අලුත්ම සමේ රෝගයක් ද? නෑ නෑ...

එක්සිමාවලට පමණක් නොදෙවෙනි රිංග්වෝම්
අප්‍රේල් 1, 2024

 

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් සම්බන්ධයෙන් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් කතා කරනවා. එය දිලීර රෝගයක්. එහෙමත් නැත්නම් විෂබීජයක්. ටීනීයා(Tinea), රිංග්වෝම්(Ringworm) යන නම්වලින් හඳුන්වන මෙම ආසාදිත තත්ත්වය චර්ම රෝග පිළිබඳ සායනවලින් දෙවැනියට වැඩිපුරම ඇති රෝග තත්ත්වයයි. පළමුව ඇත්තේ 'එක්සිමා' තත්ත්වයයි.

 

රිංග්වෝම් කෙනෙකුගෙන් තවත් කෙනකුට මූලික වශයෙන්ම බෝවන්නේ ස්පර්ශයෙන්. ඊට අමතරව ආසාදිතයකු පාවිච්චි කරන දේවලින්, එනම් ඇඳුම්, තුවාවලින් බෝවන්නට පුළුවන්. සබන් කෑල්ල පවා වෙනමම පාවිච්චි කරනවා නම් වඩාත් සුදුසුයි. නිවසේ කෙනකුට මෙම රෝගී තත්ත්වය තිබේ නම් පෞද්ගලිකව පරිහරණය කරන සියලු දෑ වෙන් වෙන්ව පාවිච්චි කිරීම වඩාත් සුදුසුයි. උදාහරණයක් ලෙස තට්ටම් ප්‍රදේශයේ තියෙනවා නම් වැසිකිලි සීට් එක හරහා බෝවන්නට පුළුවනි. පොදුවේ පාවිච්චි කරන දේවල් සහ ස්පර්ශය හරහා සමෙන් සමට බෝවීම ඉතාම පහසුවෙන් සිදුවේ.

 

රෝග ලක්ෂණ

 

තෙත ගතිය වැඩි තැන්වලින් එනම්, දහඩිය රැඳෙන තැන්වල මේ තත්ත්වය පළමුවෙන්ම මතුවේ. ඉකිලි, කිහිලි, තට්ටම් අතරේ, පියයුරු යට දකින්නට ලැබෙයි. දැන් දැන් හඳුනා ගන්නා රෝගීන්ගේ ඇඟ පුරාමත් එනම් හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම තැනක මෙම රෝගී තත්ත්වය ඇති වේ. අධික කැසීම මෙහි ඇති ප්‍රධානම රෝග ලක්ෂණයයි.

 

රතු පාටට මෙන් පැමිණ දාරයක් මෙන් එළියට පැමිණේ. මැද හිස්ව වටේ පිරුණු රවුමක් සේ දිස් වේ. මුදුවක් සේ දිස්වන නිසා රිං වෝම් යයි පවසයි. වියළි ස්වභාවයෙන් යුතු මෙය පොතු ගැලවී යන්නාක් මෙන් පෙනේ. සැරව, බිබිලි ඒමට පුළුවනි. බල්ලන්, බළලුන් වැනි සතුන් හරහා බෝවේ නම් මේ දීලීරයේ සැරව බිබිලි එන ගතිය වැඩිවේ.

 

රිං වෝම් මෙතරම් ගැටලුවක් වී ඇත්තේ ඇයි?

 

මෙය අලුතින් හඳුනාගත් රෝගයක් නොවේ. නමුත් දැන් වන විට එය බරපතළ රෝගයක් බවට පත්ව තිබේ. අවුරුදු හත අටක සිට ටිකෙන් ටික දැක ගන්නට ලැබුණු මෙය සරල මිල ගණන් අඩු දිලීර නාශක ක්‍රීම් ආලේප කිරීමෙන් අඩුකර ගත හැකි බව පෙනෙන්නට තිබුණත්, දැන් එක් පුද්ගලයකුට විශාල ලප ප්‍රමාණයක් සිරුර පුරා පැතිරෙන තත්ත්වයක් ඇතිවී තිබේ.

පවුලක පුද්ගලයන් අතර, නේවාසිකාගාරවල, ක්‍රීඩා කණ්ඩායම් අතර, හමුදා කඳවුරු අතර.... වැනි එකට පිරිසක් ජීවත් වන ස්ථානවල මෙම චර්ම රෝග තත්ත්වය පහසුවෙන් බෝවන බවක් පෙනේ.

දැන් දැන් දක්නට ඇති රිං වෝම් තත්ත්වය ඖෂධ කිහිපයක් පාවිච්චි කරන්නට හා දින ගණනක් පාවිච්චි කරන්නටත් සිදුව තිබේ. මෙම ආසාදන තත්ත්වය වසංගත රෝග තත්ත්වයක් බවට පත්ව ඇත්තේ ඒ නිසයි. උෂ්ණාධික කාලගුණයත් සමඟ රෝග ලක්ෂණ පෙන්වීම වැඩිවී තිබේ. නමුත් වසර පුරාම

එනම් ලංකාවේ පමණක් නොව

දකුණු ආසියාවේ පටන් ලොව පුරාම පැතිරුණු දිලීර ආසාදන තත්ත්වයකි. මෙම දිලීර ආසාදන තත්ත්වය රහස් ප්‍රදේශවල වැඩි වැඩියෙන් දක්නට ලැබෙන නිසා ඖෂධ ගන්නට වෛද්‍යවරයෙක් කරා යෑමට මැළි වේ. ෆාමසි එකකට ගොස් ක්‍රීම් එකක් මිලදී ගෙන ආලේප කිරීමට බොහෝදෙනා පුරුදුව සිටියි.

 

රෝග විනිශ්චයක් නොමැතිවම ආලේප කරන මෙම ක්‍රීම් වර්ග නිසා රෝගය පැතිරීම තව තවත් වැඩිවීමට පුළුවනි.

 

ක්‍රීම් වර්ග කිහිපයක එකතුවකින් සාදා ගන්නා ක්‍රීම් එකක්(Combination cream) ඇතැම් විට ෆාමසියකින් ලබාදේ. මෙවැනි ක්‍රීම් එකක් ආලේපයෙන් කැසීම, රතු ගතිය අඩුවේ. නමුත් සම යට රෝගය එලෙසම තිබේවී. රෝගියා දිලීර තත්ත්වය සුව වී ඇතැයි සිතයි. වෛද්‍යවරයාට පවා මතුපිටින් එය නිවැරැදි ලෙස හඳුනාගත නොහැකි වේ. මතුපිටින් සුව වූ බවක් පෙන්නුම් කළත් අභ්‍යන්තරයේ රෝගය පැතිරෙමින් තිබේවී.

ෆාමසිවලට ගොස් හිතුමතේ ප්‍රතිකාර ගැනීම කොහෙත්ම සුදුසු නැත. එසේම නිවෙසේ තවත් කෙනකුට දුන් ක්‍රීම් එකක් ආලේප කිරීම, නිවෙසේ තිබුණු ක්‍රීම් එකක් ආලේප කිරීම, තමා මීට පෙර වෙනත් චර්ම රෝගයක් සඳහා භාවිත කළ ක්‍රීම් එකක් රිංග්වෝම් තත්ත්වය සඳහා භාවිත කිරීම

කිසිසේත්ම සුදුසු නැත. මින් සිදු වන්නේ සුව වීමට තිබුණු ලප පවා තව තවත් ඔඩු දිවීමයි. ඉන් සිදුවන්නේ ක්‍රීම් ආලේපය පමණක් නොව අභ්‍යන්තරයට බීමට ඖෂධ ලබා ගැනීමටත් සිදුවීමයි. නිසි ලෙස ඖෂධ ලබා ගන්නේ නම් මෙම ලපවල කැලැල් සිටින්නේ නැත. එහෙත් වෛද්‍යවරයා නියම කරන කාලය තෙක්ම ඖෂධ ලබා ගැනීම කළ යුතු වෙයි.

 

මේ කරුණු කාරණා සිතට ගන්න

* ring wome චර්ම රෝගයේ රෝග ලක්ෂණ ඇත්නම් හිතුමතේ ඖෂධ ගන්නට යන්න එපා. *කලින් ඖෂධ ලබාගෙන නැත්නම් හෝ ලප එකක් දෙකක් නම් ඇති පවුලේ වෛද්‍යවරයා ළඟට ගොස් ඖෂධ ලබාගන්න.

* පවුලේ වෛද්‍යවරයා නියම කළ ඖෂධ සම්පූර්ණයෙන්ම ලබා ගන්න.

* එම ඖෂධවලට සුව නොවූයේ නම් සිරුර පුරාම ලප ඇත්නම් දෙවරක් නොසිතා යා යුත්තේ චර්ම රෝග සායනයකටයි. මෙතෙක් පාවිච්චි කළ ක්‍රීම් වර්ග, ඖෂධ ආදි සියල්ල සායනයට රැගෙන යෑමට අමතක කරන්න එපා.

* සායනයෙන් නියම කරන ඖෂධ සියල්ල ලබාගන්න. රුධිර පරීක්ෂාවන් කරන්නට නියම කළහොත් ඒ සියල්ල නියමිත

පරිදි සිදු කරන්න.

*වෛද්‍ය උපදෙස් මත පමණක්ම ඖෂධ ලබාගන්න.

* වෛද්‍යවරයා නවත්වන්නට කියන තුරුම ඖෂධ ලබාගත යුතු වේ.

* මීට අමතරව ක්‍රීම් වර්ග ආලේප කළ යුත්තේ ලපය මතුපිට පමණක් නොව ලපය වටේත් සෙන්ටිමීටර් දෙකක් පමණ වූ රවුමක් වන සේ ක්‍රීම් ආලේප කරන්න. ඒ ඇසට නොපෙනෙන විෂබීජ ලපය වටා තිබිය හැකි නිසයි.

* සැහැල්ලු ඇඳුම් අඳින්න. දහඩිය රැඳීම හැකිතාක් අවම කරගන්නට උත්සාහ කරන්න.

* තමන්ගේ ඇඳුම්, තුවාය වෙන වෙනමම සෝදන්න. අන් අය සමඟ හුවමාරු කරගන්නට යන්න එපා. මේ විෂබීජ සබන්වලින් විනාශ නොවන නිසා උණු වතුරින් සෝදන්න. ඇඳුම් අයන් කර අඳින්න. උෂ්ණත්වයේදී විෂබීජ බොහොමයක් විනාශ වේ.

 

 උපදෙස් :

චර්ම රෝග

විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට