කැකුළු මල් මිලින කරන ළමා පිළිකාව

පෙබරවාරි 24, 2025

පිළිකා රෝගීන් ගොන්නට ළමා පිළිකා රෝගීන් ද දිනෙන් දින වැඩි වශයෙන් එක්වීම ශෝචනීය තත්ත්වයකි.

උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වන ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර හඳුනාගන්නා පිළිකා, “ළමා පිළිකා” ලෙස හඳුන්වනු ලැබේ.

ඉන් මිය යන දරුවන් ද වැඩිවීමේ ප්‍රවණතාවක් ලොව පුරා දක්නට ඇත. ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ හතරක් පමණ අලුතින් හඳුනා ගැනේ. 2021 වසරේ ජාතික පිළිකා ලේඛනයට අනුව ශ්‍රී ලංකාව තුළ ළමා පිළිකා රෝගීන් 1032 ක් වාර්තා වී ඇති අතර ඉන් 578 ක් පිරිමි ළමුන් සහ ඉතිරි 454 ගැහැනු දරුවන්ය.

 

* වැඩිහිටි පිළිකාවලට වඩා ළමා පිළිකාවල යම් යම් වෙනස්කම් දක්නට ඇති අතර මේවා සුව කර ගැනීමට ඇති අවස්ථාව වැඩිවේ.

* ළමා පිළිකා බොහෝවිට ඇති වන්නේ අහඹුවක් ලෙසයි.( වැඩිහිටි පිළිකාවල බුලත් පුවක් ආදිය කෑමෙන් මුඛ පිළිකා ඇතිවේ.....ආදී වශයෙන් යම් යම් හේතු වූ බලපෑ හැකියි.) මේ මේ හේතුව නිසා ළමා පිළිකා ඇතිවේ යැයි හඳුනාගෙන නොමැත. මේ නිසා ළමා පිළිකා වළක්වා ගතහැකි යැයි කිව නොහැකියි. මේ නිසා උත්සාහ කළ යුත්තේ කල් ඇතිව හඳුනාගෙන, නිසි රෝග විනිශ්චයකට ලක්වී, නිසි ප්‍රතිකාර, නිසි කාලයට ලබා ගැනීමෙන් හා එම ප්‍රතිකාර නිසි ලෙස සම්පූර්ණ කිරීමෙන් ළමා පිළිකාව නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව තිබේ.

 

* ළමා පිළිකා සඳහා ප්‍රතිකාර කරනුයේ වැඩිහිටි පිළිකාවලට වඩා වෙනස් අන්දමිනි. එය සුව කිරීමෙන් ඒ දරුවන්ට තවත් අවුරුදු ගණනාවක් ජීවත්වීමට අවස්ථාව තිබේ. මේ නිසා ඔවුන්ගේ එම ඉදිරි ජීවිතය අතුරු ආබාධ අවම කිරීම සඳහා උත්සාහ ගනියි.

 

ප්‍රතිකාර කිරීමෙන් පසු පසු විපරම ඉතාම වැදගත් වේ. රුධිර පරීක්‍ෂණ, CTE scan, MRI scan වැනි පරීක්ෂණ වර්ග, අදාළ විශේෂඥ වෛද්‍යවරුන් හමුව....මේ දේවල් වසර 5ක් පමණ ගතවනතුරු කරන අතර ඇතැම් දරුවන්ට ඊටත් වඩා වැඩි කාලයක් කරයි.

 

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සෑම වසරකම පෙබරවාරි මස 15 වැනි දින ලොව පුරා සමරනු ලැබේ. මෙම දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්ගේ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ලබාදීමයි. 'Inspire in action' 'උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු' මෙවර ජාත්‍යන්තර පිළිකා දින තේමාවයි.

 

දරුවන් අතර වැඩිපුරම හඳුනාගත හැකි වන්නේ ලේ පිළිකාව හෙවත් ලියුකේමියාවයි. වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව, මොළය ආශ්‍රිත පිළිකාව ද දරුවන් අතර වැඩිපුර හඳුනා ගැනේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන, මහරගම ජාතික පිළිකා ආයතනය, ලංකාවේ පිළිකා සඳහා ප්‍රතිකාර කරන සියලු පිළිකා ඒකකවලිනුත්, කලින් පිළිකාව හඳුනා ගැනීම සඳහා කෙරෙන රසායනික වාර්තාවලිනුත් වාර්ෂිකව කොපමණ ප්‍රමාණයක් ළමා පිළිකා ගොන්නට එකතු වන්නේ දැයි නිරීක්ෂණය කරයි. මේ අනුව සාමාන්‍යයෙන් වසරකට 1000 ත්, 1200ක් අතර ප්‍රමාණයක් ළමා පිළිකා රෝගීන් ගණයට ඇතුළත් වේ.

ළමා සහ නව යොවුන් වියේ පිළිකා නිසා වසරකට දරුවන් 220කගේ පමණ ජීවිත අහිමිවේ. මේ අතර ප්‍රතිකාර කර සුව කළ හැකිව තිබූ දරුවන්ද සිටී. එම මරණ ප්‍රමාණය අවම කර ගැනීම අත්‍යවශ්‍ය වූවකි.

 

ළමා පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම් බොහෝ විට සිදුවන්නේ මහරගම අපේක්‍ෂා රෝහලිනි. ඒ සඳහා වන බොහොමයක් පහසුකම් එම රෝහල සතුවේ. ඔවුන්ගේ පහසුව උදෙසා අපේක්ෂා රෝහල හා බද්ධ වූ තවත් ආයතන කිහිපයක්ම වේ. දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් නවාතැන් පහසුකම්, ආහාරපාන නොමිලේ ලබාදෙයි. රෝහලේ ඖෂධ නොමැති වූ විට එම ඖෂධ ලබා ගැනීමට සහනදායීව දායකවන ආයතන තිබේ. අස්ථි සම්බන්ධ පිළිකාවලදී අවයව බද්ධ කිරීමට සිදුවේ. ඒ සඳහා අවශ්‍ය වන මුදල් ලබාදීමට ඉදිරිපත් වන ආයතන ද තිබේ.

පිළිකා රෝගයට ගොදුරු වූ දරුවා ඉන් මුදාගැනීමට පවුලේ අයට සහනයක් වන්නට බොහෝ දෙනා සිතයි.

දරුවාට පිළිකා රෝගය ඇත්දැයි කලින් හඳුනා ගැනීමට ප්‍රමාද වීම, දියුණුවෙමින් පවතින රටක් ලෙස පොදුවේ මුහුණ දෙන්නට වන අභියෝග රාශියක් පවතී. මෙම ප්‍රතිකාර කරන අතරතුරදී වෙනත් වෙනත් ප්‍රතිකාර සඳහා යොමුවන අවස්ථා දැකගතහැකි වේ.

 

ලියුකේමියාව හෙවත් ලේ පිළිකාව

මෙහිදී රෝග ලක්ෂණ මතුවන්නේ ඉතාම කෙටි කාලයකිනි. ස්ථිර ලෙසම පිළිකාවක් යැයි කිවහැකි ලක්‍ෂණ ද දැකගත නොහැකියි. සති කිහිපයක් තිස්සේ කුද්දෙටි දක්නට හැකිනම්, නිතර නිතර උණ හැදීම, විෂබීජ ශරීරගතව සෙම් රෝග ඇතිවීම, අතේ පයේ නිතරම තුවාල ඇතිවීම ආදී මෙවැනි ලක්ෂණ දැකගත හැකි විට, ඇතැම්විට දරුවා ලියුකේමියා තත්ත්වයෙන් පෙළෙනවා විය හැකියි. දරුවා රක්තහීනතාවෙන් පෙළේනම්, නිතරම ප්ලේට්ලට් බසිනවා නම්, දරුවා කෑම නොගන්නේ නම්, හැමවිටම අපහසු තත්ත්වයේ සිටී නම් එයත් සමහර විට පිළිකා රෝග තත්ත්වයෙන් පෙළෙන රෝග ලක්ෂණ විය හැකියි. ආතරයිටීස් තත්ත්වයන් ලෙසත් පිළිකා තත්ත්ව ඇතිවීමට පුළුවනි.

 

මොළය ආශ්‍රිතව පවතින පිළිකා

මෙය කාලයක් තිස්සේ පැවතෙන එකක් විය හැකියි. කලක් තිස්සේ උදේ පාන්දරට ඇතිවන හිසේ කැක්කුමක්, බඩේ අමාරු, මිග්‍රේන් වැනි තත්ත්ව සඳහා බොහෝදුරට මේ දරුවන් ප්‍රතිකාර ගනී. CT scan, MRI Scan මෙම දරුවන් සඳහා නිර්දේශ වේ. වලිප්පුව වැනි තත්ත්ව ද දැක ගතහැකියි. මෙය සමහරවිට මොළයේ පිළිකා තත්ත්වයක් විය හැකියි. වැඩිපුර මූත්‍රා පිටවීම, කලින් වැඩිවියට පත්වීම වැනි හෝමෝනවල වෙනස්කම් ද සිදුවීමට පුළුවනි. මෙය අත්දැකීම් සහිත වෛද්‍යවරුන්ට හඳුනාගතහැකි තත්ත්වයකි.

 

මස් පිඬු සහ අස්ථි ආශ්‍රිතව හටගන්නා පිළිකා

සිරුරේ පුංචිම ඉදිමීමක් හෝ ඇතිවුවොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීම කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. යම් හෙයකින් මෙය පිළිකා තත්ත්වයක් වුවහොත් එය කෙටි කලකින්ම සිරුර පුරාම පැතිර යයි. X - ray මඟින් මෙය පහසුවෙන්ම හඳුනාගත හැකියි.

 

ඇස් ආශ්‍රිතව හට ගන්නා පිළිකා

ළදරු පාසල් යන වයසේ දරුවන්ගෙන් මෙය වඩාත් දැකගත හැකියි. ඇසේ වපර තත්ත්වයක් ඇතිවෙනවා නම් වීදුරු බෝලයක් මෙන් දිලිසෙන තත්ත්වයක් ඇතිවෙන්නේ නම් මෙය ඇතැම් විට ඇස ආශ්‍රිතව හටගන්නා පිළිකාවක්(Retinoblastoma) විය හැකියි. මෙය නිට්ටාවට සුව කළ හැකි තත්ත්වයකි. පින් වපරය යැයි අප ජන වහරේ පවතින තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් දරුවාට ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවේවි.

 

උපදෙස් :

අපේක්‍ෂා රෝහලේ ළමා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මහේන්ද්‍ර සෝමතිලක,

විශේෂඥ වෛද්‍ය

සංජීව ගුණසේකර

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය

සුරාජ් පෙරේරා

 

[email protected]