ප්‍රොස්ටිනෝ හරි වෙලාවට ගත්තා නම්

මාර්තු 10, 2025

පැය 72 පෙත්ත නිසි වේලාවට නොගතහොත් වන්නේ කුමක්ද? අපි මේ පිළිබඳව පසුගිය සතියේ විමසා බැලුවා. මේ නිසා යම් හෙයකින් පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් එය බොහෝ විට පැලෝපීය නාළයේ සිදුවේවි.

මේ කාරණාව පිළිබඳ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අවධානයට ලක්වී තිබේ.

සංසර්ගයෙන් පසුව කරනා හදිසි උපත් පාලන ක්‍රම හෙවත් Emergency Contraception නිසා පැලෝපීය නාළයේ පිළිසිඳ ගැනීම් වැඩි වනවාද? මෙය වෛද්‍යවරුන් අතර ගොඩනැඟි ඇති නව මතයකි.

ප්‍රොස්ටිනෝ යනු උපත් පාලන ක්‍රමයක් නොවේ. එය හදිසි අවස්ථාවකදී ගන්නා දෙයකි. ඔබට උපත් පාලන ක්‍රමයක් අවශ්‍ය නම් වෛද්‍යවරයකු මූණ ගැසී ඒ සඳහා උපදෙස් ලබාගත හැකියි.

හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා මෙය භාවිත කළ හැකියි. හදිසි අවස්ථාවක් ලෙස හඳුන්වන්නේ භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමය අසාර්ථක යැයි සැකයක් ඇතිවූ විට (කොන්ඩමය සිදුරු වීම හෝ ගැලවී යාම, ආරක්ෂිත කාලසීමාව වැරදි ලෙස ගණනය කළ අවස්ථාවක, ලූපය යම් හේතුවකින් ඉවතට පැමිණි මොහොතකම ආදී අවස්ථාවක) ලිංගික අතවරයකට හෝ දූෂණයකට ලක්වූ විට වැනි අවස්ථාවන්ය. ලිංගික සංසර්ගයෙන් පැය 72ක් ඇතුළත මෙහි පළමු පෙත්ත ලබා ගත යුතු අතර ඉන් පැය 12 කට පසු එහි දෙවන පෙත්ත ලබා ගත යුතුය. ඒ ප්‍රොස්ටිනෝ 2 පෙත්ත භාවිත කරන්නේ නම්ය. ප්‍රොස්ටිනෝ 1 යනු අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකි තනි පෙත්තකි. ලිංගික සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත මෙය ලබාගත යුතුය.

මෙය පාවිච්චි කළ යුත්තේ කාන්තාවන් විසිනි. මෙම එක් පැකට්ටුවක පෙති දෙකක් අඩංගු වේ. මෙහි පළමු පෙත්ත හැකි ඉක්මනට අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පැය 72ක් ගත වීමට පෙර ගත යුතුයි. දෙවන පෙත්ත පළමු පෙත්ත ගෙන පැය 12 කින් ගත යුතුයි. (උදා: පළමු පෙත්ත පෙ.ව 8.00ට ගත්තේ නම්, දෙවන ප.ව 8.00ට ගත යුතුයි.) ප්‍රධාන ආහාර වේලකින් පසු හෝ බිස්කට්, පාන් පෙත්තක් වැනි සුළු ආහාර වේලකින් පසු හෝ කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසු මෙය භාවිතය වඩා සුදුසු වේ. එසේ භාවිතයෙන් මෙමඟින් ඇතිවන ඔක්කාර තත්ත්වය බෙහෙවින් අවම කර ගත හැකිය. පෙත්ත ගෙන පැය 3ක් ඇතුළත වමනය ඇති වුවහොත් නැවත පෙත්තක් ගත යුතුය. නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් භාවිත නොකළ යුතුයි.

ලිංගික සංසර්ගයෙන් පසු වැඩි කාලයක් ගතවීමට පෙර මෙම පෙති ගැනීම වැඩි සාර්ථකත්වයකට හේතුවේ. මෙම පෙති ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ.

සංසර්ග කිහිපයකින් පසු පැය ගණනාවක් ගත වී ප්‍රොස්ටිනෝ ගෙන ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබී යා හැකියි.

අපි හිතමු ඔබ පාරේ හයියෙන් ගමන් කරනවා යැයි කියා. එහි නිසැකවම අවදානමක් තිබෙන්නට පුළුවනි. එහෙත් හැමදාමත් ඔබ හදිසියෙන් පාරේ ගමන් කළෝතින් කුමක් වෙයිද? හැමදාටමත් අවදානම ගන්න පුළුවන්ද? මේ නිසා හදිසි අවස්ථාවකදී හැරුණු කොට ඔබ උපත් පාලන ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුම වෙයි.

මෙවැනි අවදානමක් ගැනීම කොහෙත්ම සුදුසු නොවේ. යම් හෙයකින් පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් ඔබට පැලෝපීය නාළයත් නැතිව යාවි. ශල්‍ය කර්ම වලටත් යන්නට සිදුවේවි. ජීවිතය අවදානමකට ගෙන ඒම ද වළක්වා ගත නොහැකි වේවි. මිල මුදල්ද වැය වේවි.

සංසර්ගයෙන් පසුව කරනා හදිසි උපත් පාලන ක්‍රමයක් තබා ගත යුත්තේ හදිසි අවස්ථාවක් සඳහාම පමණක් බව වඩ වඩාත් අවධාරණය කළ යුතුවේ.

 

උපදෙස්:

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහළ

 

[email protected]