දත් ගැන දත යුතු හැමදේ එක තැන

ළමා දන්ත සෞඛ්‍ය පිළිබඳ සුවිශේෂී අතිරේකය
පෙබරවාරි 12, 2024

සුන්දර සිනහවකට අවැසි මඟ පාදන්නේ මුතුවන් දත් දෙපළයි. ඉන් නොනැවතී සිත් ළගන්නා සුළු කතාවක් ගෙන දෙන්නේත් හොඳින් විකා ආහාර ගැනීමට හැකි වන්නේත් සුන්දර මෙන්ම සෞඛ්‍යමත් දත් දෙපළක් ඇති විටයි.

පුංචි දරුවකුගේ මුහුණට පුදුමාකාර කලඑළියක් ගෙන දෙන්නේ කිරි සිනහවයි. කිරි සිනාවකට අපූර්වත්වයක් ගෙන දෙන්නේ යාන්තමට මෝදු වේගෙන එන මුතුවන් දත් දෙපළේ සිට මුව පුරාවටම හටගන්නා කිරිදත් කිහිපයයි.

දරුවන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳ මා පියවරුන්ට මනා දැනුම්වත් භාවයක් තිබිය යුතුයි. මේ මඟ පෙන්වීම ඒ සඳහායි.

කිරි සිනාවට පාර කියන කිරි දත්

ළදරුවකුට මාස හයේ සිට මාස 18, 24ක පමණ දක්වා කාලය කිරිදත් සියල්ලම පාහේ මෝදුවන කාලයයි. දරුවා පාසල් යන වයසේ දී එනම් අවුරුදු හය සම්පූර්ණවන විට මේ කිරි දත් එකින් එක හැලෙන්නට පටන් ගනියි. ඇතැම් දරුවන්ගේ කිරිදත් හැලෙන්නට පෙර හනුව පිටුපසින් ස්ථිර දත් මතුවන්නට පටන් ගනියි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 6ත් 12ත් අතර දරුවන්ගේ මුඛයේ කිරි දත් සහ ස්ථිර දත් යන දෙවර්ගයම පාහේ දක්නට ලැබේ. ස්ථිර දත්වලට මඟ පාදන්නේ කිරි දත්ය.

කැකුළු දතේ සිට දත් මතුවන්නේ මෙහෙමයි

මාස 6 - 9

* සාමාන්‍යයෙන් පළමු කිරි දත මතුවන්නේ මාස 6

ත් 9ත් අතර වයසේදීය.

* පළමුවෙන්ම මතුවනුයේ යටි ඇන්දේ ඉදිරිපස

දත්ය.

 

 

අවුරුදු 2 1/2 - 3

* මේ වන විට කිරි දත් සියල්ලම පාහේ ( 20 ම)

මතුවී අවසන්ය.

* මේ කිරි දත් සියල්ල රැක ගත යුතුවේ.

අවුරුදු 5 - 6

අවුරුදු 6දී පමණ කිරි දත් තිබියදී ඒවාට

පිටුපසින් හක්කේ පළමු ස්ථිර (චාර්වක) දත

මතුවේ.

අවුරුදු 12 - 13

* මේ වන විට කිරි දත් සියල්ල හැලී ඒ වෙනුවට

ස්ථිර දත් මතුවේ.

* මේ වන විට ස්ථීර දත් 28ක් මතු වී ඇත.

* මෙම ස්ථිර දත් දිවි ඇති තෙක් රැකගත යුතුවේ.

අවුරුදු 17 - 24

* ස්ථිර දත් සියල්ලම මතු වී අවසන්ය.

 

කිරි දත් පිළිබඳ මේ කරුණු දැන සිටියාද?

* සමහර දරුවන්ගේ දත් මතුවීම සාමාන්‍ය වයසට වඩා මාස කිහිපයක් පෙර හෝ පසුව සිදුවන අතර උපදින විටම දත් හෝ දත්වැනි පටක එකක් දෙකක් තිබිය හැකියි. එමෙන්ම දත් මතුවීම අවුරුද්දකට වඩා පමා විය හැකියි. මේ අවස්ථා දෙකම සාමාන්‍ය තත්ත්වයන් විය හැකි වුවත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා වැදගත් වේ.

 

දන්ත සෞඛ්‍යයේ ලොකුම ගැටලුව දත් දිරා යෑමයි

 

* කිරි දත් තිබියදීම හක්කේ මතුවන ස්ථිර දත බොහෝ මාපියන් කිරි දතක් ලෙස වරදවා හඳුනා ගනියි. එනමුදු මෙය ස්ථිර දතක් බැවින් දිරා ගියහොත් නැවත දතක් මතු නොවේ.

* කිරි දත් කටේ ඇති විට පිටතට නොපෙනුණද ස්ථිර දත් කැකුළු කිරි දත් මුල් අතර වැඩෙමින් පවතී.

* කිරිදත් දිරා යෑම නිසා දත මුල ආසාදනයක් ඇති වුවහොත් ස්ථිර දතේ වර්ධනයට බලපෑම් ඇතිවේ.

* එසේම කිරි දත් අකලට ගැලවීම නිසා ස්ථිර දත්වල පිහිටීමට බලපෑම් ඇතිවීමට පුළුවනි.

* ස්ථීර දත මතුවීමට පෙර කිරි දත ගැලවීමට සිදුවුවහොත් එම හිඩැස දෙපස ඇති කිරි දත් එතැනට තල්ලුවීමෙන් ස්ථිර දතට අවශ්‍ය ඉඩ අහුරාලයි. මෙය පසු කලකදී දත් අපිළිවෙළට පිහිටීමට හෝ පොකුරු ගැසීමට හේතුවක් විය හැකියි.

දත් දිරා යෑම

දත් දිරා යෑම හඳුනා ගන්නේ කෙසේද?

සුදු ලප

* මූලිකවම සුදු ලප දිස්වේ. ඉදිරිපස දත්වල විදුරු මස් දාරයේ මේ ලප ඇතිවේ. තොල්පට උස්සා බැලීමෙන් එය හඳුනාගත හැකිවේ.

දුඹුරු ලප

* සුදු ලප කල්යාමේදී දුඹුරු පැහැයට හැරේ. සුදු, දුඹුරු ලප අවස්ථාවලදී දැනීමක් හෝ වේදනාවක් නොමැත.

 

 

දත්වල කුහර

කැල්සියම් එනමලීන් ඉවත්වීම නිසා එනමලයේ ශක්තිය අඩුවේ. එවිට එනමලය කඩා වැටී කුහර සෑදේ. මේ අවස්ථාවේදී උණුසුම් හා සීතල දේවලට සංවේදී වේ. එනම් දත හිරි වැටේ. දිරායෑම දත තුළ තවදුරටත් ගමන් කිරීම නිසා වේදනාව දැනේ. ඒ ආශ්‍රිත පටක ඉදිමීමට, සැරව ගෙඩි සෑදීමට පටන් ගනියි.

 

නින්දේදී කිරි බීම

ළදරුවන්ගේ කිරි දත් දිරා යන්නේ ඔවුන් නින්දේදී කිරි බොන නිසයි. ඇතැම් දරුවන් මුළු රැය පුරාවටම මවගේ තනපුඩුව උරමින් සිටී. එසේනම් මුළු රැය පුරාවටම දරුවාගේ දත් ටික ඇත්තේ කිරෙන් වැසීය. කිරි දත් දිරා යෑමට මූලිකම හේතුව එයයි. දරුවාට මාස හය සම්පූර්ණ වූ විට අමතර ආහාර දීමට පටන් ගත්තේ නම් රැය පුරාවටම කිරි දීමක් අවශ්‍ය නොවේ. දරුවාට වසර දෙක සම්පූර්ණ වූ විටදී මවුකිරි දීම නවතා හැකියි. ළදරුවා රාත්‍රියේදී මවගේ කිරි හෝ කිරි බෝතලයක් බිවූ පසු වතුරින් පෙඟවූ ගෝස් කැබැල්ලකින් හෝ රෙදි කැබැල්ලකින් දත් ටික පිස දමන්න.

පූර්ව ළමා වියේ ඇතිවන දන්ත ව්‍යසනයන්ට ප්‍රධාන හේතුව දරුවන් රාත්‍රිය පුරාවටම කිරි බීමයි. මෙය පහසුවෙන් වළකාලිය හැකි දෙයකි.

 

බිස්කට් මාරයා

දත් දිරා යෑමට ප්‍රධානම හේතුව පැණි රස ආහාරයි. ටොෆි, චොකලට්වලටත් වඩා අධික පැණිරස ප්‍රමාණයක් අඩංගු වන්නේ බිස්කට්වලයි. පෙර පාසල් යන, පාසල් යන දරුවන්ගේ කෑම පෙට්ටිවලට ලෙහෙසියට පහසුවට බිස්කට් දැමීමට මවුවරුන් පුරුදුව සිටී. මෙය දරුවාගේ දත්වලට ප්‍රධානම තර්ජනයකි. පාසල්, පෙර පාසල්වල ඉතාම අනගි පෝෂණ වැඩසටහන් සංවිධානය වූවත් දරුවා ආසාවෙන් කන්නේ යැයි කියා දරුවන්ට බිස්කට් දීම ඉතාම අයහපත් පුරුද්දකි. එසේම අඩු ආර්ථික මට්ටමක් ඇති අය බොහෝ විට මිලෙන් අඩු දේවල්ය. මිලෙන් අඩුවද්දීි මේවා ගුණාත්මක අතින්ද බාල වේ.

 

නිතර ගන්නා පැණි රස ආහාර

 

දරුවන් නිතර ආහාරයට ගන්නා පැණි රස ආහාර වර්ග

* සීනි, ටොෆි, චොකලට්, ලොලිපොප්, ජුජුප්ස් සීනි බෝල

* අයිස් පැකට්, අයිස් ක්‍රීම්, ජෙලි පුඩිං, ජෑම්

* කේක්, බිස්කට්, ස්පන්චි, සීනි බනිස්, ඥානකතා, කිඹුලා බනිස්

* බෝතල්වල අසුරන ලද අනෙකුත් පැණි බීම වර්ග

ඇලෙන සුලු ආහාර හානිදායකයි

* බොහෝ වේලා දතට ඇලී පැවතීම

* කට සේදුවද පහසුවෙන් ඉවත් කළ නොහැකි වීම

* පැණි රස කටේ තිබෙන තුරු දිගටම අම්ල නිපදවීම සිදුවේ.

 

** පැණි රස අඩංගු දෑ අධිකව ගැනීම දත්වලට පමණක් නොව අනෙකුත් රෝගවලටද හේතුවක් වෙයි. ස්ථූලභාවය හා ඒ සම්බන්ධව ඇතිවන අනෙකුත් රෝග අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව වැනි තත්ත්ව කෙරෙහි පවා බලපායි.

ආහාරයට පසු පැණි රසක් දීමට අවශ්‍ය වන්නේ නම් නිරතුරුවම දරුවන්ට දිය යුතු වන්නේ පලතුරුයි.

 

මවුපියන්ටයි මේ අවධාරණය

දත් දිරා යෑම දත් සම්බන්ධයෙන් ඇති විශාලම ගැටලුවයි. දත් දිරා යෑමට නොදී පවත්වා ගත හැකියි.

දන්ත සෞඛ්‍ය සඳහා වසරකට ලොව පුරා ඉතාම විශාල මුදලක් වැය කරයි. එසේ තිබියදී දත් ආරක්ෂා කර නොගෙන එය දිරා යෑම දක්වාම සිටීම මාපියන් කරන බලවත් වැරැද්දකි. දරුවන්ගේ දත් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම, පැණි රස ආහාර ගැනීම දත් දිරා යෑමට සෘජුවම බලපෑම් කරයි. දත් දිරා යෑමට සුදුසු වේලාවේ ප්‍රතිකාර නොකළහොත් එම දත අහිමිවීමට පවා ඉඩ තිබේ.

දත් මැදීම

දරුවාට අවුරුදු අටක් පමණ වනතුරු උදේ හවා දරුවා නිවැරදිව දත් මදින්නේදැයි මවුපියවරුන් නිරීක්ෂණය කළ යුතු වේ. දරුවන්ට දත් මැදීම, දත් නිසි ලෙස නොමැදීම නිසා වන ආදීනව පිළිබඳ එතරම් වග වීමක් නොවේ.

* අවම වශයෙන් දිනකට දෙවරක්වත් දත් මැදිය යුතුවේ.

* දත් මැදීම ඇරඹිය යුතු වන්නේ දත් මතු වූ දා පටන්ය.

* නිසි ලෙස දත් මැදීම නොකළහොත් දත් දිරා යෑමද වේගවත් වේවී.

 

දත් බුරුසුව

* මෘදු කෙඳි සහිත ළදරු දත් බුරුසුවක් මේ සඳහා සුදුසු වේ.

* වයස අවුරුදු එකහමාරක් දෙකක් පමණ වද්දී ළමා දත් බුරුසුවක් භාවිතයට ගන්න.

* අවුරුදු හය අට පමණ වනවිට වැඩිහිටි දත් බුරුසුවක් භාවිත කළ හැකියි.

 

දන්තාලේප

* අනිවාර්යයෙන්ම ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතයට ගත යුතුවේ.

* දන්තාලේප කඩල ඇටයක ප්‍රමාණයක් සෑහේ.

* දන්තාලේප ගිලීම නොකළ යුතු අතර වැඩිපුර දන්තාලේප කෙළ ගසා දැමිය යුතුය.

* දත් මැදීමෙන් පසු විශාල ජල ප්‍රමාණයක් ගෙන

කටසේදීමෙන් ෆ්ලෝරයිඩ් ඉවත්වන නිසා එසේ කට සේදීම නොකළ යුතුය.

* ක්ලෝරයිඩ් රහිත දන්තාලේප භාවිතය දත් නරක් වීමට හේතුවකි.

 

දත්වලට සිදුවන අනතුරු

 

ළදරුවා වැටි වැටී නැඟිටින කාලයේ දරුවන්ගේ කිරි දත්වලට අනතුරු ඇතිවන්නට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිවේ. එවැනි අනතුරු දරුවාගේ වර්ධනයට මෙන්ම ස්ථිර දත්වලට පවා බලපෑම් කරයි. "කිරි දත්වලට අනතුරක් වූවාට කමක් නැහැ ස්ථිර දත එනවනේ" කියා සිතා කිරි දතට වන හානිය එතරම් නොතකයි. කිරි දතට හානියක් වුවහොත් රෝහලේ බාහිර අංශයට පැමිණ දන්ත සායනයකට යොමු විය හැකියි. ස්ථිර දතකට හානි වූයේ නම් එවිටද දන්ත සායනයකට යොමු විය යුතුයි. සාමාන්‍ය දන්ත සායනයකින් විසඳිය නොහැකි ගැටලුවක් වේ නම් දන්ත සංරක්ෂණ සායනය වෙත යොමු කරයි.

 

දත් පිරවීම

දත් දිරා ගිය විටයි දත් පිරවීම කළ යුතු වන්නේ. දත් දිරා ගිය හේතුවට මූලික වූ කාරණය සොයා බලා ඉන්පසු දරුවා දිනක් තුළ ගන්නා කෑම බීම ආදිය සොයා බලා දත දිරා යෑම වැළැක්වීමට අවැසි ප්‍රතිකාර කරයි.

දත් පිරවීමත් ඒ අතර වේ. දත් පිරවීම එක් එක් අන්දමින් සිදුවේ. දත් පිරවුමක් සදාකාලිකව නොතිබිය හැකියි. එය කොයි මොහොතක හෝ ගැලවී යාවි. එසේ කියා දත පුරවා නොසිටියහොත් දත ඇතුළටම විෂබීජ ගොස් තව තවත් දත දිරා යාවි.

 

දත් ගැලවීම

දත තියාගන්නට නොහැකි තත්ත්වයේ පවතින්නේ නම්, දිරාගොස් ඇත්නම්, ඉදිමී ඇත්නම් හැරෙන්නට කුඩා ළමයින්ගේ දත් ගැලවීම සිදු කරන්නේම නැති තරම්ය.

ස්ථිර දත ඒමට පෙර දත ගැලවුවහොත් ස්ථීර දත මතුවන්නේ වෙනත් තැනකිනි. දෙපැත්තේ දත් ළංවීම, ඉහළින් ඇති දත පහළට ඒම වැනි දේ සිදුවන්නේ දත ගැලවූ විටයි. අනතුරක් වැනි දෙයකින් ස්ථිර දතක් ගැලවුණහොත් එම දතම එතැනට සවිකරයි. එම දතේ ගැටලුවක් පසු කලෙකදී මතුවුවහොත් ඒ සඳහා ප්‍රතිකර්ම එවිට සිදුකෙරෙයි.

 

ඇඟිලි ඉරීම

දරුවන් ඇඟිලි ඉරීම පුරුද්දක් ලෙස කරද්දී දත් වලට යම් හානියක් සිදුවීමට පුළුවනි. ඒ සඳහා ප්‍රතිකර්ම විකලාංග දන්ත සායනයන් වෙතින් ක්‍රියාත්මක වෙයි.

 

දත් ඉදිරියට ඒම

ඇතැම් දරුවන්ගේ හනුව පිටින්ම දත් ඉදිරියට පැමිණ තිබේවි. මේ සියල්ල විකෘති පිහිටීම් සඳහාවන ප්‍රතිකර්ම දන්ත සායනයන් වෙතින් ක්‍රියාත්මක වේ.

 

නළ දත්

නළ දත් යනු වැඩිපුර ඇති දතක් නොවේ. ඇතැම් දරුවන්ගේ හනුව සාපේක්ෂව කුඩායි. හනුවේ දත ඒමට ඉඩක් නොමැති විට එම දත ඉදිරියෙන් තිබේවි. එය නලදතයි. එසේම එය අවසානයට එන දතයි. එම පිහිටීමද කම්බි දමා ක්‍රමවත් කළ හැකි දෙයකි. ඇතැම් විට එහි ඉඩක් නොමැති නම් දතක් ගලවන්නට පවා වේවි.

 

දත් අව පැහැවීම

සුදෝ සුදුවන් දත් වෙනුවට කහ පැහැවූ දත් දරුවාගේ පෞරුෂය පවා බිඳලයි. සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ දත්වලට වඩා දරුවන්ගේ දත් සුදු පැහැයෙන් යුතුයි. දරුවාගේ දත් ප්‍රමාණවත් පරිදි පිරිසුදු නොවීම දත් කහවීමට හේතුවක් විය හැකියි. එසේම දරුවාට දෙන ආහාර හා බීම වර්ගත් ඒ සඳහා බලපෑම් කරයි. දත් නිසි ලෙස පිරිසුදු නොකළහොත් දත් මත බැඳෙන පටලය මඟින් දත් දුර්වර්ණ වේ.

ජානමය බලපෑම් නිසාත් දත් අව පැහැවේ.

ඇතැම් අයගේ එනමලය තුනීව පිහිටයි. එය ජානමය බලපෑම් මත සිදුවේ. දත් පිරිසුදු නොකිරීමෙන්, එනමලයට හානි වීමෙන් දත් අව පැහැය වේ.

මීට අමතරව දත් කුහර, දත්වලට වන යම් අනතුරු, හෙපිටයිටීස් සහ සෙංගමාල රෝග තත්ත්වයන් සඳහා ගනු ලබන ඖෂධවල බලපෑම නිසාත් දත් කහවේ.

 

විදුරු මස් රෝග

ඒ අතරින් විදුරු මස් දියවීම ප්‍රධාන වේ. සාපේක්ෂව කුඩා දරුවන් අතරේ මේ තත්ත්වය අඩුයි. නිසි ලෙස දත් නොමැදීම එයට හේතුවයි. විදුරු මස ඝනකමට තිබීම නිසා දත්වලට පිටතට ඒමට නොහැකි වීම විරල ගණයේ දෙයකි. ඒ සඳහාත් බලපාන්නේ ජානමය තත්ත්වයි.

 

දත්වලට කම්බි දැමීම

දත්වල අක්‍රමවත් පිහිටීම, හනුවල විවිධ විෂම පිහිටීම නිසා දන්ත සෞඛ්‍යට මෙන්ම බාහිර ස්වරූපයට ද බාධා පැමිණේ. මේ සඳහා සුදුසුකම්ලත් විකලාංග විශේෂඥ දන්ත වෛද්‍යවරුන් වෙත යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විකලාංග දන්ත සායනය දරුවන්ගේ එවැනි දන්ත ගැටලු සම්බන්ධයෙන් බොහෝ සේ වැඩකටයුතු කරයි.

 

එවැනි අක්‍රමවත් පිහිටීම් ආකර්ෂණීය සිනාවකට බාධා එල්ල කරයි. පෞරුෂය හීන කරයි.

මේ සඳහා ප්‍රතිකාර කිරීමට වඩාත් සුදුසු වයස වන්නේ ළමා වියයි.

එහෙත් ඒ සඳහා වයසේ බලපෑමක් නැත. ස්ථිර දත් මෝදු වන්නට පෙර කිරි දත් සඳහා මනා සැලකිල්ලක් දැක්වීමෙන් දත්වල අක්‍රමවත් පිහිටීම් හැකි තරම් වළකාලිය හැකිවේ.

දත් දෙපළක් නීරෝගිව පිහිටනවා යැයි පවසන්නේ යටි ඇන්දේ දත්වලට ඉදිරියෙන් උඩු ඇන්දේ දත් පිහිටීමයි.

ඇතැම් දරුවන්ගේ කිරි දත් වැටීම ප්‍රමාද වීමත්, කිරි දත් තිබියදීම පසුපසින් ස්ථිර දත් පැමිණීමත් සිදුවේ. මෙහිදී දත් එහා මෙහා වෙමින් මතුවිය හැකියි. ඇඟිලි ඉරීමේදී ද දත්වල පිහිටීම විකෘති එකක් වන්නට පුළුවනි. මේ අක්‍රමවත් පිහිටීම්වලදී විකලාංග දන්ත සායනයකට යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම සිදු කෙරේවි.

මෙහිදී වඩාත්ම ජනප්‍රිය අංගය නම් කම්බි දැමීමයි. කම්බි දැමීම, එය පැලඳ සිටිය යුතු කාලසීමා ආදිය එක් එක් දරුවාගේ දත්වල පිහිටීම අනුව වෙනස් වේ. එය නිරතුරුවම පැලඳ සිටීමෙන් දත් ක්‍රමවත් වීම ද ඉක්මන් වේවි.

හනුවල පවතින විකෘතිතා බාහිර උපකරණ අනුසාරයෙන් ක්‍රමවත් කරගන්නට අවස්ථාව තිබේ.

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දන්ත සායනය

 

සෑම රෝහලකම බාහිර රෝගී අංශය වෙත පිවිසීමෙන් දරුවන්ගේ දත් සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා හඳුනාගත හැකි වේ. අනතුරුව දන්ත චිකිත්සක අංශයන් වෙත යොමු කරයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දන්තායතන සායනයන් මැනවින් ක්‍රියාත්මක වේ.

එය සතියේ දින 5දී පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වාත් සෙනසුරාදා දිනයේ පෙරවරු 8.00සිට දහවල් 12.00 දක්වාත් ක්‍රියාත්මක වේ. ඉන් එක් සායනයක් වනුයේ දන්ත සංරක්ෂණ ඒකකයයි. අනෙක දන්ත විකලාංග ඒකකයයි. මෙම සායන දෙක සඳහා යොමු කිරීමක් (අඥටඥපපචත) ඔස්සේ සම්බන්ධ විය හැකියි. එනම් රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී සායනය, වෙනත් රෝහල්වල දන්ත සායනයන්, පාසල් දන්ත සායන ඔස්සේයි. සෘජුවම චසම්බන්ධ විය හැකිවන්නේ හදිසි අනතුරක් වුවහොත් වැනි අවස්ථාවලදීය. සැත්කම්වලට පෙර එම දරුවන්ගේ දත් වල ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳිය යුතු වේ. ඒවායින් විෂබීජ ඇතුළු වුවහොත් සැත්කමේ සාර්ථකත්වය අඩුවීමට පුළුවනි. එම දරුවන්ගේ දත් සම්බන්ධ ගැටලු මෙම ඒකකයෙන් විසඳයි.

 

ගැබිනි වියේ පෝෂණය

 

මවක් තම කුසහොත් දරුවාගේ සුඛ විහරණය වෙනුවෙන් අසීමිත කැප කිරීමක නියැළෙයි. ඒ අනුව ඇතැම් මවුවරුන් තමා ප්‍රිය නොකරන කෑම බීම පවා දරුවාගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආහාරයට ගනියි.

 

දරුවන් ඉපදෙන විට දත්, විදුරුමසින් පිටතට පැමිණ නොතිබුණත් හනුවේ ඇතුළට ‍ෙවන්න පවතී. ඒ අනුව දරුවාගේ දත්වල මුල්ම අත්තිවාරම ඇතිවන්නේ ගර්භයේ සිටියදීමයි.

කිරිකැටි දරුවාගේ දත් කොණ්ඩය සහ අස්ථිවල වර්ධනය කෙරෙහි කැල්සියම් අත්‍යවශ්‍ය වේ. එසේ නම් කැල්සියම් අවශ්‍යතාව වැඩියෙන්ම ඇත්තේ කාන්තාවන්ටයි. ඇය ගැබිනි සමයේදීත්, කිරිදෙන සමයේදීත් දරුවාටත් සමඟ අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය සිරුරේ ගබඩා කරගැනීමට සිදුවනවා.

දරුවාගේ කැල්සියම් අවශ්‍යතාව සපුරාලන නිසා කිරිදෙන කාලයේදී දත් ඇදීයෑම, නිය පැසීම, හිසකෙස් වැටීම වැනි ලක්ෂණ ඇතැම් මවුවරුන් කෙරෙන් දැකගත හැකියි.

මවක් හැකිතරමින් තම කැල්සියම් අවශ්‍යතාව සපුරාලන්නේ නම් ඇය ශක්තිමත් වනවා පමණක් නොව දරුවා ගේ කැල්සියම් අවශ්‍යතාව ද ශක්තිමත් වේ. ඒ ඔස්සේ දරුවාට ද යහපත් මුඛ සෞඛ්‍යයක් උරුම වනු ඇත. වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් ගැබිනි මවක් තම කැල්සියම් අවශ්‍යතාව සපුරාලිය යුතු අතර සීමාව ඉක්මවා කෘත්‍රිම කැල්සියම් ගැනීමෙන් මුත්‍රා ගල්, සන්ධිවල කැල්සියම් තැන්පත් වීම, වකුගඩු ආබාධ ආදිය ඇතිවීමට පුළුවන.

කැල්සියම් ගන්නවා සේම කැල්සියම් උරා ගැනීමට අවශ්‍ය විටමින් ච් ද ලබාගත යුතුවේ. කිරි, බිත්තර, චීස්, බටර්,යෝගට්, මාළු යනාදියේ මේ දෙවර්ගයම ඇතුළත් වේ.

හාල්මැස්සෝ, සාලයෝ, හුරුල්ලෝ, කූනිස්සෝ. සැමන් මාළුවල කැල්සියම් අඩංගු වේ. ධාන්‍ය වර්ගවල ද කැල්සියම් අඩංගුවන අතර දොඩම්, දිවුල්, දඹල, නිවිති, මුරුංගා, බණ්ඩක්කා, මුකුණුවැන්න, තම්පලා.... ආදියේ ද කැල්සියම් අඩංගු වේ. කැල්සියම් උරා ගැනීමට බාධාවක් වන නිසා ආහාර ගැනීමට විනාඩි 45කට පෙර තේ, කෝපි පානය කළ යුතුයි.

ගර්භිණී සමයේදී දත් සම්බන්ධ විවිධ ගැටලු මතුවිය හැකියි. මුඛයේ දුර්ගන්ධය, දත් සෙලවීම, දත් හිරිවැටීම, දත් දිරා යෑම, විදුරුමස් ඉදිමීම, රතුවීම.... වැනි ගැටලු මතුවීමට ඉඩකඩ ඇති බැවින් මුඛ සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. උදෑසනට සහ රාත්‍රිෙය් නින්දට යෑමට පෙර දත් මැදිය යුතුවේ. මේ සඳහා කුඩා හිසකින් යුත් දත් බුරුසුවක් - ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් අත්‍යවශ්‍ය වේ.

ගැබිනි සමයේ වමනය සම්බන්ධ ගැටලු ඇති නිසා උදෑසන අවදි වූ සැණින් දත් මදින්න, අනතුරුව කිරි වීදුරුවක් පානය කරන්න. නැතිනම් දත් මදින්නට යෑමේදී වමනය යන්නට වුවහොත් පෝෂණය අවම වේවි.

ගර්භණී සමයේ දත් පිරිසුදු කරන්නට දත් පුරවන්නට බාධාවක් නොමැත. එහෙත් දත් ගැලවීමෙන් නම් වැළකී සිටින තරමටම යහපත්ය.

දත් දිරාගොස් ඇත්නම් ඒවාහි බැක්ටීරියා තිබිය හැකියි. මේ නිසා ගර්භණී සමයේදී මුඛ, සෞඛ්‍යමය ගැටලු ඇත්තම් දන්ත වෛද්‍ය උපදෙස් කරා යෑම වැදගත් වේ.

 

විශේෂ ස්තූතිය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍ය සොනාලි රණතුංගට

 

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න