කැත බඩ අඩු කරන උට්ඨාසන පාදාසනය

පෙබරවාරි 19, 2024

 

අද කාලේ ගොඩක් දෙනා හරිම කැමතියි හොඳ ලස්සන පෙනුමට ඉන්න. හැබැයි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි උවමනා ප්‍රමාණයට වඩා උදරය නෙරා ඒම. ගැහැනු පිරිමි භේදයකින් තොරවම විශාල උදරයක් තිබීම හැමෝටම ඇත්තටම විශාල ප්‍රශ්නයක්.

මොනවා කළත් බඩ අඩු වෙන්නේ නැති නිසා තමන් කැමති ඇඳුමක් අඳින්න, කැමති විදියට ෆැෂන් කරන්න, කැමති ගමනක් බිමනක් යන්න බැරිව ගොඩ දෙනෙක් ඉන්නේ අපහසුතාවයෙන්.

මෙයට පිළියමක් ලෙස අපේ කාන්තාවන් කොපමණ ව්‍යායාම කළත් ආහාර පාලනය කළත් උදරයේ මේද අඩුකරගත නොහැකි වී තිබෙනවා. නමුත්

යෝගා පුහුණුව තුළින් ඔබට අවශ්‍ය ඒ ප්‍රතිඵල ලබාගත හැකිබව ඔබ දන්නවා ද? මේ සඳහා යෝගාසන සහ ප්‍රාණයාම ප්‍රගුණ කළ යුතුය.

උට්ඨාසන පාදාසනය උදරයේ මේද දහනයට වගේම උදරයේ පවතින බොහෝ ගැටලුවලට සහනයක් ලබා දෙයි. මෙය පුහුණුවීම සඳහා හොඳම වේලාව පාන්දර 4 - 5 අතර කාලයයි. මේ සඳහා පහසු ඇතිරිල්ලක බිම වැතිරෙන්න. පා දෙක ළංකර ගන්න. ඉන්පසු පා දෙක දෙපසට අත්දෙක ගෙන එන්න. මුළු සිරුරේම බර පොළවට දිය යුතු අතර රිද්මයානුකූලව පෙණහල්ල පිරෙන ආකාරයට ආශ්වාස කරන්න. මෙසේ ආශ්වාස කරන විට නාස්පුඩු තුළ වාතය රඳවා ගෙන පා දෙක අංශක 30ක කෝණයට ඔසවන්න. එම ඉරියව්වෙන් තත්පර කිහිපයක් සිටින්න.

ඉන්පසු පා දෙක අංශක 60ක කෝණයට ඔසවන්න. තත්පර 15කින් පා දෙක අංශක 90ට ඉහළට ඔසවන්න. එසේ රඳවාගෙන සිට ඉහළට පා දෙක ගෙන ගිය ආකාරයටම ඉතා සෙමින් පා දෙක අංශක 30 කෝණයට ගෙන ගොස් ඉන්පසු අංශක 60ට ගෙනි යන්න. දැන් දෙපා පොළව මතට ගෙන නවතින්න. ඉන්පසු ඔබ මෙම ආසනය කිරීමෙන් පා දෙක සහ අත් දෙක විහිදුවා, දෑස් වසාගෙන මඳ වේලාවක් විවේක ගන්න.

මෙම ආසනය පුහුණුවන විට ආරම්භයේදී වාර 6ක් කිරීමෙන් පසුව වාර 12 දක්වා ගෙන යන්න.

මෙම ආසනය ප්‍රගුණ කරන විට කිසිදු ආකාරයකට පෙණහල්ලට අපහසුවක් නොවන ලෙස හුස්ම රඳවා නොගන්න. එවිට පෙණහල්ලට හානි සිදු වේ. එමෙන්ම යෝගා ආසන ගැන පුළුල් දැනුමක් නැති අය හුස්ම රඳවා ගැනීම අවබෝධයෙන් කළ යුතුය. හුස්ම රඳවා ගැනීම කළ යුත්තේ කැලෑවේ සිටින වල් සතෙක් හීලෑ කරන ආකාරයට ඉතා සෙමිනි.

නැතහොත් එය පුහුණුවන්නා මරා දැමෙන බව කියැවේ.

එබැවින් එය ක්‍රමානුකූලව පුරුදු පුහුණු කළ යුතුය.

ප්‍රතිඵල

 

මෙය පුරුදු පුහුණු කිරීමෙන් උදරයේ අනවශ්‍ය මේදය දහනය කරයි. පාදවල මාංශපේෂීන් ශක්තිමත් කරයි. විශේෂයෙන් සිසේරියන් සැත්කම මඟින් දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගේ එන ගැටලුවලටත් මෙය ප්‍රගුණ කිරීමෙන් සුවයක් ලබා ගත හැකියි. ඔසප් වීමේදී ඇති වෙන වේදනාවන් වගේම හර්නියා වැනි තත්ත්වවලටත් මෙය ඉතාම සුදුසු ආසනයකි.

 

 

ඡායාරූප - රංජිත් අසංක

 

නොමිලේ යෝග වැඩමුළුව

 

මහරගම සෙත්සඳ යෝග නිකේතනය විසින් වාර්ෂිකව නොමිලේ පවත්වනු ලබන යෝගා භාවනා වැඩමුළුව මෙවරත් පෙබරවාරි මස 23 වැනි පොහෝ දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී උදෑසන 9.00 ට ආරම්භ වේ. 1500 දෙනකුට සහභාගී විය හැකි මෙම වැඩමුළුවේදී ආහාරපාන සියල්ල ද නොමිලයේ ලබා දෙයි.

ලියාපදිංචිය සඳහා විමසන්න. 076 7265240 / 077 9921316

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය