හර්පීස් නිසා පීඩාවෙන්

මාර්තු 18, 2024

 

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වෙති. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

ප්‍රශ්නය

 

මා 40 හැවිරිදි විවාහක කාන්තාවක්. දැනට මාස 06ක පමණ සිට මාගේ ලිංගික ප්‍රදේශයෙන් කුඩා වතුර බිබිළි වර්ගයක් හටගෙන සතියක් පමණ ගිය පසු එය තුවාලයක් බවට පත් විය. ඒ නිසා වෛද්‍යවරයෙකු හමුවුණෙමි. එහිදී මාගේ ලේ පරීක්ෂාවකුත්, යෝනි ශ්‍රාවයෙන් සුළු ප්‍රමාණයක් රැගෙන එන ලෙස පැවසුවා. එතෙක් ලුණු මිශ්‍ර උණු වතුරෙන් එම ප්‍රදේශය සෝදන්න ඔහු උපදෙස් ලබා දුන්නා. මගේ ලේ වාර්තාව අනුව එහි කිසිදු වරදක් නැති බවත්, තවත් පරීක්ෂණ කිහිපයක් කිරීමට ඇති නිසා නැවත පැමිණෙන ලෙසත් දන්වා සිටියා. ලේ වාර්තාවේ කිසිදුු වරදක් නැතයි කියූ නිසා මා යළි වෛද්‍යවරයා වෙත නොගියෙමි.

නමුත් මාසික ඔසප් වීම හැදෙන්න සතියකට කලින් යළිත් මේ රෝගය මාසිකව හටගෙන සුව වෙයි. මේ ගැටලුව විසඳා ගැනීමට මා හට උපකාර කරන්න.

 

පිළිතුර

රෝග ලක්ෂණ අනුව හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරසය මඟින් පැතිරෙන හර්පීස් රෝගයේ ලක්ෂණ වේ. මෙය බෝවීම සිදු වන්නේ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙනි.

ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී පළමු දින 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැකිය. එහිදී ලිංගික ප්‍රදේශය මතුපිට හෝ ඇතුළත, මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවිය හැකිය. ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ. මෙම දිය බිබිළි සති එකත් තුනත් අතර කාලයක් පවතී.

ඒ අතර උණ, වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම ලක්ෂණ ද පවතී. හර්පීස් නිට්ටාවටම සුවකළ නොහැකි අතර, වයිරසය සිරුර තුළ පවතින බැවින් වරින්වර දිය බිබිළි මතුවෙයි. මෙය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට පරීක්ෂණ ගණනාවක් පවතී. ලේ පරීක්ෂණය එයින් එක් පරීක්ෂණයක් පමණයි. ඇතැම්විට එයින් රෝගය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට නොහැකි විය හැකිය. එබැවින් සියලු පරීක්ෂණ සිදුකර, වෛද්‍යවරයා විසින් රෝගය හඳුනාගත් පසුව ප්‍රතිකාර ඇරඹීම සිදු කරයි. ඔබ වෛද්‍ය උපදෙස් පැතීමයි උචිත වන්නේ.

 

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්