මේ කාලේ උණට ගෙදරදීම අත්බෙහෙත්

ජුනි 9, 2025

 

සාමාන්‍ය උණ තත්ත්වයකට වඩා අධික ලෙස ඇඟපත වේදනා දීම, නාසයෙන් සොටු දියර ගැලීම, පපුවේ වේදනාව, ස්නායු වේදනා සහ හිසේ ඇතිවන තදබල කැක්කුම් ස්වභාවය මේ උණ තත්ත්වය එක්ක ඇතිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සිදුකෙරෙන ප්‍රතිකාරවලට පවා අඩුනොවෙන විදිහේ ශරීරයේ වේදනා තත්ත්වයක් තමයි මේ උණ එක්ක ඇතිවෙලා තියෙන්නෙ.

 

ඔබට මේ උණ රෝගී තත්ත්වය ඇතිවෙලා තිබෙනවා නම්,

 

1. පළමු වැනි ප්‍රධාන දේ විදිහට ශරීරයට හැකිතාක් විවේකය ලබාදෙන්න. වෙනදා සිදුකරන වැඩකටයුතු කරන්න කොහෙත්ම යන්න එපා.

 

2. බඩටත් විවේකයක් ලබාදෙන්න.

 

ඒ් කීවේ උණ හොඳ වෙන්න කියලා හිතලා ගොඩක් කන අයට. අපේ ශරීරය උණ රෝගය මට්ටු කරන්න වෙහෙස වෙන අතරේ බරින් වැඩි තෙල් අධික ආහාර දිරවන්න ශක්තිය වැය කරන්න දෙන්න එපා. මේ නිසා පුළුවන් තරම් සැහැල්ලු ආහාර වර්ග කෑමට සහ බීමට ගන්න.

 

මොනවාද ඒ ආහාර වර්ග

 

ලුණු කැඳ

 

උණ රෝගී තත්ත්වයක්දී ඔබට ගන්න පුළුවන් දිව්‍යමය ඖෂධයක් තමයි මේ.

 

තැම්බුම් හොදි -

 

ඔබේ ශරීරයේ තිබෙන සියලුම වේදනාවන් ටිකින් ටික නැතිකරලා දාන්න මේ ආහාරයට පුළුවන්කම තියෙනවා. මීට අමතරව ඔබ බත් ආහාරයට ගන්නවා නම් ගන්න අවශ්‍ය හොඳි වර්ගයක් වගේ දෙයක් එක්ක ආහාරයට ගන්න. දිරවීම හැමවිටම පහසු කරවන්න උත්සාහ කරන්න.

 

උණ රෝගය හැදිලා තියෙන ඔබ

 

මදුරුතලා කොළ මිටක්,

ගම්මිරිස් ඇට තුන හතරක්,

දෙහි හෝ ලෙමන් කැබැල්ලක්,

මී පැණි ටිකක්,මදුරුතලා කොළ මිටට ගම්මිරිස් ඇට කිහිපයත් තළලා දමන්න. එයට වතුර කෝප්ප දෙකක් දමා එක කෝප්පෙකට හින්දවා නිවෙන්න තියන්න. ඉන්පසු එයට ලෙමන් හෝ දෙහි යුෂ මේස හැඳි දෙකක් විතර එකතුකරලා මී පැණි මේස හැන්දකුත් එකතුකරලා බීමට ගන්න. මේ පානය දිනය පුරාවට වරින්වර බොන්න පුළුවන් වෙන විදියට සකස් කරගෙන සාදාගන්න.

 

ඉතාමත් ගුණදායක ප්‍රතිකාරයක් වෙන මේ ප්‍රතිකාරය මඟින් ඔබට දින ගණනාවක් වද දුන්න උණ රෝගී තත්ත්වය පහව යනවා වගේම ශරීරයේ කැක්කුම් ස්වාභාවයත් නැතිව යන හැටි අනිවාර්යයෙන්ම අත්දකින්න හැකිවේවි.

 

ඒ වගේම කබලේ බැදගත්ත කොත්තමල්ලිවලට ඉඟරු සහ වියළි කහ තේ හැන්දක් විතර එකතුකරලා තම්බලා ඒකත් දිනය පුරාවට බීමට ගන්න. උණ සමඟ ශරීරය විජලනය වෙන එක වළක්වාගන්න පිපාසය සංසිඳුවන පානයක් විදියටත් ඔබේ නාසයේ සිර ගතිය ඉවත්කරගන්නත් මේ පාන වර්ග දෙකම ඉවහල් වේවි.

 

නමුත් මේ පාන වර්ග දෙකෙන් වඩාත් ප්‍රතිඵලදායක වෙන්නෙ මදුරුතලා හෙවත් තුල්සි කොළ පානය තමයි.

 

ඒ වගේම අත්බෙහෙත් මේ විදියට සඳහන් කළත් ඔබට උණ රෝගයට වගේම එය සුවවීමෙන් පසුව පවතින ආහාර අරුචිය , ඇඟපත රිදීම්, මල බද්ධය වගේ තත්ත්ව වලට වලටත් අවශ්‍ය ආයුර්වේදීය ප්‍රතිකාර ඔබට ආසන්නම රජයේ ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයෙන් ලබාගත හැකි බවත් මේ එක්කම මතක් කරනවා.