසික නිදහස ඉතාම වැදගත් බව සිහියේ තබාගන්න.

ආගමට දහමට ලැදි වන්න. නිතරම කුමක් හෝ කටයුත්තක නිරත වන්න. පොත් කියවන්න. විනෝදාංශයක නියැළෙන්න.

 

සැමියාට නැවත එවන් වරදක් කිරීමට සිත නොදෙන්න ඔබ ඔහුට සමීප වෙන්න. ඔහු නිවෙසට ආ විට ඔහු සමඟ සතුටින් කාලය ගත කරන්න. ඒ අතරතුර ඔහු ගැන සොයා බලන්න. දුරකතන ඇමතුම් දී කතා බහ කරන්න. කතා කරන හැමවිටම සතුටින් කතා කරන්න.

ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ද හමු වී තවදුරටත් උපදෙස් ලබා ගතහොත් නැවත දරුවකු ගැන බලාපොරොත්තු තබා ගැනීමට හැකිවනු ඇත.

 

----------------------

මා හට ඇත්තේ විෂාදය රෝගී තත්ත්වය ද?

 

 

ප්‍රශ්නය

 

34 හැවිරිදි මා අවිවාහක තරුණියක්. පුද්ගලික ආයතනයක කාර්යබහුල රැකියාවක් කරන කෙනෙක්. වසර දෙකක පමණ සිට මා මහත් පීඩාවකින් පසුවෙමි. මට රාත්‍රියේ නින්ද නොයයි. ඒ නිසා මුළු රාත්‍රියේම සිටින්නේ නිදි වර්ජිතවය. නිතරම දහඩිය දමයි. දහඩිය දමන විට හුස්ම ගැනීමේ අපහසුවක් ද පවතී. මේ හේතු නිසාම මා හට තරහ යන ස්වභාවයක් ද ඇත. කෙනෙකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙය විෂාදයේ රෝග ලක්ෂණ බවයි. මෙය එවන් තත්ත්වයක් ද?

 

පිළිතුර

 

ඔබට ඇත්තේ ආතතිය නම් තත්ත්වයයි. පැහැදිලිවම ආතතිය සහ විෂාදය යනු රෝග දෙකකි. මානසික ආතතිය යනු සමාජයේ ජීවත් වනවිට එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලදී එම ප්‍රශ්නවලට මුහුණදීමේ දී ඇතිවන මානසික පීඩනයයි. එනම් කායික සහ මානසික ප්‍රතික්‍රියාවකි. මෙවැනි අවස්ථාවලදී රෝගීන්ට ඒ දේවල් ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා විශාල පීඩනයක් ඇති වේ. මෙම පීඩනය නිසා කෑම අරුචිය, නින්ද නොයෑම, තරහ යෑම, දහඩිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි කායික සහ මානසික ලක්ෂණ ඇතිවිය හැකිය. මෙවැනි අවස්ථාවලදී රෝගීන්ගේ කාර්යක්ෂමතාව මුල් අවස්ථාවේදී ක්‍රමයෙන් වැඩි වුවත් මානසික ආතතියේ එක් අවධියකදී කාර්යක්ෂමතාව ක්‍රමයෙන් අඩුවේ.  එවිට දෛනික කටයුතු දේවල් නිවැරදිව කර ගැනීමට නොහැකි වී යයි. මානසික ආතතිය දිගුකාලීනව පැවතීම නුසුදුසු දෙයකි. නමුත් විෂාදය යනු මීට වඩා බෙහෙවින් වෙනස් දෙයකි. විෂාදය යන අවස්ථාවේදී කෙනකුගේ මානසික ශක්තිය නැති වීම, කලින් ආසාවෙන් කළ දේවල්වල ආශාව නැති වීම, දුක උපරිමයටම දැනීම, බලාපොරොත්තු නැති වීම, අසරණභාවයක් දැනීම, ජීවිතය නැතිකර ගැනීමට සිතීම සහ නින්දේ වෙනස්කම් වැනි ලක්ෂණ රාශියක් ඇති විය හැකිය. මානසික රෝග ඇති වන්නේ බාහිර හෝ අභ්‍යන්තර සාධකයන් මතය. විෂාදය යන තත්ත්වය මොළයේ ඇතිවන රසායනික වෙනස්කම් මත සම්පූර්ණයෙන්ම රඳා පවතියි. මෙය ප්‍රතිකාර අවශ්‍ය මානසික රෝගයකි. ඉක්මනින් වෛද්‍යවරයකු මුණ ගැසෙන්න.