ඇඟට යාළු මාළු

මැයි 5, 2025

මුහුදෙන් වට වී තිබෙන අපේ රටේ මාළු කියන්නේ ඉතාම සුලබව දක්නට ලැබෙන ආහාරයක්. ශරීරයට අවශ්‍ය කරන බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි ආහාරයක් ලෙස මාළු හඳුන්වන්න පුළුවන්. මාළු ආහාරයට ගැනීමෙන් අයඩින්, විටමින්, ප්‍රෝටීන් වර්ග, ඛනිජ වර්ග මෙන්ම ඔමේගා 03 අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවේ. මෙවැනි පෝෂණය බහුල හා අපේ ඇඟට ගුණදායී මත්ස්‍යයින් වර්ග කිහිපයක් ගැන අපි විමසා බලමු.

මොරල්ලා

‎සෙන්ටිමීටර හතළිහක් පමණ දිගට වැඩෙන හා මුඛයේ හනුව සිහින් හීයක් මෙන් ඇති මෙම මත්ස්‍යයා ආහාරයට ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. ශරීරයේ අස්ථි වර්ධනයට මෙන්ම තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයට ද මෙම මත්ස්‍යයා උපකාරී වෙයි. වයසට යාමේදී බොහෝ අයට පැන නඟින ගැටලුවක් වන ඇස් පෙනීමේ දුර්වලතා අවම කර ගැනීමට මෙම මත්ස්‍යයාගෙන් හැකියාව ලැබේ. තවද ප්‍රතිශක්තීකරණ පද්ධතිය වර්ධනය කර ගැනීමටද මෙම මත්ස්‍යයා බෙහෙවින් උපකාරී වේ.

පියාමැස්සා

‎මීටර් කිහිපයක් දුරට පියාඹා යෑමේ හැකියාව ඇති මුහුදේ සිටින එකම සත්ත්වයා පියාමැස්සා වේ. පියාමැස්සා ආහාරයට ගැනීම තුළින් විටමින් A, B12, D හා E ශරීරයට ලබා ගත හැකියි. ශක්තිමත් අස්ථි පද්ධතියක් සඳහා මෙන්ම ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්වයන් වැළැක්වීමට ද මෙම මත්ස්‍යයා උපකාරී වේ.

නීරෝගි සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට ද මෙම මත්ස්‍යයා මඟින් හැකියාව ලැබෙනවා. තවද ප්‍රතිශක්තිය වර්ධනයට ද මෙම මාළු වර්ගය සහාය වේ.

ජීලාවා

මීටර් එකහමාරක් පමණ දිගට වැඩෙන ජීලාවා මාළුන් ප්‍රෝටින් බහුල ආහාරයක් වෙයි. තවද විටමින් හා ඛනිජලවණ ද මෙම මත්ස්‍යයා ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට ලබාගත හැකියි. මාංශපේශි ශක්තිමත් කර ගොඩනැගීමට හා මොළයේ වර්ධනයට ද මෙම මත්ස්‍යයා උපකාරී වේ.

‎එමෙන්ම හෘද රෝග තත්ත්වයන්ට, ස්නායු පද්ධතියට මෙන්ම රුධිර සංසරණය වැඩිදියුණු කිරීමටද මෙම මත්ස්‍යයා මගින් හැකියාව ලැබෙයි.

කාරල්ලා

‎කාරල්ලා මාළුන් ඉතා හොඳ ප්‍රෝටීන ගුණයෙන් අනූන මාළු වර්ගයකි. විශේෂයෙන්ම පටක ගොඩනැඟීමට හා අලුත්වැඩියා කර ගැනීම සඳහා මෙම මාළු වර්ගය ආහාරයට ගැනීම සුදුසුය. අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් ඇති අය මෙම මාළු ආහාරයට ගැනීම ඉතා ගුණදායී වේ. රුධිරය කැටි ගැසීමේ අවදානම අඩුකර ගැනීමට හා ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබාගැනීමටද මෙම මාළුන් වැදගත් වේ.