මගේ සිත නිතරම කලකිරීමෙන්

අප්‍රේල් 29, 2024

 

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවය හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වෙති. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට, ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

ප්‍රශ්නය

 

මම 34 හැවිරිදි විවාහක කාන්තාවක්. විවාහ වී වසර පහකි. තවම දරුවන් නොමැත. මා රජයේ රැකියාවක් කරන අතර සැමියා ආරක්ෂක අංශයේ රැකියාවක් කරයි. ඔහු නිවෙසට එන්නේ සතියකට සැරයක්. ඔහුට සේවය කිරීමට සිදුව ඇත්තේ දුර බැහැර ප්‍රදේශයකයි.

මට නිතරම තනිකමක්, දුකක්, කලකිරීමක් දැනෙයි. මම පොත් කියවන්න, චිත්‍රපටි බලන්න යන්න, ඇවිදින්න ගොඩක් කැමැති කෙනෙක්. නමුත් දැන් මා හට ඒවාටවත් උනන්දුවක් නොමැත. කියාගත නොහැකි මොකක්දෝ හේතුවකට සිතේ කලකිරීමක් ඇත. මුළු ජීවිතයම මූසලගතියකින් පීරිගිය හැඟීමක් ඇතිවෙනවා. රාත්‍රියට නින්ද නොයන නිසා මම දිනපතාම පිරිටන් පෙත්තක් පානය කිරීමටද පුරුදුව සිටිනවා. මාගේ තත්ත්වය දිනෙන් දින අයහපත්වන බවක් දැනී යනවා. මේ ගැන සැමියාට පැවසූ විට ඔහු කිව්වේ බෙහෙත් ගන්න යමු කියායි. නමුත් බෙහෙත් ගැනීමට තරම් මා හට අසනීපයක් නොමැත. මේ ගැටලුවට පිළියමක් තිබේද?

 

 

 

පිළිතුර

 

ඔබ පවසන රෝග ලක්ෂණවලට අනූව ඔබට ඇත්තේ විෂාදය නමැති මානසික රෝගය යන්න නිගමනය කළ හැකිය. විෂාදය කියන්නේ මනසේ ඇතිවන දීර්ඝ කාලීන වශයෙන් පවතින් ශෝකී ස්වභාවයක් කියලා සරලව සඳහන් කරන්න පුළුවනි. පවතින රෝග ලක්ෂණ අනුව එම රෝගී තත්ත්වය මද විෂාදය (Mild depression) , සාමාන්‍යය විෂාදය (Moderate Depression), සහ දරුණු ගණයේ විෂාදය (Severe Depression) ලෙස වර්ග කළ හැකියි.

මෙම තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. නිතර සිතේ ඇතිවන දුක් සහිත ස්වභාවය, වෙනදා සතු‍ටුවන දේ වලින් සතුටට පත්විය නොහැකි බව, මහන්සිගතිය, මානසික ඒකාග්‍රතාවය අඩුවීම, ආත්ම විශ්වාසය අඩුවීම, සිතේ පවතින වරදකාරී ස්වභාවය, අනාගතය පිළිබඳ අසුබවාදී අදහස්, සියදිවි හානිකර ගැනීමට සිතීම, නින්ද නොයෑම සහ කෑම අරුචිය ඉන් කිහිපයකි. විෂාදය ඇති වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්.

ජානමය හේතු, දීර්ඝ කාලීන රෝගී තත්ත්ව, සමහර ඖෂධ, හදිසි මානසික ගැටලු ආදී විවිධ හේතු බලපෑ හැකිය. ඒ අතර ඔබට තවමත් දරුවන් නොමැති වීම සහ සැමියා නිවෙසින් ඈත්ව සිටීම වැනි හේතුද බලපෑ හැකිය. ඔබට ඇති විෂාද වර්ගයේ ස්වභාවය අනුව ප්‍රතිකාර වෙනස් වේ. කෙනෙක්ට මෙය ප්‍රතිකාර රහිතව සුවකර ගැනීමේ හැකියාව ඇතත් තව කෙනෙක්ට ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. හැබැයි මේ විෂාදය කියන මානසික රෝග තත්ත්වය කිසිසේත්ම නොසලකා හැරිය යුත්තක් නෙමෙයි. ඒ නිසා මනෝ වෛද්‍යවරයෙක් හමු වී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වන්න. විශ්වාසවන්ත කෙනෙක් සමඟ ඔබේ හැඟීම් බෙදා ගන්න. ඖෂධ මාත්‍රාව නිසියාකාරව ගන්න. ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න. නිසියාකාර නින්දක් ලබා ගැනීමට උත්සුක වන්න. දිනපතා පිරිටන් භාවිත කිරීම සෞඛ්‍යට හිතකර නොවේ. පිරිටන් ගැනීම නවතා දමන්න.එදිනෙදා කාර්යයන්වල හැකිතාක් යෙදෙන්න. පවුලේ අය සහ මිතුරන් ආශ්‍රය කරන්න. මානසික සුවය සඳහා භාවනා කරන්න. ශාරීරික සුවය පිණිස කෙටි ව්‍යායාම්වල නිරත වන්න.

 

අංගොඩ මානසික සෞඛ්‍ය

විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ