වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ඔබේ ගැටලුව අපට එවන්න

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග
විශේෂඥ වෛද්‍ය
එච්.ඩී. විජේසිංහ
නිතර තරහා යන්නේ ඇයි?
ප්රශ්නය
මගේ පුතාට වයස අවුරුදු 24කි. ඔහු රැකියාවක නියැළෙයි. නමුත් කාලයක සිට රැකියාවට යාමට උදාසීන බව, පාලනය කර ගැනීමට නොහැකි සේ තරහ යාම, සමහර වෙලාවට ඔහුට කවුරුන් හෝ කරදර කරනවා යැයි කියමින් භයවීම වැනි දැ සිදුවෙයි. මේ තත්ත්වය කුමක් විය හැකිද?
පිළිතුර
මානසික රෝග ගණනාවක් තිබේ. භින්නෝන්මාදය යනු ඉන් එක් මානසික රෝගයකි. මෙය 1%කට වැලඳෙන රෝගී තත්ත්වයක් වන අතර කාන්තා හා පුරුෂ යන දෙපාර්ශ්වයටම සෑදෙන රෝගයකි. භින්නෝන්මාදයේ රෝගය මතුවන්නේ තරුණ කාලයේදීය.
මෙම රෝගී තත්ත්වය හේතුවෙන් අන් අය සමඟ තිබෙන සම්බන්ධතාව දුරස් වීමට පුළුවන්. කාර්යක්ෂමතාවය අඩුවීම, තරහ යෑම යනු භිදින්නොත්මාදයේ පූර්ව රෝග ලක්ෂණ වේ.
තවද මෙය ක්‍රියාකාරී රෝග ලක්ෂණ සහ අක්‍රිය රෝග ලක්ෂණ යන කොටස් 02කට බෙදා දැක්විය හැකිය. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස අසාමාන්‍ය සිතුවිලි ඇති වීම දැකිය හැකිය. මෙය මෝහන තත්ත්වයක් ලෙසද හඳුනා ගැනීමට හැකියාව තිබේ. මෙම රෝගී පුද්ගලයන් කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ විශ්වාස ඇති වීම, අන් අය විසින් තමන්ට හානි කරනවා වැනි සිතුවිලි ද ඔවුන් සතුවේ. තවද මෙම රෝගීන්ට තරහ යාම, ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම ද මෙහි ලක්ෂණ වේ. මෙම තත්ත්ව නිසාම පවුල තුළ ප්‍රශ්න ඇතිවීමටද ඉඩකඩ ඇතිවේ. එසේම රැකියාවක් කරනවා නම් එම ස්ථානවල කලහකාරීව හැසිරීමටද පෙලඹේ.
බොහෝ රෝගීන් මෙම රෝග ලක්ෂණ හේතුවෙන් මානසික පීඩාවට පත්වේ. තවද රැකියාවක් කරනවා නම් මොවුන් රැකියාව ප්‍රතික්ෂේප කිරීමද සිදුකරයි. ඔවුන්ගේ සිතිවිලි නිසාම ඔවුන්ගේ සතුට ක්‍රමයෙන් අහිමි වී යාමද සිදුවේ.
මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වේ. මානසික වෛද්‍යවරයකු වෙත ඉක්මනින් යොමු කරන්න.
නැඟණියගේ පිරිසුදුකම අසාමාන්‍යයි
ප්රශ්නය
මෙම ගැටලුව මාගේ නැඟණිය සම්බන්ධවය. ඇයට වයස අවුරුදු 21කි. ඇය නිතර පිරිසුදුවට ඉන්න කැමැති කෙනෙක්. නමුත් ඒ පිරිසුදුකම අතිශය අසාමාන්‍යයි. ඇය අඩුම තරමින් විනාඩි 15කට සැරයක්වත් දෑත් සෝදයි. දිනකට දෙතුන්පාරක් ස්නානය කරයි. රෙදි සෝදා වියැළෙන්න වැලට දැමු පසු හේදුණා මදි කියා නැවතත් ඒ රෙදි සෝදයි. ඇය සිටින්නේ ප්‍රතිකාර ලබා ගත යුතු තත්ත්වයක ද?
පිළිතුර
ඔබගේ නැඟණියට ඇත්තේ ග්‍රස්ථිය නම් රෝගී තත්ත්වයයි. ග්‍රස්ථිය නම් මානසික රෝගය ඇතිවීමට මූලිකම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ජානමය හේතූන්ය. ඊට අමතරව කුඩා කාලයේදී මොළයට ඇති වන ආසාදිත තත්ත්වයන් ද පසුකාලීනව ග්‍රස්ථිය ඇතිවීමට බළපා හැකිය.
රෝග ලක්ෂණ වන්නේ එකම කාර්යයක් නිතර නිතර කිරීමට පෙලඹීම, නිශ්ඵල සිතුවිලි නිතර නිතර සිතට ඇතුළු වීම, තම සිතට නැගෙන සිතුවිලි ප්‍රියජනක නොවුවද ඒවා ඉවත් කර ගන්නට රෝගියාට හැකියාවක් නොමැති වීම, අවිනිශ්චිත සිතුවිලි නිතර සිතට ඇතුළු වීම ප්‍රධාන ලක්ෂණ වේ.
ඒ වගේම තමාගේ ශරීරයට විසබීජ ඇතුළු වේ යැයි අධික බියකින් පසුවන මොවුන් තමාගේ ඇඳුම් අන් අයගේ ඇඳුම් සමඟ සේදීමට අකමැතිය. හොර රහසේම සෝදා ගන්නා යට ඇඳුම් තද අව්වේ වියළා ගැනීමට වැළක හෝ වෙනයම් තැනකට දැමීමට ඔවුන් දැඩි සේ අකමැතිය. විසබීජ ශරීරගත වේ යැයි සිතනා ඔවුන් සෝදා ගන්නා යට ඇඳුම් මිරිකා නැවත ඇඳ ගැනීමට පෙලඹේ.
මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ග්‍රස්ථිය රෝගියෙකුගෙන් දැකිය හැකි අතර මෙවැනි රෝග ලක්ෂණ තිබීම දෛනික ජීවිතයට ද බලපෑමක් එල්ල වන බැවින් රෝගය නිවැරදිව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත්ය. ග්‍රස්ථිය යනු නිවැරදිව හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන් සුවපත් කළ හැකි රෝගී තත්ත්වයකි. එහෙයින් නොපමාව ඒ සඳහා ක්‍රියාත්මක වන්න.
උපදේශනය චර්යාත්මක වෙනස්කම්, ඖෂධීය ප්‍රතිකාර, මනෝ චිකිත්සක ප්‍රතිකාර, වෘත්තිමය වශයෙන් කළ හැකි සරල ප්‍රතිකාර ආදී ක්‍රම මඟින් ප්‍රතිකාර ඇරඹිය හැකිය.