Doctor door

ජූලි 21, 2025

ඔබේ ගැටලුව අපට එවන්න

 

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවන ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

 

උපදෙස්,

මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

 

 

නිතරම උගු ර රිදෙනවා

මගේ ස්වාමියාට වයස අවුරුදු 42කි. ඔහු බොහෝ විට නිතර නිතර උගුර රිදෙනවා යැයි පවසයි. මෙම රෝගී තත්ත්වය කුමක් විය හැකිද?

 

රෝගී තත්ත්වය බොහෝ වෙලාවට බැක්ටීරියා විසබීජ ආසාදනයක් වීමට පුළුවන්. මුලින්ම වෛද්‍යවරයෙක් හමුවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය. උගුර රිදීම අඩුවී යනකම් බෙහෙත් නොනවත්වා ගැනීමට අවශ්‍ය වේ. එසේම වෛරස්වලින් උගුරේ ආසාදන සෑදීමට ඉඩකඩ ඇත. එමෙන්ම බඩේ ඇසිඩ් ගතියට උගුරට ඒම නිසාත් උගුරේ ආසාදන සෑදීමට පුළුවන්. එයට බොහෝ විට කැස්ස වැනි රෝගී තත්ත්වයන්ද සෑදීමට හැකියාව තිබේ. සිගරැට් පානය සහ පානය කරන අය ළඟ සිටීමද මෙම තත්ත්වයට බලපායි.

 

-------------------

තයිරොයිඩ් ග්‍රන්ථියේ සැත්කමක්

මගේ වයස අවුරුදු 41කි. තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කර සැත්කමක් සිදුකළා. නමුත් දැන් ටික දවසක සිට  ඇඟම ඉදිමීමක් සහ ඇවිදීමට නොහැකි ලෙස කකුල් හිරවීමක් සිදුවේ. මෙම තත්ත්වය කුමක් විය හැකිද?

 

මෙම රෝග තත්ත්වය සැත්කමකින් තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කළ පසු ශරීරයට අවශ්‍ය තයිරොයිඩ් ප්‍රමාණය නොලැබීමයි. තවද ඇඟ පණ නැතිවීම, ශරීරය දුර්වල වීම, නින්ද නොයෑම වැනි රෝග තත්ත්වයන්ද ඇතිවීමට පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය හරහා ඔබට අවශ්‍ය ප්‍රමාණයට තයිරොයිඩ් ප්‍රමාණය ලැබෙනවාද යන්න පරීක්ෂණයක් කර බැලීම වඩාත් සුදුසුය.

මෙහිදී වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

 

---------------------

නාසයෙන් රුධිරය ගලනවා

මගේ සහෝදරියගේ වයස අවුරුදු 35කි. ඇයට දැන් දවස් දෙකක පමණ සිට නාසයෙන් රුධිරය ගැලීම සහ ඇස් කහවීම දක්නට ලැබෙයි. මෙම රෝගී තත්ත්වය කුමක් විය හැකිද?

 

මෙම රෝග ලක්ෂණ මතු වන්නේ බොහෝ විට අක්මාව ආශ්‍රිත රෝගවලටයි. එම රෝගවල මූලික ලක්ෂණ ලෙස ඇස් කහවීම, නාසයෙන් රුධිරය ගැලීම ඇතිවීමට පුළුවන්. තවද අක්මාව ඉදිමීමේදී ද මෙම රෝග ලක්ෂණ මතුවෙයි. එසේම මෙම රෝගී තත්ත්ව මුල් අවධියේදී උණ රෝගය තිබුණා නම් ඩෙංගු රෝගයටත් මෙම ලක්ෂණ මතුවේ. බොහෝවිට අක්මාව ආශ්‍රිත රෝගයක් හෝ ලේ ආශ්‍රිත රෝගයක් විය හැකිය.

මෙහිදී වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.