දරුවන්ගේ පු ං චි හිසට තෙල් දාන්නේ බලාගෙනයි

දෙසැම්බර් 5, 2022

 

චූටියාට දැන් සති තුනකුත් වෙන්න එනවා.අමල්ගේ අම්මා සමාධිට කිව්වෙම දරුවගේ ඔළුවේ තෙල් ටිකක් ගාන්න.කොණ්ඩේ හොඳට වැවෙයි කියලා. ඒත් සමාධි අහලා තිබුණේ පුංචිම කාලේ දරුවන්ගේ ඔළුවේ තෙල් ගාන්න හදිසි වෙන්න එපා කියලා.

 

බොහෝ පෙරදිග රටවල දරුවන් ගේ හිසට තෙල් දැමීම සාම්ප්‍රදායික සාත්තුවක් ලෙස සිදු කරයි.එසේම සිරුරට තෙල් දමා සමබාහනය කිරීමද බොහෝ පෙරදිග සම්ප්‍රදායන් තුළ පවතී.

නමුත් දරුවන්ගේ හිසට තෙල් දැමීම බටහිර වෛද්‍ය ක්‍රමය අනුව අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ.දරුවන්ගේ හිසේ ස්වාභාවිකවම ඔතෙල් වැනි ද්‍රව්‍යයක් ස්‍රාවය කරන ග්‍රන්ථින් පවතී.නිසි පෝෂණය හා නිසි ලෙස පිරිසුදුව තබා ගැනීම මඟින් මෙම ග්‍රන්ථින් මනාව ක්‍රියාකාරී වී හිසෙහි ස්වාභාවික තෙතමන ස්වභාවය පවත්වා ගනියි.

 

කුඩාම බිලිඳුන්ගේ හිසකෙස් තෙල් දැමීමෙන් වවා ගත හැකි ද ?

කුඩා බිලිඳුන්ගේ හිසකෙස් ස්වභාවයෙන් ම ඉතා සිනිඳු වන අතර වියළි ස්වභාවයක් දක්වයි.මෙවිට හිස කෙස් වැඩීමට යැයි සිතා හිසට තෙල් දැමීම බොහෝ මාපියන් සිදු කරයි.

මෙය ඉතා නිශ්ඵල ක්‍රියාවක් වන අතර දරුවා කෙමෙන් වැඩෙත්ම රෝම කූප පරිණත වීම නිසා නිසි ලෙස හිසකෙස් ස්වභාවයෙන් ම පැමිණේ. කුඩා දරුවන්ගේ පරිවෘත්තිය ශීඝ්‍රතාවය ඉතා අධිකයි.එම නිසා ඔවුන් ගේ සිරුරෙන් අධිකව දහඩිය පිට කරයි.එය දරුවාගේ පරිවෘත්තිය ක්‍රියාකාරීත්වයට සහ වර්ධනයට ඉතා අවශ්‍යයි. දරුවන්ගේ දහඩිය සහ උණුසුම සිරුරෙන් පිට කරන්නේ හිස ප්‍රදේශයෙන් වන අතර තෙල් හෝ වෙනත් ආලේපනයක් යෙදූ විට දරුවාගේ සමේ රෝම කූප සිදුරු වැසී මෙම ක්‍රියාවලියට බාධා සිදු වේ. මෙයින් දරුවා අසහනයට ද පත් වෙයි.

අලුත් උපන් දරුවන්ගේ හිසෙහි ඇති කබොලුමය (Craddle Cap) ස්වභාවය ඉවත් කිරීමට දරුවා නැහැවීමට පෙර ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් වැනි තෙල් වර්ගයක් යොදා සම්බාහනය කර මෘදු දැති සහිත බේබි පනාවකින් පීරීම කළ හැකියි.

 

මදක් වැඩුණු දරුවන්ගේ හිසට තෙල් දැමීම මඟින් සිදු වන වාසි කවරේද ?

තෙල් දැමීම මඟින් සැලකිය යුතු හිස කෙස් වර්ධනයක් සිදු නොවේ.මානසික වර්ධනයක් ඇති නොවේ.සමහර තෙල් වර්ගවල ඇති පෝෂ්‍යදායි සංඝටක හිසේ සම මඟින් අවශෝෂණය කරයි.එමඟින් හිසට පෝෂණයක් ලබා දිය හැකියි. දරුවාගේ හිසට තෙල් දැමීමට අවශ්‍යම නම් එය තෙල් සම්බාහනයක් ලෙස සිදු කළ යුතුය.

නමුත් මේ ලෙස හිසට දමන තෙල් වර්ගවල පෝෂණ සංඝටක හිසට අවශෝෂණය වීමට ගත වන්නේ පැය භාගයක් පමණ කාලයකි.මේ නිසා තෙල් හිසේ දින ගණන් තැබීම අවශ්‍ය නැත. එසේ ම එය සුදුසු ද නැත.

 

දරුවකුට තෙල් සම්බාහනයක් කරන්නේ කෙසේද ?

අවශ්‍ය නම් පමණක් මෙය සතියට දවසක් හෝ දෙකක් පමණ කළ හැකියි.

අවුරුද්දට අඩු දරුවන්ට නම් ඉතාම මෘදු ලෙස විනාඩි දහයක් පමණ ද අවුරුද්දට වැඩි දරුවන් ට විනාඩි තිහක් දක්වා ද හිසට තෙල් දමා සම්බාහනය කළ හැකියි.

දරුවා නෑවීමට පැයක් - පැය 1/2 පමණ තබා තෙල් දැමීම කළ යුතුයි.

 

දරුවන් ගේ හිසට දැමිය හැකි තෙල් වර්ග මොනවා ද ?

ගෙදර හිඳගත් පිරිසුදු පොල් තෙල්

පිරිසුදු ආමන්ඩ් තෙල්

ඔලිව් තෙල්

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ