කෑ යුතුම එළවළු පලතුරු

ජුනි 16, 2025

 

පෝෂණ මාසය යෙදී ඇත්තේ ජුනි මාසයටයි. මෙවර එහි තේමාව වන්නේ 'එළවළු පළතුරු සුවදෙයි නිරතුරු' යන්නයි.

පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන් පෝෂණය සම්බන්ධ ත්‍රිවිධ ආකාරයක ගැටලුවලට මුහුණ දෙයි. මින් කොටසක් පෝෂණ ඌනතාවයෙන් හෙවත් මන්ද පෝෂණයෙන් පෙළෙයි. මොවුන් අඩුබර, කෘශභාවය, මිටිභාවයෙන් දක්නට ලැබේ.

එසේම තවත් කොටසක් ක්ෂුද්‍ර පෝෂක ඌනතාවෙන් (විටමින්, ඛනිජ ලවණ අඩුකම) පෙළෙයි.

තවත් කොටසක් අධිබර හෙවත් ස්ථූලතාවයෙන් පෙළෙයි.

මේ තුන් ආකාරයෙන්ම ඇති විෂම පෝෂණ තත්ත්වයට එළවළු සහ පළතුරු පරිභෝජනය වැඩි කිරීම කදිම විසඳුමකි.

 

එළවළු පලතුරු පරිභෝජනයේ වාසි
 

  • සෞඛ්‍යයට වන හානි අවම කරගැනීමට හැකි වේ.
     
  • බෝ නොවන රෝග හැකි තරම් අඩු කරගත හැකි වේ. ඒ ඊට බලපාන ආහාරවලින් ඈත් වන නිසයි.
     
  • එළවළු සහ පලතුරුවලින් ශරීරයට හිතකර විටමින්, අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ආදිය ලැබෙන බව ඔබ කවුරුත් දන්නා කරුණකි.
     
  • එහි අඩංගු තන්තු පෝෂණය කෙරෙහි විශාල කාර්යභාරයක් ඉටුකරයි. ආහාරවල අඩංගු තන්තු නිසා කුස පිරුණු ස්වභාවයක් ගෙන දෙයි. මේ නිසා අප ආහාරයට ගන්නා ප්‍රමාණය සීමාසහිත වෙයි. මලබද්ධය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු බොහොමයක් මින් අවම වේ.
  • රෝග නිවාරණයට මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධනයටද එළවළු සහ පලතුරු ආහාරයට එකතු කිරීම අත්‍යවශ්‍ය වේ.
     
  •  
  • පිළිකා ආදිය වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක මින් ලැබේ.
     
  • මිල අධික වීම තවත් හේතුවකි. පලතුරුවලට වැය කරන මුදලට වඩා අඩු මුදලකින් වෙනත් ආහාරගත හැකිව ඇති විටදී එවැනි ආහාර සඳහා හුරුවීම අරුමයක් නොවේ.
     
  • වැඩිහිටියන් කෙරෙන් දැකගත හැකිව තිබූ බෝ නොවන රෝග දැන් දරුවන් අතරද තිබේ.
    මෙම ආහාර රටාව නිසා බර පාලනය කර ගැනීමද පහසු කටයුත්තක් නොවේ.
     
  •  
  • කුඩා කාලයේ තෙල්, ලුණු, සීනි අඩංගු ආහාර කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වන්නේ නම් එම කැමැත්ත දිගින් දිගටම පවත්වාගෙන යයි. එළවළු, පලතුරු කෙරෙහි කැමැත්තක් දැක්වූයේ නම් එය වැඩිහිටි විය දක්වාම පවත්වාගෙන යයි.
     
  •  
  • ඝර්ම කලාපීය රටක් වන අප රටේ එළවළු පලතුරු හොඳින් වගා කළ හැකි වේ. ඒ ඒ වාරයන් සඳහා සුලභ වන එළවළු, පලතුරු ඒ ඒ කාලවලදී අනුභව කිරීමේ හැකියාව තිබේ.
  • එළවළු, පලතුරු ආහාරයට නොගෙන සිටීම නිසා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත නොයෙකුත් රෝගවලට මුහුණ දෙයි. ආම්ලිකතාව හෙවත් ගැස්ට්‍රයිටීස් තත්ත්වය, බඩවැල් ආශ්‍රිත පිළිකා ආදිය ආහාර රටාව නිසා අප වෙත ආ රෝග වර්ග ලෙස නම් කළ හැක.

 

දිනකට පස් වර්ගයක්

  • දිනකට එළවළු වර්ග දෙකයි, පලා වර්ගයයි, පලතුරු වර්ග දෙකයි යනාදී වශයෙන් පස් වර්ගයක් අඩංගු කරගත යුතුයි.
     
  • මේවා විවිධ පැහැයෙන් යුතුව එක් කර ගැනීම වඩාත් සුදුසුයි.
     
  • අනෙක් එළවළු වර්ගවලට සාපේක්ෂව පලා වර්ග මිලෙන් තරමක් අඩු නිසා ආහාර වේලට
    එක් කරගැනීම පහසු වේවි.
     
  •  එළවලු සහ පලතුරු පරිභෝජනය කිරීමේදී ඒවායේ පෝෂණ ගුණය රැකෙන පරිදි සකස් කිරීමට වග බලාගත යුතුවේ.
     
  •  ආසියාතික අපි එළවළු වර්ග බොහෝ වේලාවක් පිස කෑමට ගැනීමට පුරුදුව සිටින්නෙමු. අමුවෙන් සලාද ලෙස කෑමට, ස්ටීම් කර කෑමට හුරුව සිටින්නේ අඩුවෙනි. පලා වර්ග එකතු කර ගැනීමේ දී ඊට දෙහි යුෂ එක්කර ගැනීමෙන් යකඩ අවශෝෂණය වැඩි කරගත හැකියි.
     
  •  එළවළු කෙටි ආහාරයක් ලෙස ගැනීම අපිට තවමත් ආගන්තුක වූවකි.
  •  එළවළු පිසින විට ඉතාම කෙටි වේලාවක් ගැනීම සුදුසු වේ. එයින් පෝෂණ ගුණය වඩ වඩාත් රැකේ. ලුණු, තෙල් අවම වශයෙන් එක් කරන්නේ නම් එයින් ද සෞඛ්‍යාරක්ෂිත බව රැකේ. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවන පරිදි මේවා පිළියෙල කරගත යුතුයි.
     
  •  පලතුරු ආහාරයට ගැනීමේ දී හැකි තරම් එහි ස්වභාවික රසයට ඉඩ දිය යුතුයි. ඊට ලුණු, සීනි ආදිය එක් නොකිරීමට උත්සාහ ගත යුතුයි.
     
  •  දවසේ ප්‍රධාන තුන්වේලට අමතරව කෙටි ආහාර ගැනීමට ඇතැමුන් පුරුදුව සිටියි. මේවා බොහෝ විට ක්ෂණික ආහාරයි. ක්ෂණික ආහාර වෙනුවට පලතුරු කැබලි කපා කෑම පළතුරු යුෂ බීමට ගැනීම වඩාත් සුදුසුයි. පළතුරු යුෂ පිළියෙල කිරීමේදී ලුණු, සීනි වැඩිපුර එකතු කිරීම අවශ්‍ය නොවේ.
     
  •  පළතුරු යුෂට වඩා පළතුරු කැබලිවලට කපා කෑම වඩාත් පෝෂ්‍යදායී වේ.
     
  •  දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පළතුරු සඳහා හුරුවන්න. මිල අධික පලතුරුවලට නොයා දේශීයව අඩු වියදමෙන් සපයා ගත හැකි ඉතාම ගුණදායී පලතුරු (වෙරළු, ලොවි, නමිනං, රඹුටන්, මාදං, කරඹ, වීර, පලු, ඩොංගා, ගල්සියඹලා, බිලිං.....) වර්ග තිබේ. මේවා සපයා ගැනීමට ඇති දුෂ්කර බව නිසාම ඇතැමුන් කෙරෙන් ඈත්ව පැවතියත් ඒවා රසයෙන් සහ ගුණයෙන් ඉතාම ඉහළ මට්ටමක පවතී.
     
  •  බැලූ බැලූ අත හරිත පැහැයෙන් යුතු අප රටේ ඕනෑ තරම් පලා වර්ග තිබේ. දිනකට එක් පලා වර්ගයක් හෝ ආහාරයට එකතු කරගැනීම සැලකිල්ලෙන් කළ යුතුවේ.
     
  •  විවිධත්වයෙන් යුතුව මෙම එළවළු සහ පලතුරු වර්ග පරිභෝජනයට ගන්නට ශ්‍රී ලංකා වාසි අපට හැකියාව ලැබී තිබේ.
     
  •  අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය සංඝටක විවිධත්වයෙන් යුතුව ලබා ගැනීමට, විවිධත්වයෙන් යුතු එළවළු, පලතුරු වර්ග පරිභෝජනයටගත යුතුවේ.
     
  •  එළවළු සහ පලතුරු සිත්ගන්නා ආකාරයෙන් යුතුව පිළිගැන්වීම තුළින් දරුවන් ඒ කෙරෙහි ආසක්ත වේ.
     

 

උපදෙස්:
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය
මොනිකා විජේරත්න
පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය
අරුන්දිකා සේනාරත්න