කෝවිඩ් 19 තෙවැනි රැල්ල අති භයානකයි

එන්නත ලබාගත් ඔබ සුරක්ෂිතයි
මැයි 12, 2021

 

කෝවිඩ් 19 සඳහා එන්නත ලබාගත යුතු වන්නේ ඇයි?

 

චීනයේ වූහාන් නගරයෙන් පටන් ගෙන ලොව පුරා අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත වුණු කොරෝනා වසංගතය මේ වන විට ලෝකවාසී ජනතාවගේ සමස්ත ජීවන රටාව ම නොපිට පෙරළා ඇත. මෙතෙක් නොඇසූ නුදුටු වෛරසයක් සමඟ සටන් වදින්නට සිදුවූයේ වයස් භේදයක්, ස්ත්‍රී - පුරුෂ භේදයක්, ජාති භේදයක්, පංති භේදයක්.... මේ ආදී කිසිවකුත් නොසලකා හරිමිනි.

කෝවිඩ් 19 විවිධ රැලි විවිධ රටවල් සදහා විවිධ මුහුණුවරයන්ගෙන් පැමිණෙද්දී ඊට ගොදුරු වූවෝ ඒ අය අතරින් මිය ගිය ඈයෝ තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූයේ අන්ත අසරණ වෙමිනි.

වසර ගණනාවක් පුරාවට පර්යේෂණ ගණනාවක් විවිධ අන්දමින් කෙරෙනු වෙනුවට ඉතාම කෙටි කලකින් පර්යේෂණ කරමින් කොරෝනා වෛරසය සඳහා එන්නත් කිහිපයක්ම සොයා ගැනීමට ලොව ප්‍රබල රටවල් කිහිපයක ම විද්‍යාඥයන් සමත් වූයේ දියේ ගිලෙන්නට යන කෙනාට තණ කොළ ගසත් විටෙක ශක්තියක් වූවා මෙනි.

මේ වන විට අපේ රටේ සෞඛ්‍ය අංශයේ පිරිස්, ආරක්ෂක අංශවල පිරිස ඇතුළු හඳුනාගත් අත්‍යවශ්‍යම පිරිසක් කෝවිඩ් 19 සඳහා වූ එන්නතේ පළමු මාත්‍රාව ලබා අවසන් ය. සති 12 ක ඇවෑමෙන් පසුව මේ වන විට සෞඛ්‍ය අංශයේ පිරිස් වෙත එහි දෙවැනි මාත්‍රාව ද ලබා දෙමින් පවතී.

වෛරසයකට, ආසාදනයකට හෝ වෙනයම් රෝගයකට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර සූදානම් කිරීම එන්නතක් මඟින් සිදුවන කර්තව්‍යයයි. අපේ රටේ කෝවිඩ් 19 සඳහා පළමු මාත්‍රාව ලෙස ලබාදුන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ Astrazeneca ඖෂධ සමාගම මඟින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන ලද Covishield එන්නතයි.

මෙම එන්නත සාදන්නේ මිනිසාට බෝ නොවන චිම්පන්සියාට ස්වසන රෝග ඇති කරන Adeno වෛරස් කාණ්ඩයේ වෛරසයක් නැවත ප්‍රජනනය වීමට නොහැකි ලෙස අක්‍රීය කොට ඒ මත කෝවිඩ් වෛරසයේ අණු ආරෝපණය කිරීමෙනුයි. මීට අමතරව අමෙරිකාවේ ෆයිසර් එන්නත, රුසියාවේ නිපදවූ ස්පුට්නික් V එන්නත, චීනයේ නිපදවූ එන්නත්... ආදී වශයෙන් කෝවිඩ් - 19 සඳහා වූ එන්නත් කිහිපයක් ම ලොව පුරා බෙදා හරිමින් පවතී.

මේ දිනවල රුසියාවේ නිපදවූ ස්පුට්නික් v එන්නත අපේ රටේ ලබා දේ.

කෝවිඩ් 19 සඳහා එන්නත ලබාගත යුතු වන්නේ ඇයි?

මෙවර අපේ රටේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ කෝරෝනාවේ තෙවැනි රැල්ලයි. මෙය පළමු සහ දෙවැනි රැලි මෙන් නොසලකා හැරිය යුතු රැල්ලක් නොවන බව තරයේ අවධාරණය කළ යුතු වේ. මන්ද මෙය තරුණ පිරිස් අතරේ වැඩි⁣යෙන් දක්නට ලැබීමයි. පළමු සහ දෙවැනි රැලිවලදී බොහෝ දුරට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවූයේ වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝග නිසා පීඩා විඳි අයයි. එහෙත් වෙනත් කිසිම රෝගයක් නොමැතිව කෝවිඩ් 19 වෛරසය ශරීරගතවීම නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නට මෙවර සිදුව තිබීම භයානක තත්ත්වයකි. සුළු කොට තැකිය නොහැකි තත්ත්වයකි.

පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා වූ කෝවිඩ් තත්ත්වය කෙබඳුද?

පළමු මාත්‍රාව ලබාගත් අය බෙහෙවින් ම සුරක්ෂිතයි. ඔවුන්ට කෝවිඩ් 19 වෛරසය ශරීරගත වුවත් සංකූලතා ඇතිවන්නේ අවම වශයෙනි. මරණයෙන් නම් කොහෙත් ම කෙළවර වන්නේ නැත. රෝග වාහකයෙක් වන්නේ ද නැත.

දෙවැනි මාත්‍රාව ලබාගත් පසු ඔවුන් සියයට සියයක් ම සුරක්ෂිත ද?

දෙවැනි මාත්‍රාව ලබාගත් කෙනා රෝග වාහකයෙක් හෝ රෝගයට ගොදුරු වන්නෙක් නොවේ. විදෙස් රටවල දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස් කොරෝනාවට ගොදුරු නොවූ තරම් ය.

කෝවිඩ් 19 එන්නතේ අතුරු ආබාධ ඇති බවට පළවූ මත නිසා බොහෝ පිරිසක් එන්නත ලබා ගැනීම මඟ හැරියා. තවත් පිරිස් බියට පත් වුණා.

රෝගියකු වෛද්‍යවරයකු නියම කරන ඖෂධ පිළිබඳ වෛද්‍යවරයාගෙන් අසන්නේ මේ බෙහෙත්වල අතුරු ආබාධ තියෙනවා ද? යනුවෙනි. රෝගයක් දරුණු වන්න වන්න ඒ සඳහා නියම කරන ඖෂධවලින් බොහොමයක් නිසැකවම අතුරු ආබාධවලින් යුතු ඒවායි. එසේය කියා අපට එම රෝගයෙන් වැළැකීමට නම් එම ඖෂධ නොගෙන සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. කෝවිඩ් 19 එන්නත පිළිබඳවද එලෙස සිතන්න. මෙම එන්නතේ අතුරුඵලයක් ලෙස රුධිර කැටි ගැසීමේ අවධානමක් ඇති රෝගීන් 5 - 6 ක් හමු නොවුණා නොවේ. එය එන්නත ලබාගත් සමස්තය අතුරින් ඉතාම සුළු ප්‍රතිශතයකි.

හොඳින් මතක තබාගන්න කෝවිඩ් පළමු සහ දෙවැනි රැලිවලින් ආරක්ෂා වූ ඔබ තෙවැනි රැල්ල පිළිබඳ සුළුවෙන් තැකීමට කොහෙත් ම ඉඩක් තබනු එපා. එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ඔබ තෙවැනි රැල්ල සඳහා මුහුණ දෙන්නේ වඩාත් ශක්තිමත්ව බව අමතක කළ නොහැකියි.

*වෙනත් එන්නත් හා සාපේක්ෂව සසඳා බලද්දී කොවිඩ් - 19 සඳහා වූ එන්නතේ අතුරු ආබාධ වැඩිද?

කොහෙත්ම නැත. වෙනත් එන්නත් හා සසඳා බලද්දී මෙහි අතුරු ආබාධ ඉතාම අවම වේ. බොහොමයක් දෙනාගේ සිතට ගැඹුරින් කා වැදුණු තත්ත්වය වන්නේ වෙනත් එන්නත් වසර ගණන් පර්යේෂණ පවත්වමින් නිපදවූ ඒවා වීමත් කොවිඩ් - 19 සඳහා නිපදවූ එන්නත් ඉතාම කෙටි කලකින් පර්යේෂණ කර නිපදවූ එකක් වීමත් ය.

එයට හේතුව සාමාන්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්තිය අවම කරමින් සාමාන්‍ය ජනජීවිතයට ඇතුළුවීම ඉක්මන් කරනු සඳහා එන්නත නිපදවීම වේගවත්වීමයි.

බහුතරයකට මෙහි කිසිදු අතුරු ආබාධයක් නොමැත.

කෝවිඩ් 19 සඳහා එන්නතේ තෙවැනි මාත්‍රාවක් තිබේද?

දැනට නම් ලොව පුරා එවැනි අවශ්‍යතාවක් පැන නැඟී නොමැත.

දෙවැනි මාත්‍රාවෙන් ඔවුන්ව පූර්ණ වශයෙන් ආරක්ෂා කරයි.

කෙසේ වුවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් ඈත්වීමට අවසර නැත. ඒවා එලෙසම පිළිපැදිය යුතුයි. ඉඳහිට දක්නට ලැබෙන අතුරු ආබාධ තමාටත් ගළපා ගෙන කොරෝනා රෝගයේ ගොදුරක්ව ඔබේ ආදරණීයයන්ගෙන් ඈත්ව ජීවිතයට සමු දෙම් ද?

නැත්නම් එන්නත ලබා ගනිමින් ඊට සාර්ථකව මුහුණ දෙම් ද? තීරණය ඔබ සතු ය.