නො කිළිටි මිතුදමක අපූර්වත්වය ඔබේ දරුවාටත් හිමිකර දෙන්න

ජුනි 6, 2022

 

ජීවිතයේ සොඳුරුතම කාල පරිච්ඡේදය කුමක්දැයි ඔබ අප කාගෙන් හෝ විමසුවහොත් බොහොමයකගේ නොපැකිළ පිළිතුර බවට පත්වන්නේ පාසල් කාලයයි. ජීවිතයේ බරක් පතළක් සිතට නොඑනා, නිදහස් කෙළිලොල් අවිහිංසක බලාපොරොත්තු පමණක් රැඳි අපූර්වතම කාල පරාසයක් ලෙසින් මේ පාසල් කාලය හැමෝගෙම සිතෙහි සනිටුහන් වීම පුදුමයක් නොවේ.

 

 

පාසල් කාලයේ කළ කී දෑ මෙන්ම එකිනෙකා අතරේ පැවති යාළු මිතුරුකම් ඔබට මතක ද? එකම බත්පත කීපදෙනෙක් අතරේ හරි අපූරුවට බෙදා හදාගෙන භුක්ති විඳි, අනෙකාගේ අඩුපාඩුවක දී නොපැකිළව තමන් සන්තක දෙය පවා නිර්ලෝභීව පිරිනමන්නට ඉදිරිපත් වූ, වැරැද්දක දී පවා එකිනෙකා පාවා නොදෙමින් එකට දඬුවම් විඳි ඒ සුන්දර යුගය මොනතරම් අපූරු ද?

මොහොතක් සිතන්න.... නොකිළිටි සිත් පොඩි තුළ පැලපදියම් වූ ඒ අපූරු සබඳකම් ඇතැම්විට අද දක්වාම ශේෂව පවතිනවා නොවේ ද?

 

වටිනාකම

 

සමහරවිට මේ යහළු යෙහෙළියන් වසර ගණනාවක් නොදැක ඇති. ලංකාවේ විවිධ ප්‍රදේශවලට වෙන් වී, එහෙමත් නැතිනම් විවිධ අවශ්‍යතා සඳහා විදේශගත වී බොහෝ කාලයක් හමු නොවී ඇතුවාට සැකයක් නැහැ. එනමුත් ඉඳහිට හෝ දුරකථන ඇමතුමක් දී සැපදුක විමසන්නට, දුකක් කරදරයක දී පිහිටක් වන්නට, ජයග්‍රහණයක දී සතුටක දී සුබ පතන්නට, ඇවැසිම මොහොතකදී වචනයෙන් හෝ කතා බහෙන් තනි නො කරන්නට ඒ යාළු මිතුරුකම් අපට මොනතරම් වටිනවා ද?

විශේෂයෙන්ම වර්තමානයේ අති ධාවනකාරි යාන්ත්‍රික ජීවිතවලට හුරු වී සිටින ඔබ අප සෑමදෙනකුටම මෙවැනි හිත මිතුරුකම් බොහෝ වටිනවා. ඒ තම ජීවිතයේ විවිධාකාර ආතතියන්, පීඩාකාරි සිදුවීම් මෙන්ම ඒකාකාරී ජීවන රටාවන්ගෙන් යම් අස්වැසිල්ලක්, සහනයක් ලබාගත යුතු නිසාමයි. පීඩාකාරි මානසිකත්වය වෙනස් කරගත යුතු නිසාමයි. එසේ නොවුවහොත් ඒ පීඩනය, ආතතිය පුපුරා ඉමහත් ව්‍යසනයකට මුහුණ දෙන්නට අපට සිදුවනවා නොඅනුමානයි.

 

ආතතිය දුරු කරයි

වර්තමානයේ දී ලංකාව තුළ පමණක් නොව ලෝකය පුරා සියදිවි නසා ගැනීම් අතිශයින් ඉහළ ගොස් ඇති බව ඔබ දන්නවා ද? එම සිදුවීම් සියල්ලක් පිළිබඳ හොඳින් විමර්ශනය කළහොත් දරාගත නොහැකි ආතතිය හරහා එවැන්නකට යොමු වූ බව වැටහේවි. ජීවිතයේ විවිධාකාර හැල හැප්පීම්වලට මුහුණ දීමට ඇති අසීරුව, ඒවා නිසියාකාරව විසඳා ගැනීමට යොමු නොවීම සේම එම ගැටලු තවකකු හා සාකච්ඡා නොකිරීම හරහා මෙලෙස අකාලයේ ජීවිතයෙන් සමුගන්නට බොහෝ දෙනකු පෙලඹී තිබේ. එවැනි අසීරුම අවධියක හොඳ යහළුවකුගේ, යෙහෙළියකගේ එහෙමත් නැතිනම් අසල්වාසියකුගේ, ඥාතියකුගේ ඇහුම්කන්දීමක්, සවන්දීමක් තිබුණා නම් අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට ඉඩකඩ නොතිබේවි.

 

තාක්ෂණ‍යේ උපකාරය

 

වර්තමානයේ තාක්ෂණය අතිශයින්ම දියුණුය. සැතැපුම් දහස් ගණනක දුරබැහැර සිටින පුද්ගලයන් පවා මොහොතකින් දෑස මානයට ගෙන්වීමට තරම් මේ තාක්ෂණය ඉහළයි. එබැවින් ලෝකයේ කොහේ සිටිය ද ඔබට අවැසි මිතුරා, මිතුරිය, නෑ හිතවතුන් සමඟ සමීප සබඳතා පැවැත්විය හැකියි. ෆේස්බුක්, වට්ස්ඇප්, මැසෙන්ජර්, වයිබර්, ඉන්ස්ටග්‍රෑම් ආදී වශයෙන් වූ විවිධාකාර තාක්ෂණික ක්‍රම හරහා තම සැපදුක අනෙකා සමඟ බෙදා හදා ගත හැකියි.

 

භේද නැති ළමා විය

 

ඒවාගේම ඔබේ පුංචි පුතුට, දියණියට ද හොඳ යහළුවන් යෙහෙළියන් ඇසුරු කරන්නට, තෝරා ගන්නට ඉඩ හරින්න. හොඳ යහළුවකුගේ වැදගත්කම කුඩා කාලයේදීම ඔවුනට කියාදෙන්න. පුංචි හිත් මල් වාගෙයි. කිළිටි, කුණු කිසිවක්ම නෑ. උස් පහත් භේද නෑ. ඒ නිසා පුංචි පැටවුන්ගේ යාළු මිතුරුකම් හරිම නිර්ව්‍යාජයි.

හොඳ යහළුවකු යෙහෙළියක හඳුනාගන්නවා සේම එම අපූරු මිතුදම ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු ආකාරයත් දරුවන්ට කුඩා කාලයේ දීම වටහා දෙන්න. මන්ද කුඩා අවධියේ දී මෙන් නොව වැඩිහිටි අවධියේ දී පවත්වාගෙන යන ඇතැම් මිතුදම් බෙහෙවින්ම හානිකරය. විශේෂයෙන්ම දරුවා වරදට පොලඹවාලන, අවස්ථාවාදී මිතුරු ඇසුරෙන් ඔහු මුදවාගන්නට නම් අප සැමවිටම කල්පනාකාරී විය යුතුය.

 

 

සැබෑ මිතුදම

 

සැබෑ මිතුරු මිතුරියන් යනු තම යහළුවාගේ දුකේ දී පිහිටවන, සතුටේ දී සතුටුවන ඔහු සමඟ කිසිදු ඊර්ෂ්‍යාවකින් තොරව ඒ සතුට බෙදා හදාගන්නකු විය යුතුයි. තම මිතුරිය වරදක් කරන්නට පෙර ඒ ගැන සොයා බලා උපදෙසක් සපයන්නට, ඒ ගැන වැඩිහිටියන් හෝ අදාළ පාර්ශ්ව දැනුවත් කර එම වරද සිදු කරන්නට ඉඩකඩ ලබා නොදිය යුතුයි.

එසේ නොමැතිව මිතුරු වෙසින් ආශ්‍රයකර තම යහළුවා හෝ යෙහෙළිය කරනා සියලු වැරැදි නිවැරැදි යැයි පිළිගන්නවා නම් ඔබ හොඳ යහළුවකු නොවේ. ඇයව හෝ ඔහුව සැමවිටම නිවැරැදි කරන්න. තැන තැන එකිනෙකා සමඟ විවේචනය නොකර යහළුවා යෙහෙළිය සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කරගන්නට උපකාරී වන්න. එයයි සැබෑ මිතුදම. එවිට ඔබට ජීවිතයේ සියල්ල අත්හැරීමට සිත් වුවද ආදරණීය මිතුදම අත් හරින්නට, බිඳ දමන්නට කිසිදාක නොසිතේවි.