රැකියාවට යන ඔබේ, ඒකාකාරී දිවියට වෙනසක් ඇති කර ගන්නේ කොහොම ද?

ජුනි 30, 2021

 

ඉස්සර වගේ නෙවෙයි වර්තමාන සමාජයේ සැමියා වගේම බිරියත් රැකියාවට යනවා. පවුලේ ආර්ථිකයට හරි හරියට උර දෙනවා. හැබැයි පවුල කියන සංකල්පය ඇතුළේ බිරිය කියන භූමිකාව රැකියාව නිසා වෙනස්කර ගන්න ඔබට බැහැ. පවුලේ සාමය, ආදරයට කාන්තාවගේ රැකියාව හරස් කර ගන්නත් හොඳ නැහැ.

ඔබත් රැකියාවක් කරන බිරියක් නම් කොහොමද ඔබේ සැමියා එක්ක හොඳ සම්බන්ධතාවය පළුදු නොවී ආරක්ෂා කර ගන්නේ..

ඔබත් රැකියාව නිසා ඇතැම් විට සැමියාගේ සැකයට සහ අවිශ්වාසයට ලක් වෙනවා ඇති. පවුලේ අසමගිය සහ සතුට අහිමි කරවන එවැනි ගැටලුවලට ද තරුණී ඔබට සහය වීමට සූදානමින් සිටිනවා.

ලියන්න ඔබේ ගැටලුව තරුණී ට.

අපගේ ලිපිනය,

 

කියන්න බැරි දේ ලියන්න

තරුණී ලේක් හවුස්

කොළඹ 10

ප්‍රශ්නය

මම 31 හැවිරිදි කාන්තාවක්මි. විවාහ වී වසරක් පමණ වනවා. අප විවාහ වූයේ වසර දෙකක ප්‍රේම සම්බන්දයකිනි. සැමියත් මමත් පෞද්ගලික ආයතන දෙකක රැකියා කරනවා. උදේ පාන්දරම නිවෙසින් පිටවන අප දෙදෙනා නිවෙසෙට පැමිණෙන්නේ බොහෝ රෑ වීලයි. ආපු ගමන් රාත්‍රී ආහරය ගෙන ඉක්මනින්ම නින්දට යනවා. සෑම දිනකම සිදු වන්නේ මේ එකම සිදුවීම් පෙළයි. ඒ නිසා විවාහ දිවිය දැන් මා හට නීරස වෙමින් තිබේ. විවාහ වීමට පෙර අප දෙදෙනා තුළ තිබූ ආදරය, සෙනෙහස දැන් අඩුව ගොසිනි.

දිගින් දිගටම මෙසේ වීමෙන් මට ඔහුව එපා වෙයි කියා සිතට බයක් දැනෙනවා. රැකියා කරන අඹුසැමියන් ජිවිත කාලය පුරාවට සතුටින් සිටිනවා මම දැක ඇත්තෙමි. මා දන්නා හඳුනන එවන් අය ද සිටියි. නමුත් මා හට පමණක් මෙසේ වන්නේ මාගේ ගැටලුවක් නිසා ද? මා හට උපදෙසක් ලබා දෙන්න.

කොලොන්නාව - මධූෂා

පිළිතුර

 

ඒකාකාරී දිවි පෙවෙතක් ගෙවන ඔබට ජීවිතය නීරස වීම පුදුම වීමට කරුණක් නොවේ. සැමියත් බිරියත් රැකියා කරන බොහෝ නිවෙස්වල මේ තත්ත්වය පවතී. එදිනෙදා සිදුවන ඒකාකාරී සිදුවීම් මාලාවට අලුත් අලුත් දේවල් එකතු කරගන්න. ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරන්න. ඔබේ මේ අලුත් වෙනස් වීම සැමියාගෙන් නව ආදරයක් ලබන්න හේතුවක් වේවි.

 

නොසිතූ අවස්ථාවක දුරකථන ඇමතුමක් ලබා

 

 

සමහර වෙලාවට ඔබ රැකියාවට යන්න ගෙදරින් පිටත් වෙන්නෙ පාන්දරින්. නැවත ගෙදර යනකොට රෑ බෝ වෙලා. සැමියා සහ ඔබ අතර සන්නිවේදන ගැටලුවට පිළියමක් වගේම වගේම සැමියා සහ ඔබ අතර ආදරය වර්ධනය කර ගන්නත් මේ අනපේක්ෂිත දුරකථන ඇමතුම හේතුවක් වේවි. නමුත් මේ කියන්නේ හැමදාම කෑම පැයේ දෙන දෛනික ඇමතුම නම් නෙවෙයි. ඉඳහිට දවසක සැමියා බලාපොරොත්තු නොවන මොහොතක ඇමතුමක් ලබා දී ඔබ ඔහුට ආදරේ බව පවසන්න. ඔහු ළඟ නැතුව පාළු බව පවසන්න. නැවුම් ආදරයක් ඔහුට ඔබ ගැන දැනේවි.

 

කෙටි සටහනක් ලියා තබන්න.

රැකියාවේ ගතවෙන දවස් එක්ක ඔබේ සැමියාට හා ඔබට වෙනදා මෙන් සතුටු සාමීචියන් පසු වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා ඔබේ සම්බන්ධතාවය පළුදු වෙන්න දෙන්න එපා. සැමියාට ඇස ගැටෙන ස්ථානයක, ඔහුගේ දිවා ආහාර පාර්සලය තුළ, ඔහුගේ පොකට්ටුව තුළ, කාර්යාල බෑගය තුළ එහෙමත් ඔහුගේ වාහනයේ. එවැනි තැන්වලින් එකක ඔබේ ආදරය සටහන් කර පුංචි සටහනක් තබන්න. නාන කාමරයේ කැඩපත වුත් මේ සඳහා යොදාගන්න ඔබට පුළුවන්. ඒ පුංචි සටහන ඔබ ළඟ නැති උනත් සැමියාගේ හිත ආදරයෙන් පුරවන්න සමත් වේවී.

 

දින භාගයක නිවාඩුවක් ගෙන ඔහු හා රැ‍ෙඳන්න.

 

රැකියාවක් කරන කාන්තාවන්ට නිවාඩු කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නම් නෙවෙයි. නමුත් ඔබ නිතරම නිවාඩු ගන්නේ පවුලේ කටයුතු හෝ දරුවන්ගේ කටයුතු ආදියට නේද? මේ කියන්නේ එහෙම

 

 

 

නිවාඩුවක් ගැන නම් නෙවෙයි. ඉඳහිට දවසක ඔබට හා සැමියාට වැඩ අඩුම දිනයක් සොයා දවස් බාගයක් නිවාඩු ගන්න. ඒ විවේකයේදී සැමියා සමඟ රැඳෙන්න. විශේෂ කෑම වේලක්, විශේෂ අතුරුපසක් සකසාගෙන සැමියා සමඟ රස විඳින්න. නිදහසේ සැමියා සමඟ කතා බහේ යෙදෙන්න. ඔබට වගේම ඔබේ සැමියාටත් නැවුම් අත්දැකීමක් ලැබේවි.

 

රාත්‍රී ආහාරය විශේෂ කරන්න.

 

රැකියාව කරන කාන්තාවකට නිවෙසේ රැඳී ඉන්න පුළුවන් දවසෙන් බොහොම පොඩි කාලයයි. ඒ කාලයත් බොහෝ විට රාත්‍රී කාලය. සැමියා හා ඔබ එක්ව ගන්න දවසේ එකම ආහාර වේල බොහෝ විට රාත්‍රී ආහාර වේල වෙන්න පුළුවන්. මේ රත්‍රී ආහාර වේලට විශේෂයක් කරන්න හැකිනම් සැමියා සමඟ සම්බන්ධය නොබිඳී තියාගන්න ඔබට පුළුවන්. සැමියා කැමැතිම ව්‍යංජනයක් හෝ වෙනත් සුළු ආහාරයකින් ඒ විශේෂත්වය ඇති කරන්න පුළුවන්.

 

නියමිත වේලාවට වඩා විනාඩි පහළොවක් කලින් අවදි වෙන්න.

 

උදෑසන කියන්නේ බොහොම කාර්යබහුල වෙලාවක්. උදෑසන වැඩකටයුතු එක්ක සැමියා සමඟ කතා කරනවා තියා මූණ බලන්නවත් ඔබට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඔබ උදෑසන අවදිවෙන්න එලාම් එක තියනවානම් ඔබට අවදි වෙන්න අවශ්‍ය වෙලාවට වඩා විනාඩි පහළොවක් කලින් එලාම් එක තියන්න. ඔබට ලැබෙන මේ අමතර පැය කාල ඇඳේ සිටියදීම සැමියා සමඟ දවසේ ඔබේ හා ඔහුගේ වැඩ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට යොදාගන්න. එකිනෙකා කෙරෙහි ආදරයත් විශ්වාසයත් හොඳින් ගොඩ නැංවීමට මේ අමතර විනාඩි පහළොව තුළදී එමඟින් ඔබට හැකි වේවි.

 

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය
කපිල රණසිංහ