මිහිරි හඬකට ලස්සන රුවකට සිම්භාසනය

මාර්තු 4, 2024

දැන් ඔය කටහඬ කියන එක අපිට කොයිතරම් වැදගත්ද කියලා තේරෙන්නේ කවදාහරි අපේ කටහඬ නැතුව ගිය දවසට නේද? හැබැයි කටහඬ තිබුණත්, ඒ කටහඬ වඩාත් ආකර්ෂණීය කරගන්නත් ගොඩක් අයට වුවමනාවක් තියෙනවා. මොකද, සමහර අය තමන්ට ස්වාභාවිකවම ලැබිලා තියෙන කටහඬ ගැන ලොකු කැමැත්තක් නෑ. දැන් අපිට හොඳට කතා කරන්න පුළුවන් කියන්නේ සෑහෙන්න ප්ලස් පොයින්ට් එකක්නේ.

මොකද, හොඳට කතා කිරීමෙන්, එහෙම නැතිනම් යහපත් සන්නිවේදනයෙන් අපිට ජීවිතේ සෑහෙන්න දේවල් ඉෂ්ට කරගන්න, ගොඩක් දේවල් වඩාත් පහසු කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද අපිට තියෙන කටහඬ තව ටිකක් මිහිරි කරගන්නේ කියලා. හැබැයි මේ කියන්න යන ක්‍රමයෙන් කටහඬ ලස්සන වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ පෙනුමත් ලස්සන වෙනවා.

මේක යෝග ක්‍රමයක්. එක යෝග ආසනයකින් වාසි කිහිපයක්ම තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ.

රූපාලාවණ්‍ය ගැන උනන්දුවන නිරූපිකාවන්, නළු නිළියන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අය යෝගාසන සඳහා යොමු වී ඇත්තේ තමන්ගේ රූප ස්වභාවය සහ හැඩරුව වර්ධනය කරගැනීම සඳහායි. යෝගා තුළින් රූප ස්වභාවය සහ තාරුණ්‍යය වර්ධනය වන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියකටයි. යෝග මඟින් සිත නොසන්සුන්වන නිසා එමඟින් රුධිර ධාතුව පිරිසුදු වේ. එය සිරුරේ තාරුණ්‍යය සහ පෙනුම වර්ධනය කරගැනීමට හේතුවකි.

යෝගා තුළින් මානසික ආතතිය අඩුකර ගත හැකි හෝමෝන වර්ධනය වීම ද සිදු වේ. අපි ගොඩක් දුකින්, කනගාටුවෙන් සිටින විට ප්‍රධාන ආතති හොර්මෝනයක්වන කෝටිසෝල් නමැති හෝ්මෝනය වර්ධනයවන අතර යෝගාආසන සහ ප්‍රාණයාම භාවනාව මඟින් මෙය ඉතා පහසුවෙන් පාලනයකර ගත හැකියි. මේ සඳහා ආහාර, ව්‍යායාම සහ විවේකය වැදගත්වන අතර ඒ පිළිබඳ හොඳ පුහුණුවක් යෝග කරන්නාට ලැබේ.

අද හඳුන්වා දෙන ආසනය සිම්භාසනය යනුවෙන් හඳුන්වන අතර එය සිංහයෙකුගේ ඉරියව්වක් වශයෙන් නිරූපණය වේ. මෙය කිරීම සඳහා ඕනෑම ඉරියව්වක් භාවිත කරගත හැකි වේ. මෙහිදී අප යොදා ගන්නේ වජ්‍රාසනයයි. දැන් අපි එය මේ විදිහට පුහුණු වෙමු.

මුලින්ම 1 රූපයේ ආකාරයට වජ්‍රාසනයට පිවිසෙන්න. වජ්‍රාසනයට පිවිස දෙඅත්ල පොළොවේ තබා සිරුර ඉදිරියට බර කරන්න. මෙම අවස්ථාවේ සිරුරේ බර දෙඅත්ල මත යොමුකර නිකට ඉදිරියට තබාගෙන ඉදිරිය බලා සිටින්න.

දැන් ඔබ සිම්භාසනයේ යේදීමට සූදානම්. ඒ සඳහා 2 රූපය හොඳින් අධ්‍යනය කරන්න. ආධුනිකයෙක්ට මේ ඉරියව්වේ සිටින්න අපහසුනම් කොට්ටයක් තබාගෙන පුරුදු පුහුණු විය හැකියි. දැන් සිරුර ඉදිරියට බර කොට මුව විවර කරන්න. මුව විවරකර දිව එළියට දමන්න. දෙනෙත් විවර කොට ඇහි බැමි දෙක තෙවැනි ඇස පිහිටි කොටසට අවධානය යොමු කරන්න. එසේ යොමුකොට සිංහයෙකු ගොරවන ආකාරයට උගුර ඇතුළෙන් හඬ නැඟෙන ආකාරයට ගොරවන්න. මෙය එක දිගට වාර 25ක් 50ක් සහ 100ක් වශයෙන් වැඩිදියුණු කරගන්න.

 

දැන් 3 වැනි රූපය බලන්න. මෙසේ ගොරවන විට උගුර දෙසට අවධානය යොමු කරමින් නාභියට අවධානය යොමු කොට උදරය ගස්සමින් මෙම ගෙරවීම සිදු කරන්න.

මෙය වැඩි වාර ගණනක් එක දිගට කළ හැකි තෙක් පුහුණු වන්න. ආධුනිකයකුට මුලදී උගරට යම් අපහසුතාවයක් ඇති වුවහොත් උණු වතුරෙන් උඟුර හොඳින් සෝදා දමන්න. මෙය උදෑසන පුහුණුවීම යහපත්වන අතර එමඟින් විපුල ඵල ලබාගත හැකියි.

ප්‍රතිඵල

ගායන ක්ෂේත්‍රයේ යෙදී සිටින්නන්ට, ගුරුවරුන්ට මෙන්ම නිතර හඬ භාවිත කරන දේශපාලනඥයින්ටත් සුදුසු ආසනයක් ලෙස හැඳින්විය හැකිය. මෙමඟින් කටහ‍ෙඬ් පෞරුෂත්වය වර්ධනයවන අතරම මිහිරි ගාම්භීර කටහඬකට හිමිකම් කීමේ අවස්ථාව ළඟාකර ගත හැකිය. ඒ වගේම මුහුණේ රුධිර සංසරණය වේගවත්වන නිසා ඇස්වල නිරෝගීතාවයට ද හේතුවකි. තවද තරුණ පෙනුමක් ලබාගත හැකිය. නිරන්තර පුහුණුවීම් තුළින් මහත් වූ විපුල ඵල නෙළාගත හැකිය.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය