මවගේ අමුතු හැසිරීම නිසා ගැටලු ගොඩයි

මාර්තු 25, 2024

 

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

ප්‍රශ්නය

මගේ මවගේ වයස අවුරුදු 53කි. නිවෙසේ ජීවත් වන්නේ මමත් මවත් පමණයි. පියා මියගොස් අවුරුදු 5ක් පමණ ගත වී ඇත. අවුරුදු 2ක පමණ සිට මගේ මවගේ හැසිරීමේ වෙනසක් දක්නට ඇත. ඇය නිතරම පවසන්නේ අල්ලපු ගෙදර අය ඇයට කොඩිවින කරන බවකි. රෑට මේ අය එකතු වෙලා එවැනි දේවල් කරන බව පවසන අතර රාත්‍රිය ළං වන විට ඇයගේ මුහුණ ඉදිමෙනවා. ඒ වෙලාවට ඇය යකෙක් වගේ කෑ ගසා නිවෙස අවට ගෙවල්වල අයට ඇහෙන්න බණිනවා.

ඇත්තටම කියනවා නම් අවට නිවෙස්වල සිටින කවුරුත්ම අපත් සමඟ අමනාපයක් නැහැ. අපි මුලදී සිතුවේ මවට භූතයෙක් වැහිලා කියලයි. විශාල මුදලක් වැයකර ඒ සඳහා ශාන්ති කර්මයකුත් කළා. ඒත් කිසිම ගුණයක් නැහැ. අවසානයට අප සිටි ගෙයත් විකුණා දමා වෙනත් නිවෙසකට ආවා. ඒත් දැන් ඒ නිවෙස අයත් කොඩිවින කරන බව මව පවසයි. මේ ගැටලුවට විසඳුමක් තිබේද? ඇගේ මේ ස්වභාවය නිසා මගේ වැඩ කටයුතුවලටත් එය බාධාවකි.

බදුල්ල - මල්කා

 

පිළිතුර

මෙය සැකය නිසා හටගන්නා මානසික රෝගයකි. ඔබේ මවට ඇත්තේ මායාකාරී රෝගය නමැති මානසික රෝගයයි. මායාකාරී රෝගයේ (Delusional Discoder) ප්‍රධානම ලක්ෂණය නම් එහිදී ඇතිවන මායාකාරී සිතුවිලිය (Delusional Thought). මායාකාරී සිතුවිල්ලක් යනුවෙන් අදහස් වන්නේ යමකු තුළ ඇතිවන තදබල වැරැදි විශ්වාසයකි.

මෙම විශ්වාසය පවුලේ හෝ වෙනත් පුද්ගලයන් නොපිළිගන්නා අතර රෝගියාට එය වැරැදි බව ඒත්තු ගැන්වීම ද ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

මෙවැනි රෝගියකු සාමාන්‍යය ජීවිතයක් ගත කරන අතර එම විශ්වාසය මත ගොදුරු වූ කාලය තුළ පමණක් අසාමාන්‍ය චර්යාවන් පෙන්වයි.

මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ සයිකෝසියාව යටතේ වර්ගකරන රෝගයකි. මෙම රෝගය ඇති වනුයේ භූතයකු නිසා නොව මොළයේ ඇතිවන රසායනික සංයුතියේ වෙනසක් නිසාය. ඔබ අන්ධ විශ්වාසයන් පිළිබඳ එල්බ සිටීමත්, ශාන්ති කර්ම වැනි වංචනික දේවල්වලට යොමු වී කාලයත්, මුදලත් විනාශ කරගෙන ඇත.

එමෙන්ම නිසි ප්‍රතිකාර ලබානොදුන් නිසා රෝගියාගේ රෝගී තත්ත්වය තවත් දරුණු වී ඇති බවයි පෙනෙන්නේ. එම නිසා දැන්වත් නුවණින් යුතුව කටයුතු කිරීමෙන් මෙම ගැටලුවෙන් සහනයක් ලබාගන්න උත්සාහ කරන්න. ඔබගේ

මව හැකි ඉක්මනින් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන්න. ඒ අවශ්‍ය උපදෙස් ලබාගෙන නිවැරැදි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න.

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ