ළමා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට උපක්‍රමශීලී වෙමු

මැයි 12, 2025

මෑතකදී වාර්තා වූ සිදුවීමක කියවුණේ විදේශගතව සිටි මවක විසින් ලංකාවේ අධ්‍යාපනය ලබමින් සිටි තම පිරිමි දරුවාට උපකාරක පන්ති ගුරුවරයා විසින් සිදුකරමින් තිබූ ලිංගික අතවරය පිළිබඳ දැනුම්වත් විමෙන් පසු ඇය ඉතා උපක්‍රමශීලීව එම ගුරුවරයා නීතිය ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කර තිබූ ආකාරයයි. ඇය දරුවාගෙන් මේ බව දැන ගැනීමෙන් පසුව කිසිදු කලබලයකින් තොරව මෙරටට පැමිණ අදාළ ගුරුවරයා ඇසින් දුටු සාක්ෂි සමඟම හසුකර ගැනීමට සමත් වී ඇත.

 

මෙවැනි යමක් දැන ගත් විට, මවුපියන්, වැඩිහිටියන් අනවශ්‍ය කලබලයක් සිදු කර ප්‍රසිද්ධියට පත් කරන ආකාරය දැක ගත හැකිය. එමෙන්ම අපරාධකරුට ප්‍රසිද්ධියේ පහර දීම, නිවාස, දේපළ විනාශ කිරිම්වලට පවා පුද්ගලයින් පෙළඹෙන අවස්ථා දැකිය හැක. මෙබඳු හැසිරීම් අපරාධකරුට සැඟවී සිටීමට වාසියක් වනු ඇත. එමෙන්ම වින්දිත දරුවාගේ පවුලේ සාමාජිකයන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් වි වරදකරුවන් විමෙන් නියම අපරාධය හා අපරාධකරුවා සැඟවි යා හැකිය. මේ නිසා විශේෂයෙන් දරුවකුට අපරාධයක්, අතවරයක් සිදු වන අවස්ථාවලදී මවුපියන්, භාරකරුවන් ඉතා සූක්ෂම ලෙස නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත සාක්ෂි සහිතව අපරාධකරු හසු කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දිය යුතුය. සමහර දරුවන් තම පවුලේ සාමාජිකයන් අතින් අතවරයන්ට ලක් වේ. එබඳු අවස්ථාවලදී මේ බව දරුවන් සැල කර සිටින්නේ පාසලේ ගුරුවරයාට, තම හොඳම යෙහෙළියකට හෝ වෙනත් විශ්වාසවන්ත පිටස්තර පුද්ගලයන්ටය. පාසල් ගුරුවරුන් විසින් දරුවන් සමඟ ඉතා සමීපව කතාබස් කර එබඳු සිදුවීම් හෙළි කරගෙන දරුවන්ට යුක්තිය ඉටු කිරීමට සහාය වූ අවස්ථා අසන්නට දකින්නට ලැබී තිබේ.

මෙබඳු සිදුවීමක් පිළිබඳ දැනගත්විට අප විසින් වැඩිහිටියන් වශයෙන් සිදු කළ යුත්තේ කුමක්ද? හැකි ඉක්මනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් එහි ඇති ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිල්ලක් ගොනු කිරීම ගත යුතු හොඳම පියවරයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් මෙහෙයවනු ලබන 1929 ළමා උපකාරක සේවාවට දුරකතන මාර්ගයෙන් පැමිණිල්ලක් කිරීම ද සිදු කළ හැකිය.එහිදීද සිදුවන්නේ අදාළ පොලිස් බලප්‍රදේශයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත එම පැමිණිල්ල යොමු කිරීමයි. මීට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ග්‍රාම සේවා නිලධාරිනිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනියුක්තව රාජකාරි කරන ළමා ආරක්ෂණ නිලධාරීන් වෙත මේ සම්බන්ධ සැල කිරීම කළ හැකිය. බොහොමයක් වැඩිහිටියන් දරුවන් රැගෙන පොලිස් ස්ථානයට යාමට මැළිකමක් දක්වයි. නමුත් එය තවත් අපරාධ සිදු වීමට හා වින්දිත දරුවා තවදුරටත් පීඩනයට පත් වීමට හේතුවක් වනු ඇත. මේ වනවිට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ සාමාන්‍ය පොලිස් ස්ථානයෙන් මඳක් බැහැරව දරුවන්ට හිතකර වටපිටාවක් සහිතව ස්ථාපනය කර තිබෙන ආකාරය දැකිය හැකිය. මේ නිසා දරුවකුට අපරාධයක් සිදු වන බව දැනගත් විගස හෝ දුටු විගස ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුම්වත් කිරිමට පියවර ගැනීම වැඩිහිටි අපගේ වගකීමක් බව සිතට ගතයුතු වේ.