ඩෙංගු චිකුන්ගුන්යා දෙකම එක්කෙනෙක්ගෙන් ද?

මැයි 5, 2025

සාමාන්‍ය ව්‍යවහාරයේදී චිකුන්ගුන්යා රෝගය ඩෙංගු රෝගය තරම් බරපතළ වන්නේ නැත. ඒ ඩෙංගු රෝගයට ගොදුරු වූ රෝගීන් මිය යෑමට පවා හැකියාව ඇතත් චිකුන්ගුන්යා රෝගයට ගොදුරු වූ රෝගීන් මිය යෑමට තරම් බරපතළ වෙතැයි නොසලකන නිසාය.

 

නමුත් චිකුන්ගුන්යා රෝගය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකියි. චිකුන්ගුන්යා වැලඳී දින දෙක තුනක් තුළ උණ තත්ත්වය පහව ගියත් ඉන් පසුව එම පුද්ගලයාට දින ගණනාවක් යනතුරු දැඩි ශාරීරික පීඩාවලට මුහුණ දීමට සිදුවනු ඇත. සමහර විට මුහුණ, අතපය ඇතුළු මුළු සිරුරටම දැනෙන එම වේදනාව දින ගණනකට පමණක් සීමා නොවී මාස, අවුරුදු ගණන් පවා තිබීමට පුළුවනි.

ඊජිස් ඊඩිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොජික්ටස් නම් එකම කුලයට අයත් මදුරුවන් වර්ග දෙකකින් සෑදෙන චිකුන්ගුන්යා රෝගය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ 1960 වර්ෂයේදීය. නමුත් ඒ කාලයේදී මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ එතරම් ව්‍යාප්ත වූයේ නැත. එහෙත් 2006 - 2008 කාලය වන විට ලංකාව තුළ හිස ඔසවමින් ව්‍යාප්ත වීමට මෙම චිකුන්ගුන්යා රෝගයට හැකි විය.

මෙම මදුරුවන් මඟින් චිකුන්ගුන්යා බෝවන බව ප්‍රථමයෙන්ම සොයාගනු ලැබුවේ 1957 වර්ෂයේදී ටැන්සානියාවෙනි. චිකුන්ගුන්යා යනු එරට භාෂාවෙන් 'කොරවීම' යන අර්ථය ගෙන දෙන වචනයකි. නමේ ඇති පරිදිම චිකුන්ගුන්යා වැලඳුණු රෝගියකු පීඩාවිඳින්නේ උණ, හිස කැක්කුම නිසා නොවේ. ඉන්පසු ඇතිවන දැඩි ඇඟපත රුදාව නිසාය.

 

ඩෙංගු සහ චිකුන්ගුන්යා වෙන්කර ගන්නේ කෙසේද?

ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග දෙකම වැලඳුණු පසු රෝගීන් හට මුල් දිනයේ සිටම උණ, හිස කැක්කුම සහ මුහුණ, අතපය ඇතුළු ඇඟපත රිදීම ඇති වෙයි. නමුත් ඩෙංගු රෝගයට වඩා චිකුන්ගුන්යා හට මෙම ඇඟපත වේදනාව බරපතළ ලෙස වැඩි වේ.

යම් රෝගියකුට නොබසිනා උණක් ඇත්නම් එය ඩෙංගු ලෙස විනිශ්චය කර අදාළ පරීක්ෂණ සිදු කරන අතර රෝගියාට දැඩි ලෙස ඇඟපත රුදාව ඇත්නම් එය චිකුන්ගුන්යා යැයි සැක කර ඊට අදාළ ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කරනු ලබයි. නමුත් මෙලෙස හඳුනාගත හැක්කේ රෝගය සෑදී දින පහක් පමණ ගත වූ පසුවයි.

චිකුන්ගුන්යා සෑදුණු අයකුටත් ඩෙංගු රෝගයේදී මෙන්ම තදින් උණ ගැනෙන අතර දින දෙක තුනකින් එම උණ තත්ත්වය පහව යයි. නමුත් වැලඳී ඇත්තේ චිකුන්ගුන්යා නම් එලෙස උණ බැස ගිය පසු රෝගියාට තදබල ඇඟපත වේදනාවක් ඇති වේ. එසේම චිකුන්ගුන්යා සෑදුණු විට උණ සමග රෝගියාගේ නාසය උඩ කළු පාට වීමත් නිරීක්ෂණය කළ හැකි වේ.

 

රෝග දෙකම බෝ කරන්නේ එකම මදුරුවාද?

ඔව්, රෝග දෙකම සෑදෙන්නේ ඊඩිස් කුලයේ මදුරුවෝ දෙදෙනෙකුගෙනි. මදුරුවා කෙනකුට දෂ්ට කරන විට එම මදුරුවා තුළ ඩෙංගු වයිරසය තිබුණහොත් එම මිනිසාට ඩෙංගු සෑදේ. බැරි වෙලාවත් එලෙස දෂ්ට කරද්දි මදුරුවා තුළ චිකුන්ගුන්යා වයිරසය තිබුණහොත් එම මදුරුවා දෂ්ට කරන මිනිසාට චිකුන්ගුන්යා සෑදේ. මදුරු ගහනය වැඩි නම් රෝග දෙකම බෝවීමට ඇති ඉඩකඩ වැඩියි. උදාහරණයක් ලෙස කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ජනගහනය මෙන්ම මදුරු ගහනයද වැඩි වේ. එම නිසා මේ රෝග දෙක වැඩිපුරම වාර්තා වන්නේ මෙම දිස්ත්‍රික්කවලිනි.

 

ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග තත්ත්වයන් දෙකම එකවර සෑදෙන්නට පුළුවනි ද ?

 

එසේ රෝග දෙකම එකවර සෑදුණු රෝගීන් වාර්තා වී නොමැති තරම්ය. එහෙත් පළමුවර සෑදී එය සුවපත් වී නැවත මදුරුවෙක් දෂ්ට කළහොත් චිකුන්ගුන්යා සෑදෙන්නට පුළුවනි. චිකුන්ගුන්යා එක් වරක් සෑදුණු පසු අප සිරුරේ එයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවේ. එබැවින් එක් වරක් සෑදුණු පසු චිකුන්ගුන්යා නැවතත් සෑදෙන්නේ නැත. ඩෙංගු රෝගය නැවත නැවත සෑදීමට සම්භාවිතාවක් පවතී.

 

චිකුන්ගුන්යා නිසා ඇති වන ශාරීරික වේදනාව

චිකුන්ගුන්යා සෑදුණු පසු ඒ රෝගියාට එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් කර ගත නොහැකි තරමට ඇඟපත රිදුම් දේ. දත් මැදීමට පවා නොහැකි ලෙස දත් රිදෙන්නට ගනී. මුහුණ ඇල්ලීමට පවා නොහැකි තරම් රිදුම් දේ. රැකියා කරන අයට එය ඉතාමත් අපහසු තත්ත්වයකි. ගෘහිණියන්ට ගෙදර දොරේ වැඩපළ කර ගැනීමට තරම් අපහසු තත්ත්වයක් ගෙන දේ. වැඩිහිටියන් පමණක් නොව දරුවන්ට පවා මෙවැනි බරපතළ ලෙස ශාරීරික වේදනා ගෙනදෙයි. මෙසේ හටගන්නා වේදනාව සෑහෙන කාලයක් යනතුරු පවතී. විශේෂයෙන්ම සන්ධි අමාරු ඇත්නම් වසර ගණනාවක් වුණත් තිබීමට පුළුවනි. ආතරයිටිස් රෝගීන්ට මෙය සෑහෙන්න බරපතළ ලෙස බලපාන රෝගී තත්ත්වයකි. චිකුන්ගුන්යා සෑදී රෝද පුටුවට සීමාවුණු අවස්ථා පවා වාර්තා වී තිබේ.

උණ තත්ත්වය දින දෙක තුනකින් පසු සුව වූවත් හන්දි අමාරු වසර දෙක තුනක් යනතුරුත් වැඩිහිටි ආතරයිටිස් රෝගීන්ට ජීවිත කාලය පුරාමත් ශාරීරික අසීරුතා ඉතිරි වේ.

 

ප්‍රතිකාර ක්‍රම

ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග තත්ත්වයන් දෙවර්ගයටම ඇති හොඳම ප්‍රතිකාරය වන්නේ විවේකයයි. හොඳින් විවේක ගෙන සිරුරට සුව වීමට කාලය ලබාදීම අතිශය වැදගත් වේ. එසේම මේ රෝග තත්ත්වයන් දෙකේදීම තදින් උණ ගැනෙන නිසා උණ සමනය වීමට වයසට අනුව පැරසිටමෝල් මාත්‍රාවෙන් පානය කළ යුතුයි. උණ අඩුවීම සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් දීම සුදුසු නැත.

ඩෙංගු රෝගයේදී වෛද්‍ය උපදෙස් ලබා හොඳින් ජලය පානය කළ යුතුයි. ඩෙංගු රක්ත පාතය හෝ කම්පන තත්ත්වය පැමිණීම වළක්වා ගැනීමට පෙර කී පරිදි ඇඳට වී හොඳින් විවේක ගැනීම වැදගත් වේ.

රක්තපාතය හෝ කම්පන තත්ත්වවලට නොගියහොත් ඩෙංගු රෝගය ගැන විශාල බියක් ඇතිකර ගත යුතු නැත. එවිට එය තවත් එක් සාමාන්‍ය වයිරසයක් පමණයි. නමුත් රක්තපාතය හෝ කම්පන තත්ත්ව වලට ගියහොත් ඉන් අක්මාවට හානි වී තත්ත්වය බරපතළ විය හැකියි. එසේ නොවන අවස්ථාවලදී සාමාන්‍යයෙන් හොඳින් විවේක ගෙන සතියකට පමණ පසු රෝගියා සම්පූර්ණයෙන්ම සුවය ලබයි.

චිකුන්ගුන්යා රෝගයේ හැසිරීම ඊට වඩා වෙනස් වේ. සාමාන්‍යයෙන් රෝගය දින තුනකට පසු සුව වුවත් ඒ සමඟින්ම පැමිණෙන ශාරීරික අපහසුතා දිගු කාලයක් පුරා පවතී. එය රෝගියාගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම්, රැකියාව ආදියට දැඩි ලෙස බලපෑම් කරයි.

 

ප්‍රතිකාරයට වඩා රෝග සෑදීම වළක්වා ගැනීම වැදගත්

චිකුන්ගුන්යා සහ ඩෙංගු යන රෝග දෙකම ඊඩිස් මදුරුවාගෙන් බෝවන නිසා එම මදුරුවා බෝවීම වළක්වා ගැනීමට ඇති හොඳම ප්‍රතිකර්මය එයයි. මෙම මදුරුවන් බෝවන්නේ පිරිසුදු ජලයේය. ඒ නිසා ඔබ අවට පිරිසුදු ජලය රැඳෙන ස්ථාන අවම කර ගැනීම වැදගත් වෙයි. ජලය එකතු වන සහ රැඳී පවතින යෝගට් කෝප්ප, පොල් කෝම්බ විනාශ කිරීම හෝ වළ දැමීම කළ හැකියි. නිවෙසේ වැහි පීලි නිරතුරුව ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. ජලය රැඳෙන ස්ථාන සොයා විනාශ කිරීම ඔබේ දෛනික කාර්යයක් කර ගන්න. ඊට අමතරව නිරතුරුව ඔබ නිවෙස අවට පිරිසුදුව තබාගන්න. මෙම රෝග දෙක ගැබිනි මවුවරුන්ට, කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් බරපතළ විය හැකියි. එබැවින් ඔවුන්ට මෙම රෝගය වැලඳීම වළක්වා ගත යුතුයි.

උපදෙස්:
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා