වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
සුව ගෙනෙන එළවළු පලතුරු

2025 ජාතික පෝෂණ මාසය නීරෝගිමත් ශ්‍රී ලංකාවක් සඳහා එළවළු හා පලතුරු පරිභෝජනය ඉහළ නැංවීම දිරිමත් කිරීමට කටයුතු කරයි.
පෝෂණය වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජනය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වාසිද අත්කර දෙමින් නීරෝගි ජනතාවක් බිහිකිරීමට දායක වේ. ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය, අධිපෝෂණය සහ ක්ෂුද්‍ර පෝෂක ඌනතා යන විෂම පෝෂණයේ ත්‍රිත්ව ආකාරයන්ට මුහුණ දෙමින් සිටියි.
අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලබන ප්‍රතිඔක්සිකාරක හා ආහාරමය තන්තුවලින් පොහොසත් එළවළු හා පලතුරු දිනපතා පරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය ප්රතිලාභ රැසක් ලැබේ. තවද මෙම ආහාර කාණ්ඩයෙන් ඔක්සිකරණය මඟින් සෛලවලට සිදුවන හානිය වළක්වා නිදන්ගත බෝනොවන රෝග (හෘදය හා රුධිරවාහිනී ආශ්රිත රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්) සෑදීමේ අවදානම අඩුකරයි. තන්තු බහුලව ඇති එළවළු හා පලතුරු අනුභව කිරීමෙන් ඉක්මනින් කුස පිරුණු බව හැඟීම තුළින් සිරුරේ බර පාලනයට උපකාරී වීම රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සහ ආහාර ජීරණ පද්ධතියේ නීරෝගි බව වැඩි දියුණු කිරීමට ඉවහල් වේ.
1.'දිනකට පස් වර්ගයක්' පුරුද්ද අනුගමනය කරන්න.
එකතුව වර්ග පහක් වන ලෙස දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග දෙකක් පරිභෝජනය කරන්න.
2. එළවළු සහ පලතුරු සකස් කිරීමේදී ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂාව වන අයුරින් අවම ලෙස සකස් කර ගැනීම සිදු කරන්න.
*හැකිතාක් එළවළු හා පලතුරු අමුවෙන් හෝ සලාද ලෙස ආහාරයට ගන්න.
*පිළියෙල කිරීමේදී තෙල් සීනි ලුණු අඩු ප්‍රමාණයක් එකතු කරගන්න.
*අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවීමට නැවුම් එළවළු හා පලතුරු භාවිත කරන්න.
3. සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ( Snacks) වශයෙන් එළවළු හා පලතුරු ආහාරයට ගන්න.
*තෙල් සීනි ලුණු සහිත කෙටි ආහාරවලට වඩා එළවළු හා පලතුරු කෙටි ආහාර ලෙස ගත යුතුය.
*සීනි යෙදූ පලතුරු යුෂ වලට වඩා නැවුම් කැපූ පලතුරු යුෂ ගතයුතුය.
4. දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පලතුරු තෝරාගන්න වසරේ එක් කාලයකදී හටගන්නා එළවළු හා පලතුරු ස්වාභාවිකව තුලනය වූ පෝෂ්‍ය පදාර්ථ සපයනු ලබන අතර ආහාර වේලේ විවිධත්වය වැඩිකරයි.
සෞඛ්‍ය සම්පන්න නිතර ආහාරයට නොගන්නා පෝෂ්‍යදායී විකල්ප රට තුළ ඕනෑම ප්‍රදේශයකින් පහසුවෙන් සොයාගත හැකියි.
පලතුරු
ලොවි, උගුරැස්සා, වීර, පලුං මාදං, වෙරළු, නමි නං, කරඹ, ඇඹරැල්ලා, මොර, ගඩු ගුඩා, ඩොංගා, ගල් සියඹලා, ජම්බු, බිලිං, අන්දර
එළවළු
කෙසෙල් බඩ, අලු කෙසෙල් ලෙලි, වැටකොළු ලෙලි, දිය ලබු, අළු පුහුල්, චව් චව්, කෙසෙල් මුව
පලා වර්ග
රාබු කොළ, නෝකෝල් කොළ, වට්ටක්කා දලු, කොළකේශියා, පැෂන් කොළ, තෙබූ, ජපන් බටු කොළ, තම්පලා, ඇඹරැල්ලා කොළ, මෑ කරල් දලු, කෝප්ප කොළ, අඟුණ කොළ, මොනර කුඩුම්බිය, මඤ්ඤොක්කා කොළ
විශේෂ ස්තුතිය
සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයට