වෛද්‍යවරුන්ගේ අලුත්ම සොයා ගැනීම

උණ හැදුනම ඇඟ තෙමන්න එපා
පෙබරවාරි 20, 2023

සැහැල්ලු ඇඳුමක් අන්දවන්න

අලුත ඉපදුණු පුංචි බබාගේ පටන් දරුවන්ට උණ හැදුනම කොයි අම්මත් කලබල වෙනවා.දරුවා විඳින වේදනාව අම්මටත් වේදනාවක්. මේ වේදනාව හැම අම්මා කෙනාටම එක වගේ දැනෙන්න පටන් ගන්නවා.

උණ යනු රෝගයක් නොවේ. එය වෙනත් රෝගයක හෝ ආසාදනයක රෝග ලක්ෂණයක් පමණි. උණ වැලඳීම කිසිසේත්ම සුළුකොට තකන්න බැහැ. ශරීරය තුළ ඇති යම් විෂබීජයක් සමඟ සටන් කිරීමේ ක්‍රියාවලියේ දී උණ හට ගනී. මින් හැඟෙන්නේ දරුවා තුළ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් බවත් එය විසබීජවලට එරෙහිව සටන් වදින බවත් යන්න අමතක කරන්න බැහැ. කුලුඳුල් අම්මලා මෙන්ම දරුවන් ඇති සියලුම අම්මලා කෙරෙහි ගැටලු ඇති කරන උණ පිළිබඳව මූලික කාරණා දැන සිටිය යුතුමයි.

දරුවාට උණ ඇත්දැයි දැන ගන්නේ කොහොමද?

ඇඟට අත තබා උණ බැලිය නොහැකි බව ඔබ හොඳින් මතක තබා ගන්න ඒ සඳහා උෂ්ණත්වමානයක් භාවිත කිරීම අනිවාර්යයි උණ බැලීම සඳහා වෙළෙඳපොළ දැන් බොහෝ විට ඇත්තේ ඩිජිටල් උණ කටු නිසා ඒවා භාවිතයෙන් උණ බැලීම පහසුයි. සාමාන්‍ය උෂ්ණත්ව මානයකින් උණ බැලෙන්නේ කිහිල්ල යට තබා ගෙනයි. මේ සඳහා ෆැරන්හයිට් අංශක හෝ සෙල්සියස් අංශක යන ඒකක දෙකින් එකක් භාවිත කළ හැකියි. සෙල්සියස් අංශක වලින් 36.5 - 37.5 අතරත් ෆැරන්හයිට් අංශකවලින් නම් 97.7 - 99.5 අතරේත් සාමාන්‍ය ශරීර උෂ්ණත්වය පැවතිය යුතුයි.

වෙනත් ලෙසකින් පවසනවා නම් දරුවන්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 හෝ ෆැරන්හයිට් අංශක 99.5 ට එහා අගයක් ගැනීම උණ තත්ත්වයයි. දරුවන්ගේ වයස, කාමර උෂ්ණත්වය, දවස, වේලාව, දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අනුව මෙය වෙනස් විය හැකි බව සිතට ගත යුතුයි.

උණ ඇති වන්නේ ඇයි?

දරුවන්ට උණ ඇති වීමට ප්‍රධානම හේතුවක් වන්නේ විසබීජවලින් ඇතිකරන ආසාදනයයි. මේ ආසාදන වෛරස් ආසාදන හෝ බැක්ටීරියා ආසාදන විය හැකියි. මෙලෙස ඇතිවන ආසාදන බරපතළ එකක්ද යන්න අම්මට ගැටලු ඇති කරන කාරණයකි. රෝග ලක්ෂණ සමඟ ගළපා ගැනීමෙන් එය නිවැරැදිව හඳුනාගත හැකියි. උදාහරණයක් ලෙස උණ ට අමතරව පුංචි දරුවා ඈලි මෑළි වී සිටී නම්, කන්නේ බොන්නේ නැත්නම්, වමනය කරයි නම්, පැරසිටමෝල් දුන් පසු උණ බැස යෑමෙන් අනතුරුවත් දරුවාගේ ක්‍රියාකාරිත්වයේ එතරම් වෙනසක් නැත්නම් එය සාමාන්‍ය උණක් ලෙස සැලකිය නොහැකියි. බොහෝ වයිරස් උණ තත්ත්වයන් ඉබේම සුව වන නමුත් ඒ සම්බන්ධ ගැටලුවක් ඇත්නම් පවුලේ වෛද්‍යවරයා හෝ ළඟම ඇති රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගත යුත්තේ යුත්තේ ඇයි?

අලුත උපන් දරුවකුට දින 2, 3 ක් ඇතුළත උණ හට ගත්තේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යා යුතුයි.දරුවෙක්ට උණක් හටගත් විට හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම්, වේගයෙන් හුස්ම ගනී නම්, හුස්ම ගැනීමට අපහසු යැයි දරුවා පවසන්නේ නම්, ඈලි මෑළි වී සිටී නම්, අස්වාභාවික ලප කැළැල් ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි.

සාමාන්‍ය උණක් නොව විශේෂිත වූ වෛරස් උණක් සෑදී ඇත්දැයි සිතේ නම් උදාහරණයක් ලෙස ඩෙංගු, සරම්ප, පැපොල ....වැනි එවිටත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමට අමතක කරන්න එපා.

එසේම තද හිසරදයක් ඇත්නම් දරුවා ඔළුව කැක්කුම යැයි පෙන්වන්නේ නම් එය මොළයේ උණක් වැනි බරපතළ දෙයක් වීමටත් පුළුවනි. කෙසේ නමුත් සාමාන්‍ය උණක් හා බරපතළ උණක් අතර මූලිකවම හඳුනා ගත හැකි වෙනස නම් සාමාන්‍ය උණක දී පැරසිටමෝල් දුන් පසු උෂ්ණත්වය පාලනය වේ. බරපතළ තත්ත්වයක දී එය එසේ නොවිය හැකියි. තදටම උණ හට ගනී නම්, එනම් ෆැරන්හයිට් අංශක 103 ට වඩා වැඩි නම් එයත් බරපතළ උණ රෝගයක ලක්ෂණයක් විය හැකියි.මේ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යා යුතු අවස්ථා ය.

මාපියන්ට නිවෙසේ කළ හැකි ප්‍රතිකාර

දරුවාට ඇඳ විවේකය (bed rest )ලබාදිය යුතුයි. උණ හටගත් විට සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුයි. දියර වර්ග පානයට උනන්දු කිරීමත් වැදගත්. මුත්‍රා පිටවන ප්‍රමාණය, මුත්‍රාවල පැහැය ආදී මුත්‍රා පිළිබඳ යම් නිගමනයකට එළැඹිය හැකියි.

නියමිත මාත්‍රාව අනුගමනය කරමින් පැරසිටමෝල් ලබාදීමත් අතිශය වැදගත්. සෑම කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 15 බැගින් පැරසිටමෝල් මාත්‍රාව ලබා දිය යුතුයි. ඒ උණ සැලකිය යුතු මට්ටමක තිබේනම් දරුවා අපහසුතාවකින් පෙළේ නම් ය.පෙර කීවාක් මෙන් බරපතළ රෝග ලක්ෂණ ඇත්නම් පැරසිටමෝල් දෙමින් නිවෙසේ තබා ගැනීම සුදුසු නොවේ. වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. දරුවාට සැහැල්ලු ඇඳුමක් ඇන්ද විය යුතු අතර පෙර මෙන් ඇඟ තෙමීම, ෆෑන් දැමීම වැනි ඇඟ සිසිල් කරන ක්‍රම දැන් භාවිත කරන්නේ නැහැ.එය දරුවා අපහසුතාවට පත් කරනවා පමණක් නොව ඉන් සිසිල් වන්නේ සම මතුපිට පමණක් බවත් අභ්‍යන්තර උෂ්ණත්වය අඩු නොවන බවත් දැන් පිළිගත් කාරණයකි.මේ ක්‍රම පෙරදී භාවිත කළේ උණ වලිප්පුව ඇති වීමේ අවදානම වළකාලීමටත් ඒ ක්‍රම උණ වලිප්පුව ඇති වීම වළකාලීමට හේතුවක් නොවන බව දැන් පිළිගැනීමත් ය. පැරසිටමෝල් නැවත නැවත දීමෙනුත් උණ වලිප්පුව අඩු නොවන බව වත්මන් සොයා ගැනීමයි. මේ නිසා පැරසිටමෝල් නැවත නැවත දීම හෝ අනවශ්‍ය ලෙස ඇඟ සිසිල් කිරීම සුදුසු නොවේ. ඉන් ඇතැම් විට හානියක් වීමට හෝ හෝ පුළුවනි. ඊට හේතුව උෂ්ණත්වය වැඩිවන්නේ ශරීරය විෂබීජවලට එරෙහිව ඇතිවන ප්‍රතිශක්තිය නිර්මාණය කිරීමටයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විෂබීජයක් ශරීරයට ඇතුළු වූ විට හොඳින් ක්‍රියා කරන බව උණ හට ගැනීමෙන් පිළිඹිඹු වේ.උෂ්ණත්වය අඩු කරන්නට යෑමෙන් ඇතැම් විට ශරීරයට හානියක් වීමට හැකි බව නැවත නැවතත් සිතට ගන්න.

 

 

 උපදෙස් :

කෑගල්ල මහ රෝහලේ

ළමාරෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය අරුණ පීරිස්