වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
මානසික ඔසප් පීඩාව ඔයාටත් වදයක් ද?

මාසික ඔසප් කාලය ආරම්භ වීමට ආසන්න දිනවලදී, ඒ අතරතුරදි සහ ඔසප් කාලය අවසන් වී දින කිහිපයක කාලය තුළ බොහෝ කාන්තාවන් දැඩි කායික අපහසුතා මෙන්ම මානසික අපහසුතාවන් ද රාශියක් අත්දකියි.
ඔසප් සමය තුළ කාන්තාවන් අත්දකින කායික අපහසුතා පිළිබඳ ඔබ ඉතා හොඳින් දැනුම්වත්ව සිටියද මෙකල අත්දකින මානසික අපහසුතා පිළිබඳ අවබෝධය මද කම නිසා ඔබ මෙන්ම ඔබගේ සමීපතමයන් ද නිරන්තර අපහසුතාවන්ට පත්විය හැකියි.
මාසික ඔසප් වීමට ආසන්න දිනවල සිටම බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයා, පෙම්වතා සමඟ පමණක් නොව පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ පවා නොරිස්සුමෙන් කටයුතු කරනු හෝ ආවේගශීලීව, අසතුටින්, දුක්මුසු ස්වභාවයකින් කටයුතු කරනු දැක ඇති. මෙම මානසික ස්වභාවය බොහෝ කාන්තාවන් අත්දකින සාමාන්‍ය තත්ත්වයක් වුවද එය යමෙකුගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතුවලට, අන්තර් පුද්ගල සබඳතාවලට හානිදායක හෝ වෘත්තීය ජීවිතයේ සහ සමාජ ජීවිතයට බාධා ඇති කරනවා නම් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කළ යුතුවේ. ඒ ඔබ අත්දකින්නේ පූර්ව ආර්තව අවසිද්ධි අක්‍රමතාවයේ ලක්ෂණ විය හැකි නිසාය.
පූර්ව ආර්තව අවසිද්ධි අක්‍රමතාව (Premenstrual Dysphoric Didorder) යනු ඔසප් සමයට ආසන්න දින කිහිපයකදී ආරම්භ වී ඔසප් සමය තුළ ලක්ෂණ වැඩි වී ඔසප් අවසන් වීමට පසු ක්‍රමානුකූලව එම ලක්ෂණ අවම වී හෝ නැතිවී යන මානසික අපහසුතා සහ යම් කායික අපහසුතා ගණනාවක් පෙන්නුම් කරන මානසික අක්‍රමතාවකි.
පූර්ව ආර්තව අවසිද්ධි අක්‍රමතාවයේ ලක්ෂණ
*ඔසප් කාලය ආරම්භ වීමට ආසන්න දිනවලදී සහ ඒ අතරතුරදී ඔබගේ මනෝභාවය ඉතා ඉක්මනින් වෙනස් වනවා ද එනම් එකවර දුකට පත්වීම හෝ කඳුළු පිරි දෙනෙතින් යුක්ත වීම, නැතිනම් යමෙක් ඔබව ප්‍රතික්ෂේප කළහොත් හෝ ගණන් නොගෙන සිටියොත් ඔබ අධික ලෙස සංවේදී ප්‍රතිචාර දැක්වීම
*ඔබ නිතර නොරිස්සුමින් හෝ කෝපයෙන් සිටිනවා ද, මේ නිසා ඔබගේ සමීපතමයින්, ස්වාමිපුරුෂයා හෝ දූ දරුවන් සමඟ ඔබ නිතර අඩදබර කර ගැනීම ආරවුල් ඇතිකර ගැනීමටට පෙලඹෙනවා ද?
*තවද ඔබ බලාපොරොත්තු සුන් වූ ස්වභාවයක්, කලකිරුණු ස්වභාවයක් අත්විඳිනවා ද නැතිනම් තමා නොවටිනා පුද්ගලයෙක් වැනි සිතුවිලිවලින් පීඩාවට පත්වනවාද?
*ඔබ සිතේ මහත් කලබල ගතියකින්, අවිනිශ්චිත ස්වභාවයකින් හෝ බිය මුසු ස්වභාවයකින් සිටිනවා ද?
*වෙනදා සතුටින්, කැමැත්තෙන් කළ ක්‍රියාකාරකම් එනම් රැකියාවට යෑම, ඉගෙනීම් කටයුතු, මිතුරන් සම්බන්ධ කටයුතු හෝ විනෝදාංශ වැනි කටයුතු කෙරෙහි තිබූ කැමැත්ත හෝ උනන්දුව අඩුවී ඇත්ද?
*සිත එකඟ කරගෙන ඔබගේ දෛනික වැඩ කටයුතු කිරීම අපහසු ද?
*තවද අලස බවක්, ශරීර ශක්තිය හීන වී ගිය බවක් හෝ අධික තෙහෙට්ටු බවක් දැනෙනවා ද?
*ආහාර රුචියේ කැපී පෙනෙන වෙනසක්, එනම් වෙනදාට වඩා වැඩිපුර ආහාර ගැනීම, පැණි රස, ඇඹුල් රස වැනි විශේෂ ආහාර පිළිබඳ දැඩි කෑදර බවක් ඇතිවනවා ද?
*නින්ද නොයෑම හෝ වැඩිපුර නිදිමත ගතියක් දැනෙනවා ද?
*ඔබ අවට දේවල් හෝ සිදුවීම් ඔබට පාලනය කරගැනීමට අපහසු ස්වභාවයක් දැනෙනවා ද?
*ඉහත ලක්ෂණවලට අමතරව ඔබගේ පියයුරු ඉදිමීම, හන්දි වේදනා, මාංසපේශී වේදනා හෝ ශරීරයේ පිම්බුණු හෝ බර වැඩි වී ඇති ස්වභාවයක් අත්විඳිනවා ද?
ඉහත සාකච්ඡා කළ බොහෝ මානසික හා කායික ලක්ෂණ ඔසප් සමයේදී බොහෝ කාන්තාවන් අත්දකින සාමාන්‍ය ලක්ෂණයි. නමුත් මෙම ස්වභාවය නිසා ඔබගේ ස්වාමිපුරුෂයා, දූ දරුවන් හෝ ඔබගේ සබඳතාවලට දැඩි බලපෑම් එල්ල වී ඇතිනම් මෙම තත්ත්වය නිසා ඔබ මෙන්ම ඔබගේ සමීපතමයන් දැඩි මානසික පීඩාවන්ට ගොදුරු වී සිටී නම්, රැකියා, අධ්‍යාපන කටයුතු හෝ සමාජ සබඳතා ඔබට නිසි පරිදි කරගෙන යෑමට මෙම තත්ත්වය නිසා අපහසු වී ඇතිනම් ඔබ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍ය වේ.
ඉහත ලක්ෂණ ගෙනහැර දැක්වූයේ ඔබ ඔසප් සමයේ අත්විඳින මානසික අපහසුතාවන් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමටයි. ඉන් පූර්ව ආර්තව අවසිද්ධි අක්‍රමතාව ඔබට පවතියි යැයි ස්වයං රෝග විනිශ්චයකට පැමිණිය නොහැකියි. මෙවැනි ස්වභාවයක් අත්දකියි නම් ඔබ කළ යුත්තේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු වී අවශ්‍ය මඟපෙන්වීම සහ ප්‍රතිකාර ලබා ගැනීමයි. එය ඔබ ඔබගේ මෙන්ම ඔබේ පවුලේ සහ සමීපතමයන්ගේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත. ඒ සඳහා ඔබට සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරයකු වෙත හෝ මනෝ වෛද්‍ය සායනයකට යොමු වීම හරහා අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම මඟ පෙන්වීම ලබාගැනීමට හැකිවනු ඇත.
උපදෙස්:
සායනික මනෝ වෛද්‍ය
දේවිකා අත්තනායක