වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
පුරුෂාධිපත්‍යය දණ ගැස්වූ ප්‍රේමයේ දේශපාලනය !

ප්‍රසන්න විතානගේ චිත්‍රපට සියල්ල දේශපාලනිකය. ‘සිසිල ගිනී ගනී, අනන්ත රාත්‍රිය, පුරහඳ කළුවර, ඉර මැදියම, පවුරු වළලු, ඔබ නැතිව ඔබ එක්ක’ ආදී සෑම චිත්‍රපටයකින්ම අපට දේශපාලනික කියවීමක් ඇත.
ප්‍රසන්න මේ දේශපාලන කියවීම සඳහා අප පොලඹවනුයේ අතිශය මානුෂීක සබඳතාවන් ගැනද සංවේදීව සාකච්ඡා කරමිනි.
ඔහුගේ ඒ චිත්‍රපට අතරින් ‘ඔබ නැතිව ඔබ එක්ක ‘ චිත්‍රපටයේ සිලිවියා සහ සරත්සිරි අතර හටගත් අඹුසැමි ප්‍රේමයම ශෝකාන්තයක් ලෙස කෙළවර වීම පිටුපස පවතින දේශපාලනය හඳුනා ගනිමු. උතුරේ යුද්ධය සහ එහි විපාක පිළිබඳ සාකච්ඡා කරන ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය ඇරැඹෙන්නේ අතිශය සංවේදී මෙන්ම අපූර්ව ප්‍රේම වෘතාන්තයක ස්වරූපයකිනි.
චිත්‍රපටයේ මුල් රූප පෙළ තිරය මත පතිත වන්නේ සෙල්වි නමැති තරුණිය උඩු මහලේ ජනේලය අසල සිට ඈත අහසේ වලාකුළක් දෙස බලා සිටින රූප රාමුවකිනි.
සෙල්විගේ හඬ (පසුබිමෙන්)
‘ඔයාගෙ ආදරයට මං බයයි. ඔයාට හොඳ නෝනා කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ඔයාට භාගෙට ආදරය කරන්න මට බෑ. මට ඕනෙ ඔයාට මුළු හදවතින්ම ආදරය කරන්න.'
(ඡෙදනය)
සරත්සිරි පුටුවක හිඳගෙන ජනේලයෙන් ඈත බලා හිඳී.
සරත්සිරිගේ හඬ. (පසුබිමෙන්)
‘ ඇයි ඔයා මට මෙහෙම කළේ...? ඕනෑ කෙනෙක් එක්ක ඔයාට යාළුවෙන්න තිබුණා. කැමැති කෙනෙකුට ආදරය කරන්න තිබුණා. ඔයා මං දිහා එකපාරක් හැරිලා බලල හිනා වුණා නම්? '
මේ ආරම්භය සහ සංවාද ප්‍රේම ශෝකාන්තයක අන්තිම කෙළවර හඟවන අතිශය සංවේදී රූප රාමු කිහිපයකි. එහිදී ඔවුන්ගේ හැඟීම්බර කටහඬ, කැමරා ධාවනය, වර්ණය චිත්‍රපටයට ප්‍රවේශ වන්නට කෙරෙන ආදරණීය ඇරැයුමකි.
සිල්වියා යනු අතිශය තියුණු, කතා කරන දෑසක් සහිත හුරුබුහුටි දෙමළ යුවතියකි. උතුරේ යුද්ධයේදී සිදුවූ දකුණේ හමුදා ප්‍රහාරවලින් තම සහෝදරයන් අහිමිව, යුද්ධය නිසාම තම මවුපියන් සමඟ අවතැන්ව සිටියදී ඇයගේ ඥාතීන් ඇයට වඩා වයසින් වැඩි පුරුෂයකුට විවාහ කර දෙන්නට සූදානම් වූ මොහොතක සරත්සිරි නමැති හිටපු හමුදා සෙබළෙකු සිල්වියා විවාහ කර ගන්නේ ඇයට පිළිසරණක් වනු පිණිස බව අඟවමිනි. ඔහු රජයේ හමුදා සාමාජිකයකුව සිටි බව ඒ වන විට සිල්වියා දැන සිටියේ නැත.
උතුරේ ද්‍රවිඩ සටන්කාමීන් මර්දනය කරන්නට දායක වූ මේ සිංහල සොල්දාදුවාට සිල්වියාගේ දෑසේ කැල්ම, ඔහු තුළ පැවැති සිංහල ජාතිකවාදය පිළිබඳ ප්රශ්නය අමතක කරවන තරම් ප්‍රබල විය.
හමුදාවෙන් විශ්‍රාම ගිය පසු රන් භාණ්ඩ උකසට ගන්නා ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් කුම්මැහි ජීවිතයක් ගත කළ සරත්සිරි ආදරය හඳුනා ගන්නේ සිල්වියාගෙනි. එතෙක් ඔහු එම ආදරය සෘජුව ප්‍රකාශ කරමින් ඇය සමඟ ප්‍රේමය අත්විඳින්නට මැලි වූයේය. එසේ වූයේ හමුදා මානසික තත්ත්වය සහ සිංහල මහජාතිවාදය සමඟ මුසුවූ පුරුෂ බල පරාක්‍රමය විසින් ඔහු මෙහෙයවනු ලැබූ බැවිනි.
දිනක් සිල්වියාගේ ඉල්ලීම මත චිත්‍රපටයක් නරඹන්නට ඇය කැටුව යන ඔහු ආපසු එන්නේ ‘අපරාදෙ සල්ලි‘ කියාගෙනය.
ඉරිදා දිනෙක සිල්වියාට පල්ලියට යන්නට යෝජනා කළ විට ‘ඔයා යන්න‘ යි කියා ඇය යතුරු පැදියෙහි නංවාගෙන ගොස් පල්ලිය ඉදිරියේ බස්සවා ඔහු යන්නේ බාර් එකක තනිවම අරක්කු බොන්නටය. අනතුරුව පල්ලිය අසලට ගොස් ඇය මෝටර් සයිකලයේ නංවාගෙන එන ගමන් ඔහු ඇයගෙන් මෙසේ අසයි.
‘පල්ලි ගිහින් දෙවියන්ගෙන් මොනවද ඉල්ලුවේ? ‘‘
ඇයගේ නිහැඬියාව බිඳමින් ඔහු යළි මෙසේ කියයි.
‘ඔයාට දෙයියො කිසිදෙයක් දීලා නෑ.' එම ප්‍රකාශ මඟින් ඔහු ඇයට අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ඇයගේ ඉටුදෙවියා තමන් බවකි!
විවාහ වූ අලුත ප්‍රේමයෙන් ආනන්දයට පත්වන සිල්වියා මෙහෙකාරිය විසින් පිළියෙල කළ කෑම බඳුන් එකින් එක මේසය මත තබන්නේ තාලයකට නටමිනි. ඇය තම සතුට මෙහෙකාරී සමඟ බෙදාගන්නට ඇයත් තම නැටුමට එක්කර ගනිද්දී හදිසියේම එතැනට පැමිණෙන සරත්සිරි දැක තැති ගත්තාක් මෙන් නිහඬ වන්නේ එම දසුනින් ඔහුගේ මුහුණේ පිළිබිඹු වන නුරුස්නා බව දැකීමෙනි. එසැණින් ඇයගේ සිත පුරා ඉපිල ගිය සතුට අතුරුදන් වන්නේ සරත්සිරිගේ ඒ නරුම බැල්ම නිසාය. ඔහුගේ ඒ නරුම ප්‍රතිචාරයත් සමඟ ඇය නිදිකුම්බා මලක් ලෙසින් හැකිල ගියාය.
හදිසියේ සරත්සිරි සොයා නිවෙසට එන ඔහුගේ පැරැණි මිතුරකුගේ කතාවෙන් සරත්සිරි රජයේ හමුදා ක්‍රියාන්විතයේ යෙදී සිටියකු බව හෙළවීමෙන් සිල්වියා කැළඹෙයි. සරත්සිරිගේ මිතුරා හමුදා ක්‍රියාන්විතයේ යෙදී සිටියදී දෙමළ යුවතියක දූෂණය කළ බවත්, ඔහුට එරෙහිව හමුදා අධිකරණයේ පැවැති නඩු විභාගයේදී ඔහු ගලවා ගැනීමේ අදහසින් තමා බොරු සාක්කි කියූ බවත් සරත්සිරි විසින්ම පාපෝච්චාරණය කිරීමෙන් පසු සිල්වියා බලවත් කෝපයටත්, කම්පාවටත් පත් වූවාය. එම කම්පනය ඇය මානසික ව්‍යාධියකට ගොදුරු කරන්නට තරම් බලවත් වූයේ උතුරේ යුද්ධයේදී හමුදාව මඟින් ගුවනින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පාසලක ඉගෙන ගනිමින් සිටි ඇගේ සහෝදරයන් ඇතුළු ශිෂ්‍යයන් මිය යෑමෙන් ඇයට සිංහල හමුදාව කෙරෙහි ඇතිවූ වෛරය යළි ඉස්මතුවීම නිසාය.සරත්සිරි තම පුරුෂ බලපරාක්‍රමය තුළ සඟවාගෙන සිටි ආදරය එළියට පනින්නේ සිල්වියා විශාදියට පත්වීමත් සමඟය. ඒ අවස්ථාවේදී ඔහු තුළ කැකෑරෙන ආදරය ඇය ඉදිරියේ දණ නමන්නට තරම් බලවත් විය.
‘‘ඔයා මට ආදරෙයි කියනකම් මං මෙතැනින් හෙල්ලෙන්නේ නෑ‘‘ යනුවෙන් බිඳුණු හඬින් පවසමින් සරත්සිරි අවසානයේ සිල්වියා ඉදිරියේ දණ නමන්නට සිදුවීම ඔහු තුළ එතෙක් පැවැති පුරුෂ බලපරාක්‍රමය ඔහු තුළම දියවී යෑමකි.
අනාගතයේදී ධනවතකු වන්නට සිහින දකිමින් කුම්මැහියකු ලෙස ජීවත්වූ සරත්සිරි අවසානයේදී තමන් සතුව තිබූ සියලු දේපළ විකුණා දමා සිල්වියා සමඟ ඉන්දියාවට යන්නට කල්පනා කරන්නේ සිල්වියා මානසිකව සුවපත් කිරීමේ අදහසිනි.
එහෙත් සරත්සිරි තමන් සතු සියලු දේපළ විකුණගත් මුදල්ද එකතු කරගෙන සිල්වියා සමඟ ඉන්දියාවට යෑමට ගුවන් ප්‍රවේශපත් ද රැගෙන ආපසු නිවෙසට එද්දී ඇය ජනේලයෙන් එළියට පැන ජීවිතය අතහැර ගොසිනි. චිත්‍රපටයේ චරිත නිරූපණයෙහිලා අංජලී පාටිල්, සිල්වියා ලෙසත් ශ්‍යාම් ප්‍රනාන්දු, සරත්සිරි ලෙසත් පෑ පෙළහර ප්‍රශස්තය.