පාට පාට හීන පේන සුවබර නින්දක්

අප්‍රේල් 3, 2023

ඔබේ චූටි පැටියට ප්‍රශස්ත මානසික මට්ටමක් හා ශාරීරික වර්ධනයක් සඳහා සුවදායි නින්දක් අත්‍යවශ්‍ය බව දන්නවා ඇති.

නින්ද අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්.ඇයි අපිට නින්ද අවශ්‍ය?

නින්ද නිසි පරිදි නොලැබීමට හේතු මොනවද? බබාගෙ නින්ද හොඳින් ලැබෙන්න නම් මවුපියන්ට මොනවද කරන්න පුළුවන් කියලා අපි අද කතා කරමු.

ඇඳට ගියාම නින්ද ළඟා නොවීම සහ නින්ද එක දිගට පවත්වා ගැනීමේ අපහසුව අපි නින්ද නොයෑම කියලා හඳුන්වනවා.

කුඩා දරුවෙක් දිනකට පැය 10 -19 ක් විතර නිදියනවා. මෙය එයා අවස්ථා හතර පහකදී තමයි ලබා ගන්නේ. අවුරුද්දක බබෙක් සාමාන්‍යයෙන් පැය 9 - 12ක් රාත්‍රී ප්‍රධාන නින්දක් සහ දිවා කල කෙටි නින්දකට හුරු වෙනවා. පාසල් දරුවෙක් නම් මේ පැය ගණන ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා නව යෞවනයෙක් වන විට පැය 8 - 10 කාලයක නින්දක් ලබනවා.කුඩා කාලේදි දිවා රාත්‍රී දෙකේම නිදා ගත්ත ළදරුවා ලොකු වෙද්දි ප්‍රධාන වශයෙන් රාත්‍රී නින්දට හුරු වෙනවා. අවුරුදු පහක් විතර වෙනකන් දවල්ට කෙටි නින්ද ලබන්න හුරුවුණු ගොඩක් බබාලා පාසල් පටන් ගත්තායින් පස්සෙ දවල්ට නිදියන එක ගොඩක් අඩු වෙනවා. නැතිනම් සම්පූර්ණයෙන්ම නවතා දමනවා.

රාත්‍රී ආහාරය හොඳින් ලබා දුන් පසු මාස 6 ට වැඩි දරුවන්ට සාමාන්‍යයෙන් පැය හයක් හෝ අටක් නිදා ගන්න පුළුවන්. නමුත් සමහර දරුවන් රාත්‍රියේ ඇහැරලා කිරි ඉල්ලනවා. මේක පුරුද්දක් වශයෙන් වෙන දෙයක්. හොඳින් බඩ පිරුණා කියල දැන දැනත් පුරුද්දක් විදිහට රාත්‍රියට කිරි හොයනවා. මෙය දයාබර මවුවරු තේරුම් ගන්න ඕනේ.

 

ඇයි අපට නින්ද අවශ්‍ය?

අවදි වී සිටින විට මොළයේ ඇතිවන අනවශ්‍ය රසායන ඉවත් වීම ප්‍රධාන වශයෙන් සිදු වන්නේ නින්දේදී. මොළයේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගෙන යෑමට, ස්මරණ ශක්තිය තහවුරු කිරීමට, හානි වූ මොළයේ සෛල අලුත්වැඩියා කිරීමට පළමු අවුරුදු දෙකේදී ලබන නින්ද ශාරීරික වර්ධනයට වැදගත්.

නිදි වර්ජිත වූ විට දක්නට ලැබෙන ලක්ෂණ

* දිවා කල නිදිමත බව

* ඈනුම් යෑම

* මහන්සිය

* කම්මැළිකම

* වැඩට ඇති අවධානය අඩුකම

* තීරණ ගැනීමේ දුෂ්කරතා

* නුරුස්සබව

* කේන්තිය

* හිසරදය

* මස්පිඩු වේදනාව

* පාසල් වැඩවල පසුබෑම

* සමහර දරුවන් තුළ මෙවැනි විටකදී අධික්‍රියාකාරී ලක්ෂණ ද දක්නට ලැබේ.

 

යහපත් නිදි පුරුදු දරුවන් තුළ ඇති කරන්නේ කොහොමද?

* දරුවන්ගේ නින්ද පිළිබඳ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම

* දවසේ අවසන් කාලයේ සැන්දෑ වරුවේ සිට එකම දින චර්යාවකට දරුවා හුරු කරවීම

එසේම නින්ද නොයන රෝග ඇත්නම් ඒවා හඳුනා ගැනීමත් වැදගත්.

යහපත් නිදි පුරුදු ඇති කිරීමට ඔබට කළ හැකි දේ

* ටීවී, ෆෝන්, ලැප්ටොප් ඇතුළු විද්‍යුත් තිර නින්ද ලැබීමට පැය දෙකකට පෙර නිවාදමන්න.

* නිවෙසේ ඇති අධික එළියවන LED බල්බ නිවා දමන්න.

* රාත්‍රියට දත් මද්දවන්න

* රාත්‍රියේ දරුවාගේ ඇඟ සෝදවන්න

* දරුවා රාත්‍රියට අඳින ඇඳුම නියමිත වෙලාවේදී අන්දවන්න.

* රාත්‍රියේදී ළඟ තබා ගැනීමට සුදුසු ටෙඩී කෙනෙක් හෝ වෙනත් සෙල්ලම් බඩුවක් ළඟ තබා ගැනීමට ඉඩ දෙන්න.

* බබාට නිදිමත දැනුණු විට ඇඳට යාමට හුරු කරවන්න. නින්ද ගිය පසු ඇඳට දැමීම නිවැරැදි ක්‍රමය නොවේ. දරුවා නින්දෙන් අවදි වූ විට ද විශේෂ හේතුවක් නොමැති නම් කිරි දී නිදි කරවීම වැනි දේ නුසුදුසුය. එවිට එය පුරුද්දක් ලෙස සිදු වීමට ඉඩ ඇත.

* නිදියගන්න වේලාව නිතිපතා නියමිත වෙලාවේදී සිදු කරන්න.

* ඇඳ නින්ද සඳහා පමණක් යොදා ගන්න. සෙල්ලම් කිරීම, ටීවී, ෆෝන් බැලීම සඳහා ඇඳ සුදුසු නොවේ.

* ගුණාත්මක ආහාර දරුවාට ලබා දෙන්න.

* කැෆේන් අධික කෝපි, තේ, චොක්ලට් වැනි ආහාර පාන නින්දට පෙර ලබා දීම සැප නින්දකට බාධාවකි.

* නින්ද ලබන කාමරය සිසිල්වීම සුදුසුය. අවශ්‍ය නම් පෑන් පාවිච්චි කරන්න.

* නිශ්ශබ්ද පරිසරයක් නින්ද සඳහා වැදගත් වේ. එසේ නොමැති වී නම් ඒකාකාරී ශබ්දයක් ලැබීම හොඳ නින්දකට උදවුකි.එනම් වතුර ගලන ශබ්ද, වැස්ස, ෆෑන් ශබ්ද මේ සඳහා උදාහරණ වේ.

* රාතත්‍රියේදී දරුවා කළුවරට හුරු කරවන්න. එක්වර අපහසු නම් ඩිම් ලයිට් එකක් මුලින් පාවිච්චි කරන්න. රාත්‍රියේදී එනම් කළුවරේදී නින්ද සඳහා අවශ්‍ය වන melatonin හෝමෝනය නිදහස් වන බව සොයාගෙන තිබේ.

* දිවා කාලයේ ක්‍රියාකාරීව ගත කිරීමට ඉඩ දීම රාත්‍රී නින්දකට රුකුලකි. ඒ නිසා දරුවාට අවශ්‍ය පරිදි ක්‍රීඩා සෙල්ලම් ආදී නියැළීමට දවල් කාලයේ ඉඩ දෙන්න.

 

නින්ද නොයෑමට හේතුවන රෝග තිබේද ?

ඔබේ දරුවා ශාරීරික හෝ මානසික රෝගයකින් පෙළේ නම් එය සුව නින්දකට බාධාවක් වීමට ඉඩ ඇත. මෙවැනි තත්ත්වයක් ඇති බවට සැක නම් ඒ සඳහා නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

කෙටිකාලීන හෝ දීර්ඝකාලීන ස්වසන අපහසුතා සැපවත් නින්දකට බාධාවකි. පීනස, නාසය සිරවීම, ඇදුම රෝගය මේ සඳහා නිදසුන් ය. මීට අමතරව දරුවා කවරම හෝ රෝගයකින් පෙළේ නම් එය ද දරුවන්ගේ නින්දට බාධාවකි. රෝගවලට ලබා දෙන සමහර ඖෂධ වර්ග ද නින්දට බාධා පමුණුවයි.

 

නින්දෙන් ගෙරවීම

සමහර දරුවන් නින්දෙන් ගෙරවීම සිදු කළත් නිශ්චලව නිදියයි. එනම් ශ්වසන ක්‍රියාවලියට ඔවුනට නින්දෙන් ගෙරවීම බාධාවක් නොවේ. නමුත් සමහර දරුවන් නින්දෙන් ගොරවන අතරේ නින්දෙන්ම අසහනකාරී ලෙස හැසිරෙයි. ඔබේ දරුවා මෙසේ ගෙරවීම සිදු කරන ගමන් නින්දෙන්ම ඇඳේ දඟලනවා නම් සැරින් සැරේ හුස්ම ගැනීම නවත්වනවා නම් නින්දට බාධා වී නිතර අවදි වෙනවා නම්, දහවල් කාලයේ දී නිදිමතින් පෙළේ නම් මේ තත්ත්වය sleep apnoea රෝගී තත්ත්වය වීමට ඉඩ ඇත. නින්දේදි ශ්වසන මාර්ගය ප්‍රදේශයේ ඇතිවන අවහිරතා නිසා මේ තත්ත්වය ඇති වේ. මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ සහාය ලබා ගැනීම වැදගත්.

ඔබේ දරුවා යම් මානසික රෝගයකින් පෙළේ නම් එයද නින්දට බාධාවක් විය හැකියි. එනම් කලින් සඳහන් කළ පරිදි අධික්‍රියාකාරී දරුවන්, ඔටිසම් දරුවන් මීට උදාහරණ වේ.

 

 

උපදෙස් : කෑගල්ල මහ රෝහලේ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ පීරිස්