කාන්තා රෝග මට්ටු කරන සර්වාංගාසනය

මැයි 6, 2024

අධිවේගයෙන් වෙනස්වන ලොවක ජීවත්වන අපට නිරෝගී දිවියක් ගත කිරීම සිහිනයක්ව ඇත. එනිසා ඔබට අවශ්‍ය නිරෝගී ජීවිතය ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබට සහාය වන්නට කායික මානසික සුවතා විධියක්වන “යෝගා”වලට හැකියාව ඇත.

ශාරීරිකව වගේම මානසිකවත් ප්‍රතිලාභ රැසක් ගෙනෙන ව්‍යායාම විශේෂයක් තමයි යෝගා ව්‍යායාම කියන්නෙ. ඕනෑම පුද්ගලයෙකුට නියැළිය හැකි ඉරියව් එනම් ආසන වර්ග මෙම යෝගා සතුව තියෙනවා. ඉතාමත් පහසු, සරල මෙම ඉරියව් ඔබට ගෙනෙන ප්‍රතිඵල නම් සරල ඒවා නොවේ. එනම් කාලයත් සමඟ යෝගා ව්‍යායාමයන්හි නියැළීමේදී ඔබට දැනෙන පහසුව ද කිසිසේත්ම සුළුපටු එකක් නම් නෙවෙයි. භාවනාවට සමීප නිසාම මෙතුළින් ලැබෙන මානසික සුවය, සහනය ඉතාමත් සුවිශේෂීයි.

යෝගා පුහුණුවීම් අරඹන ඔබට, පළමුව සමහර ව්‍යායාම පුරුදුවීම අමාරු විය හැකිය. නමුත් ඒවා ඔබට හැකි ප්‍රමාණයෙන් කරන්නට පටන් ගන්න. දිනපතා ප්‍රගුණ කිරීමෙන් එම අපහසු යැයි හැඟුණ යෝග අභ්‍යාස පහසුවෙන්ම කළ හැකි වේ.

ඉගෙනීම, රැකියාව ආදී ඕනෑම වැඩක යෙදෙනා අයකුට වුවද යෝගා ව්‍යායාම් කිරීමට කිසිදු අපහසුවක් නොමැත. පහසු වේලාවක් යොදා ගැනීමත්, උත්සාහය, ඉවසීම, අවංකකම හා ආසාව ඇතිකර ගැනීම පමණයි කළ යුතු වන්නේ.

අපගේ සුන්දරත්වය පවත්වාගෙන යාමටත් , එය වැඩි දියුණුකර ගැනීමටත් , කායික හා මානසික සමබරතාව ඉතාමත්ම වැදගත් වේ. එළැඹුණු මේ නව වසරේදී සොඳුරු යුවතියන‍්ගේ රූ සපුව ‍ මෙන්ම, මානසික ශක්තිය දියුණු කරන වෘක්ෂාසනය පුහුණු කිරීම මඟින් ඔබටත් මහඟු ප්‍රතිඵල අත්විඳිය හැකිය.

 

අද අප කතා කරන්නේ සර්වාංගාසනය පුහුණුවන ආකාරයයි. හට යෝග ක්‍රමයේ එන වඩා බලවත් ආසනය වශයෙන් හඳුන්වනුයේ සර්වාංග ආසන සහ ශීර්ෂ ආසනයයි. සර්ව අංග යන මෙහි තේරුම සර්ව යනු සම්පූර්ණ සිරුරමවන අතර අංග යනු කොටස් ය. මෙම අභ්‍යාසයේ යෙදීමෙන් තරුණ භාවය, නිරෝගීභාවය, තයිරොයිඩ් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයට, මානසික ආතතියෙන් මිදීමට, නහර ගැට ගැසීමෙන් මිදීමට, ගර්භාෂය පහත් වීමට, මාස් ශුද්ධියේ රෝගවලින් නිදහස් වීම සඳහා සර්වාංග ආසනය භාවිත කරයි.

 

මෙම ආසනයේ යෙදෙන ආකාරය

 

මුලින්ම කුස හිස්ව තබාගෙන ආසනය පාන්දර 4.12- 5.12 අතර කාලයේදී එනම් බ්‍රහ්ම මුහුර්තයේදී පුරුදු පුහුණු විය යුතුය. මේ සඳහා ඔබ මුලින්ම යෙදිය යුතු ආසනය වන්නේ සර්වාංගාසනයයි.

පළමු පියවර පා දෙක, අත් දෙක ඈත්කර නිදහසේ බිම වැතිරෙන්න. ඉන්පසු සෙමෙන් පා දෙක ළං කරගන්න. අත්දෙක කලවා දෙපසට ගන්න. ඇස් පියාගෙන මනසින් සිරුර ලිහිල් කරන්න.

සෙමෙන් පා දෙක උදරය මතට නමන්න. හොඳට හුස්ම අරන් පිටකරමින් දණහිස් දෙක නළල දෙසට ගෑවෙන ආකාරයට ගෙන එන්න.

දැන් සෙමින් පා දෙක ඉහළට ඔසවන්න. අත් දෙකෙන් පිට දෙපස අල්ලන්න. වැලමිටි දෙකට බර දෙන්න. පා දෙක දික්කර ඇස් දෙක පියා ගන්න. මනසේ අවධානය තයිරොයිඩ් ග්‍රන්ථිය දෙසට යොමු කරන්න.

 

මෙම සර්වාංග ආසනයෙන් අවම වශයෙන් ආරම්භයේ විනාඩියේ සිට විනාඩි 5 - 10 දක්වා යෙදිය හැකිය. විශේෂයෙන් අද නවීන තාලයේ ජීවිත ගත කරන බොහෝදෙනෙක් වැරැදි ආහාර රටාව, මානසික ආතතිය, සුවදායක නින්දක් නොලැබීම, හේතු කොටගෙන ඇතිවන මනෝ කායික රෝගවලට ඉතාම හොඳ විසඳුමක් සර්වාංගාසනයෙන් ලබා ගත හැකිය. ඒත් මෙම ආසනය අධි රුධිර පීඩනය, හෘදයාබාධ, කොඳු ඇට පෙළ සම්බන්ධ රෝගවලින් පීඩා විඳින අය නොකළ යුතුය. එසේ කරනවා නම් ගුරුවරයකුගේ උපදෙස් ලබාගත යුතුය.

සාමාන්‍යයෙන් උදේ සවස පුහුණුවන ආසන වශයෙන් සර්වාංග ආසනය දක්වන්නේ සර්වාංගාසනයේ යෙදීම තුළින් දරුඵල අහිමි වීම, නෂ්ඨකාමය, ඉතා වේගයෙන් සම වියපත් වීම වැනි තත්ත්වයන් පවා පාලනය කිරීමේ හැකියාව සර්වාංගාසනයේ ඇත. ඒ නිසා සර්වාංගාසනයේ යෙදෙන විට කුස හිස්ව තියාගෙන හෝ ආහාර ගෙන පැය තුනකට පසුව පුරුදු පුහුණුවීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

ඡායාරූප - රංජිත් අසංක