රෙසින් මවන සොඳුරු මතක

මැයි 19, 2025

තරුණී නුග සෙවණ සමඟින් හැමදාමත් ළෙන්ගතුයි. මේ ළෙන්ගතු බව නිසාම අපූරු වූ නිර්මාණයන් ඔබ වෙත රැගෙන එන්නට තරුණී නුග සෙවණ අමතක කරන්නේ නෑ. ඉතින් සඳුදා නුග සෙවණ අමතක කරන්නේ නෑ. ඉතින් සඳුදා නුග සෙවණ මෙවර තරුණී සමඟින් එක් වන්නේ අපූරු අත්කමක් ඔබ වෙත රැගෙන එන්නයි.

 

අද වන විට රෙසින් කලාව ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. ඊට හේතුව වන්නේ අවශ්‍ය ආකාරයට ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ සාදා ගැනීමට මෙමඟින් හැකියාවක් තිබීමයි. එලෙසම මෙම නිර්මාණවලට කාගේ වුවද සිත් ඇද ගැනීමේ හැකියාවක් ඇත.

 

මොනවද මේ රෙසින් කියන්නේ?

 

රෙසින් කියන්නෙ රසායනික ද්‍රව්‍යයක්. මෙම රෙසින්, අත්කම් නිර්මාණ සඳහා වෙ‍ෙළඳසලකින් මිලදී ගැනීමට හැකියාවක් ඇත. ඒ වගේම ඔබ මෙය භාවිත කිරීමේදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. නිර්මාණය සාදන විටදී මුව ආවරණයක් හා අත් ආවරණ පැලඳීම වඩාත් සුදුසු වේ. එසේම මෙය කුඩා දරුවන් සඳහා සුදුසු නොවේ.

 

නිර්මාණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය

 

1. Epoxy Resin

2. මිශ්‍ර කර ගැනීමට කප්

3. ලී කෝටු කිහිපයක්

4. මයිකා පවුඩර්

5. සිලිකන් මෝල්ඩ්

6. තරාදිය

7. Lighter එකක් හෝ gun එකක්

 

සාදා ගන්නා ආකාරය

 

මුලින්ම ඔබ ගන්නා ලද රෙසින් වර්ගය හොඳින් බලන්න. මේ වන විට වෙළෙඳපොළ තුළ මිශ්‍ර කිරීමේ අනුපාත අනුව වර්ග තුනකට රෙසින් පවතී. ඒවා නම් 1:1 අනුපාතය, 2:1 අනුපාතය සහ 3:1 අනුපාතය වේ. බෝතලයේ සඳහන් අනුපාතයට Hardner හා Resin තරාදියකින් මැන ගන්න. වායු බුබුළු අවම වන ආකාරයට සෙමින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු සිලිකන් මෝල්ඩ් එක ගෙන (මෙහි දක්වා ඇති රූපයේ අඟල් 4ක සමචතුරස්‍රාකාර මෝල්ඩ් එකක් භාවිත කර ඇත.) එය හොඳින් පිරිසුදු කරගන්න. ඉන්පසු මිශ්‍ර කර සාදාගත් රෙසින් මිශ්‍රණයට අවශ්‍ය වර්ණ හෝ දිලිසෙන කුඩු දමා රූපයේ ආකාරයට කැමති මෝස්තරයකට රෙසින් දමා ගන්න. මෙම නිර්මාණය සඳහා සුදු පාටින් සහ ගෝල්ඩ් පාටින් මයිකා පවුඩර් යොදා වර්ණ කර ගත් රෙසින් හා ගෝල්ඩ් පාටින් දිලිසෙන කුඩු යොදා වෙන වෙනම රෙසින් මිශ්‍රණ සාදා ගෙන තිබේ. එය රූපයේ ආකාරයට මෝල්ඩ් එකට දමා නිර්මාණය කර ගන්න. ඉන්පසු එය පැය 12- 24ත් කාලයක් වියළා ගැනීමට කාමර උෂ්ණත්වයේ තබන්න.

 

පෙර යොදන ලද රෙසින් ස්තරය වියළුණු පසු නැවතත් රෙසින් මිශ්‍රණයක් ගෙන එයට දමන්න. ඉන්පසු නිර්මාණයට යෙදිය යුතු photo එකක් ගෙන එය දමා ගන්න. අවශ්‍ය නම් කුඩා බල්බ් වැලක් දමා ගන්න. කැමති ඕනෑම දෙයක් (උදා :- අකුරු, මල්, සිප්පි) යොදා අලංකාර කර ගන්න. වායු බුබුළු මතු වී ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට lighter එකක් භාවිත කරන්න. පැය 24කට පසු මොල්ඩ් එකෙන් නිර්මාණය ගලවා ගන්න. එහි දාර මුවහතක් භාවිතයෙන් කපා සුමටව සකස් කර ගන්න. ලී ආධාරකයක් හෝ රෙසින්වලින් සාදා ගත් ආධාරකයක් භාවිත කර රඳවා ගන්න.

 

උපදෙස් -

අත්කම් නිර්මාණ ශිල්පිනී

සජිනි සංජනා