Doctor door

ජූලි 14, 2025

ඔබේ ගැටලුව අපට එවන්න

 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවන ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

උපදෙස්,

මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

 

පොදු ස්ථාන ගැන බියක්

මට අවු:18කි. මා මිනිසුන් ගොඩක් ඉන්න තැන්වලට යාමට අධික බියක් වගේම ලජ්ජාවක් දක්වනවා. එමෙන්ම ආවේගශීලී බවක් මෙන්ම වෙනත් අයගෙ අවධානය යොමු වන විට තද ආතතියක් වැනි හැඟීමක් දැනෙනවා. එම නිසාවෙන් මම මිනිසුන් ගොඩක් ඉන්න අවස්ථාවන් හිතාමතාම මඟ හරිනවා. මේ රෝගී තත්ත්වය කුමක් විය හැකිද?

 

මෙම රෝග ලක්ෂණ ගත් විට සමාජ භීතිකාවේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ. සමාජ භීතිකාව යනු යම් පුද්ගලයකුට සමාජ තත්ත්වයන් තුළ සිටින විට තමාව අවධානයට ලක් වී මිනිසුන්ගේ කතාවට ලක් වන බව පිළිබඳ ඇතිවන අධික භයක් සහ අතතියකින් පිඩා විඳින මානසික රෝගී තත්ත්වයකි. මෙම තත්ත්වය තුළ පීඩාවට ලක්වන පුද්ගලයා මිනිස්සු අසල කතා කිරීමට, යමක් ඉදිරිපත් කිරීමට, කෑම ගැනීමට වැනි ක්‍රියාවලින්ට බිය වේ. මෙහිදි තමාව විවේචනය වේ හෝ ලජ්ජා වේ යන හැඟීම් පුද්ගලයාගේ සිත තුළ ඇති වේ. එම නිසා එවැනි අවස්ථාවලින් වැළකී සිටිමට හෝ පලා යාමට උත්සාහ කරන අතර එසේ නොමැති වු විට බරපතළ ආතතියකට ඔවුන් ලක් වේ.

මේ සාමාන්‍ය ලජ්ජාවකට වඩා තද දිගුකාලීන තත්ත්වයක් වන අතර පුද්ගලයාගේ දෛනිකව ජීවිතේට ද මෙය බලපායි. වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

 

*****************

උනන්දුව අඩුයි

 

මම 25 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මසක පමණ කාලයක් සිට මා හට නින්ද නොයාම, කිසිම දෙයකට උනන්දුවක් ආශාවක් නොමැති බව, ආහාර රුචිය අඩු වීම, ශරීරයේ බර අඩු වීම, හැසිරීම් වෙනස් වීමක් මෙන්ම මරණය ගැන සිතුවිලි නිතර පහළ වන ස්වභාවයක් ඇත. මෙම රෝගී තත්ත්වය කුමක් විය හැකිද?

 

මෙම රෝග ලක්ෂණවලට අනුව මෙය ඩිප්‍රෙශන් හෙවත් මානසික අවපීඩනය යන මානසික රෝගී තත්ත්වයට අයත් රෝග ලක්ෂණ වේ.

මෙහිදි මෙම රෝගී තත්ත්වයේදි දිගුකාලීන දුක්ඛිතභාවයකින් හා ජීවිතෙ සතුට අඩුවකින් පීඩා විඳින මානසික රෝග තත්ත්ව ඇති වේ.

මෙහිදී පුද්ගලයකුගෙ සිතුවිලි, ශරීර ක්‍රියාකාරීත්වය අඩු වීම

වැනි දේ සිදු වේ. මෙය පුද්ගලයාගේ දෛනික ජීවිතයට බාධා එල්ල කරන තත්ත්වයකි.

මෙය සාමාන්‍ය දුක්ඛිතභාවයකට වඩා බරපතළ හා දිගුකාලීන තත්ත්වයක් වන අතර, පුද්ගලයෙකුගේ චිත්තවේග, සිතීම, හැසිරීම සහ දෛනික ජීවිතයට දැඩි ලෙස බලපායි.

එමෙන්ම පුද්ගලයෙකුට සති කිහිපයක් පුරාම කිසිදු කටයුතු සඳහා උනන්දුවක් නැතිවීම, නිදාගැනීමට අසීරු වීම සහ තම ජීවිතය පිළිබඳ අරුත් රහිත බවක් හැඟීම මෙහිදී ඇති වේ. මෙම රෝගයට ප්‍රතිකාර ලෙස උපදේශනය, මානසික ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුය.

 

*****************

දුවගේ හැසිරීම් රටාවල වෙනසක්

මගේ දුවට වයස අවු. 13යි. දුව දැන් ටික දවසක සිට පාසල් ගියත් ක්‍රියාශීලී බව අඩුවෙලා සහ ඇයගේ හැසිරීම් රටාවලද යම් වෙනස්වීම් ද දක්නට ලැබේ. මෙය රෝගී තත්ත්වයක්ද ?

 

මෙය බොහෝ දුරට ළමයින් තුළ පවතින මානසික අවපීඩන තත්ත්වයකි. බොහෝ දුරට ඇති වන්නේ පවුල් පරිසරය හේතුවෙනි. මවුපියන්ගේ අවධානය යොමු නොවීමද ගැටලුවකි. මෙම රෝගී තත්ත්වයේදී බොහෝ දරුවන් නිතර ලෙඩ බව පැවසීම, හිසරදය යැයි නිතර නිතර පැවසීම, දරුවන්ගේ නිදාගැනීමේ රටාව වෙනස්වීම සිදු වේ. මෙහිදී සමහර දරුවන් වැඩියෙන් නිදාගනී. තවත් දරුවන් අඩුවෙන් නිදා ගැනීම සිදු කරයි. මෙම තත්ත්වයට වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.