ගැහැනු සිතේ ආදරය හඳුනා නො ගත්තොත් අවසානය දුක්බර වේවි

මාර්තු 24, 2021

“ජීවිතයට මොන තරම් හැඟීම් දැනෙනවද ? ඒත් ආදරය ඉදිරියේ තරම් කුමන හැඟීමක් ඉදිරියේවත් හදවත වේගවත් වන්නේ නැහැ. හිසේ සිට පාදාන්තය දක්වාම ආදරයෙන් මුසපත් වුණාම කරන කියන දේ තමන්වත් දන්නේ නැහැ. මටත් එහෙමයි. පුංචි කාලෙ ඉදලම පිය සෙනෙහස අහිමි වුණ මං අයියාගේ සහෝදර සෙනෙහසින් තෘප්තිමත් නො වී පිරිමියකුගේ ආදරය පසු පස හඹා ගියා.

එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි කීප දෙනෙක් පසු පසම මටම ගැළපෙන සෙනෙහස සොයමින් හඹා ගියා. අන්තිමට නතර වුණේ මට වඩා අවුරුදු තුනක් විතරක් බාල දරුවකු හා තවත් දරුවන් දෙදෙනෙකු සිටින පියෙක් ළඟ. ඔහු මගේ පියාටත් වඩා වැඩිමල් පිරිමි‍‍යෙක්. යුවතියක් තම සෙනෙහස පුදද්දී මොන තරම් දේ සිතිය යුතුද? හිස ඇති කාලයේ නො තේරුණ බොහෝ දේ හිස නැති කාලේ මට තේරුණා. සහෝදරයාගේ ප්‍රාණසම විශ්වාසය මං බිඳ ගත්තා. අයියාට බොරු කළත් අන්තිමට රැවටුණේ මමමයි. සමාජ වෙබ් අඩෙවිවල පවතින්නේ සත්‍යයක් නම් පළමු පෙම්වතා විවාහය හැර මා සමඟ අනිත් සියලු දේකර ඇති බව පවසා තිබුණා. සැබෑවටම මට සෙනෙහස දැක්වූ කෙනෙක් එසේ පවසාවිද? සෙනෙහසේ නාමයෙන් තම ආදරවන්තියගේ පෞද්ගලිකත්වය සැබෑ පෙම්වතෙක් එසේ පාවා දෙන්නේ නැහැ.මට තිබූ සම්බන්ධතා ගැන මිතුරියන් අටුවා ටීකා ඇතිව හෙළිකර තිබුණා. කල්‍යාණ මිතුරු මිතුරියන් එසේ කරාවිද? ඔවුනට මා වැරැද්දක් කරන බව සොයුරාට නිර්ණාමිකව හෝ පැවසීමට තිබුණා. සැබෑම ආදරය මා දුටුවේ අම්මාගේ කඳුළුවලින්. අයියාගේ අසරණ ඇස් දෙකෙන්. ආදරය කිරීම, විවාහයට කෙනකු තෝරා ගැනීම මොනතරම් පරෙස්සමට කළ යුතුද? මගේ ජීවිතය සමස්ථ යුවතියන්ටම පාඩම් පොතක් වුණා. මා මිය ගියේ හිසක් නැතිව වුණත් හිසක් ඇතිව වැඩ කරන්න මගේ ජීවිතය පාඩමක් වෙනවා නම් ඒක මගේ හදවතට සහනයක්. “ අකාලයේ හිසත් නැතිව මිය ගිය තරුණියට හිසක් ලැබුණොත් නිසැකවම එසේ පවසනවා ඇත. වෙනදාටත් වඩා අනියම් සබඳතා නිසා සිදුවන දිවි තොරවීම් ගැන දැන් අසන්නට දකින්නට ලැබෙයි. මේ සියල්ලට හේතුවන්නේ ගැහැනු සිතේ ආදරයයි. ගැහැනුන්ගේ ආදරය මනෝ විද්‍යාත්මකව කෙබඳු හැඟීමක්ද ?

කාන්තාවන්ගේ ආදරයට සාධක ගණනාවක් බලපායි. ඒ අතරින් ප්‍රධානම සාධකය වන්නේ ආකර්ෂණයයි. එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට තමන් බලාපොරොත්තු වන ආකර්ෂණය වෙනස් වෙයි. කෙනෙක් පිරිමියකුගේ උසට ඇලුම් කරද්දී තවත් කාන්තාවක් ඇවිදින විලාශයට ඇලුම් කරයි. මේ අතරේ කතා බහට, ඇස්වල පෙනුමට, ආර්ථික තත්ත්වයට, සමාජ තත්ත්වයට ශක්තියට බුද්ධියට පිරිමින් තෝරන කාන්තාවෝ ද සිටිති. ඇතැම් කාන්තාවන්ගේ සිත් ගන්නේ ළමා වියේ සිත් ගත් වීරයන්ට සමාන අයයි. පිරිමින්ගේ සිත දිනා ගන්න කළු තරුණියන් සුදු වෙන්න උනන්දු වුණත් ආදරයේදී සුදු - කළු වර්ණය එතරම් වැදගක් සාධකයක් වන්නේ නැත. සමහර සුදු පැහැති තරුණයන් තෝරන්නේ කාල වර්ණ තරුණියන්ය.

කාන්තාවන් වඩාත් කැමැති තමන්ට ආරක්ෂාවක් ලබා දිය හැකි පිරිමින්ටය. තමන් ගැන සොයා බලන පිරිමින්ට ඇයගේ සිත ඇදී යයි. ඒවාගේම තමන්ට කරදරයක් වන අවස්ථාවේදී ඔහු ක්‍රියා කරන ආකාරය ද ඇයට වැදගත් වෙයි.

පියාගේ පෞරුෂත්වයම ඇති පිරිමියකු ආදරය කිරීමට, විවාහ වීමට සොයන කාන්තාවන් පිරිසක් ද වෙති. එහෙත් පියා සැර පරුෂ හෝ මත් වතුරට ඇබ්බැහි වූ කෙනකු නම් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

ආරක්ෂක හමුදාවට සමහර කාන්තාවන්ගේ ඇති විශේෂ බැඳීම ද ප්‍රකටය. ඔවුන්ට ඇති සමාජ පිළිගැනීම, විනයානු කූල දිවි පෙවෙත මෙසේ ඇලුම් කිරීමේ රහස විය හැකිය. පිරිමියාගේ ලස්සන එවැනි කාන්තාවන් ගණනකට ගන්නේ නැත.

යුවතියකට, ගැහැනියකට තමන් කැමැති ආකාරයේ පිරිමියකු සමාජයේ කොතැනකදී හෝ හමු වීමට පුළුවන. විවාහය යන අකුරු හතරට කොටු නොවුණු අසම්මත සෙනෙහසක් එවිට ඇති විය හැකිය. තමන් පැටලෙන්නේ පඹ ගාලක බව දැන දැනත් ඇය ඒ සෙනෙහසේ පැටලෙයි.

පූජනීය පුද්ගලයන් හා ඇතිවන ආදරයට මුල්වන්නේ ගෞරවයයි. ගෞරවය සමඟ ආදරය ද ගොඩ නැඟෙයි.

තර්කානු කූලව සිතා නො බලා ආකර්ෂණය නිසා පමණක් සෙනෙහසකට මුල පිරීම අති භයානකය. එහි අවසන් පලය මරණයෙන් කෙළවර වීමට පුළුවන. සමහරු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙයි. පිරිසක් පැමිණි දුක් පැණි රස බව සිතමින් ජීවත් වෙද්දී තවත් පිරිසක් අනියම් පෙමකට මුල පුරයි. මනෝ ස්වභාවය එය විය හැකි වුවත් කිසි කලෙක නො ගැළපීම අනියම් පෙමකට මුල පිරීමට හේතුවක් කරගත යුතු නැත.

ආදරය කරන කාලයේ තමන්ව යටත්කර ගෙන සිටීමට පිරිමියා උත්සාහ ගන්නේ නම් එවැනි පිරිමියෙක් කාන්තාවකගේ සෙනෙහස ලැබීමට සුදුස්සකු නො වෙයි. පිරිමියකුටත් මෙ පොදුය.

 

 

 

උපදෙස් - ගාල්ල කරාපිටිය රෝහලේ මානෝ වෛද්‍ය විශේෂඥ

රූමි රූබන්