වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මහා අන්ත්‍ර සහ ගු ද මාර්ග පිළිකාවේ ගොදුරක් නොවන්නට නම්..

පිළිකාව යනු ගෝලීය වසංගත තත්ත්වයකි. ඒ අතුරින් මහා අන්ත්‍ර සහ ගුද මාර්ගික පිළිකාව ඔබට යම් ආගන්තුක බවක් ගෙන ඒවි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අපේ රටේ පිළිකා පිළිබඳ ඇති දත්ත සැලකිල්ලට ගත් විට පසුගිය වසර දහයක් මුළුල්ලේ පටන් මෙම පිළිකා වර්ගය ඇතිවීමට බලපාන ප්‍රවණතාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවී තිබේ. වසර දහයකට පමණ පෙර මෙම පිළිකා තත්ත්වය එතරම් පැතිර නොතිබූ එකක් වුවත් මේ වන විට එය 3 වන ස්ථානයේ පවතින පිළිකා වර්ගය ලෙස දැක්වේ. පළමු ස්ථානයේ පෙණහලු පිළිකාවත් දෙවැනි ස්ථානයේ පියයුරු පිළිකාවත් පවතී. මහාන්ත්‍ර සහ ගුද මාර්ගික පිළිකාව වළක්වා ගත හැකි තත්ත්වයක් බව ඔබ දන්නවාද?
මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගත හැකිවී නම් රෝගියාගේ ජීවිතයට ගුණාත්මක බවක් ගෙන දෙන්නට හැකි වනු ඇත. සෑම පිරිමි රෝගීන් 23: 1, සෑම කාන්තා රෝගීන් 26:1කට මෙම පිළිකා තත්ත්වය ඇතිවීමට පුළුවනි.
වළක්වා ගැනීම
මෙම රෝගී තත්ත්වය ආහාර ජීර්ණ පද්ධතියත් සමඟින් එක්ව පවතින නිසා අපේ ආහාර රටාවත් සමඟ සෘජුවම බද්ධ වේ. කාර්යබහුලත්වය සමඟින් ලෙහෙසියෙන්ම පිළියෙල කළ හැකි කෙටි ආහාර වර්ග දරුවන්ටද දීමට පුරුදුව සිටීම පිළිකා රෝගයන්ට අත වනන්නකි. එහෙත් අප ගත යුත්තේ තන්තු බහුල (පලා වර්ග වැනි) ආහාර වේලකි. ඒ මලබද්ධය ඇති නොවීමටයි. රතු මස් (ඌරු මස්, හරක් මස්)සහ සකස් කරන ලද මස් ( හැම්, බේකන්, සොසේජස්...) මෙම ආහාර මානව පිළිකාකාරක ආහාර ලෙස සැලකේ.
දැන් බහුතරයක් දෙනාට ඇත්තේ ක්‍රියාශීලී ජීවිතයක් නොවේ. බොහෝ දෙනා නවතින්නේ තිරයක් අසලයි. එනම් ජංගම දුරකතනයේ තිර, රූපවාහිනියේ තිර, පරිගණකයේ තිර ආදිය...අසලයි.
ක්‍රියාශීලී ජීවිතයක් ගත නොකිරීමද මෙවැනි රෝග සඳහා අත වනන්නකි.
අධික බර සහ තරබාරුකම, දියවැඩියාව වැනි රෝග තත්ත්ව ද මෙම රෝගයට හේතුවකි. ව්‍යායාම අත්‍යවශ්‍ය වේ.
දුම් පානය සහ මත්ද්‍රව්‍ය පානය
පවුල් ඉතිහාසයේ මෙම රෝගී තත්ත්වය ඇත්නම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයකින් එහි අවදානම වැඩිවේ.
ආන්ත්රික රෝග ඇති අයටද යම් අවදානමක් පවතී.
වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට මෙම රෝගය වැලඳීමට අවදානමක් පවතී. මෑත කාලීනව ඊට වඩා අඩු වයස්වල පුද්ගලයින්ද හඳුනාගෙන තිබේ.
ලොව පුරා මිලියන 1.9ක් පමණ අලුත් රෝගීන් සොයා ගන්නා අතර ඉන් 9000ක පමණ පිරිසක් මිය යයි. අපේ රටේද වසරකට ස්ත්‍රීන් හා පුරුෂයින් යන දෙපාර්ශ්වයෙන්ම 1500ක් 1600ක් බැගින් මෙම රෝගය ඇතිව සොයාගැනේ. පිළිකාව සඳහා වන මරණ අතුරින් පළමුවන ස්ථානයේ පෙණහලු පිළිකාව පසුවන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවයි.
මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නේ නම් සරල ප්‍රතිකාර, සරල ශල්‍යකර්ම මඟින් රෝගය නිට්ටාවටම සුව කළ හැකි වේ.
මූලික රෝග ලක්ෂණ
* මලපහ සමඟ රුධිරය පිටවීම (මෙසේ වීම හැමවිටම අර්ශස් රෝගය යැයි සිතා නොසිටින්න.)
* වැසිකිළි යෑමේ සාමාන්‍ය පුරුදු සති දෙකකට වඩා වෙනස් වන්නේ නම් (මලපහ වන ක්‍රමවේදය සහ මලපහවල සංඝටක) වෛද්‍ය උපදෙස් ගෙන එය පිළිකාවක් නොවන බවට තහවුරු කර ගත්තේ නම් ඕනෑම ප්‍රතිකාරයක් කරා යොමු විය හැකි වේ. යම් හෙයකින් එය පිළිකාවක් වූයේ නම් ඒ සඳහා ප්‍රතිකාර නිසි ලෙස ගත යුතුයි.
රෝග ආරම්භය
මහාන්ත්‍රයේ හෝ ගුද මාර්ග බිත්තියේ ඇතිවන මස් දල්ලක් (Polyp) කාලයත් සමඟින් පිළිකාවක් දක්වා වර්ධනය වේ. මේ නිසා කලින් හඳුනාගත හැකි පූර්ව පිළිකා අවධියක් පවතී.
වයස අවුරුදු හතළිහ පසුකළ අයකුගේ මෙම රෝගී තත්ත්වය ඇතැම් විට හට ගන්නට පුළුවනි. ගැටිත්තක් හැම විටම පිළිකාවක් නොවිය හැකියි. ගැටිත්ත ඉවත් කිරීම රෝගී තත්ත්වයන්ගෙන් මිදී සිටීමට හොඳම ක්රමයකි.
පරීක්ෂණ වර්ග
රෝගය හඳුනා ගැනීම සඳහා Colonoscopy පරීක්ෂණය කළ හැකිවේ.
උපදෙස් :
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි ප්‍රනාන්දු
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ
වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු