උත්සවයට යන්න ලස්සන ගවුමක්

ඔක්තෝබර් 24, 2022

 

පුංචි දූවරු වෙනුවෙන් අම්මාගේ දෑතින් මසාගත හැකි සරල විලාසිතාවක ගවුමකි. උත්සව අවස්ථාවකට අඳින්නට මේ විලාසිතාව සුදුසුයි.

 

ගවුම මැසීමට සැටින් හා නෙට් රෙදි භාවිත කර ඇත.

 

අවශ්‍ය මිමි

උරහිස අඟල් 13

කර වට අඟල් 12

යෝක් උස අඟල් 4

ඉණ දක්වා උස අඟල් 13

පපුව වට අඟල් 28

ඉණ වට අඟල් 27

අත දිග අඟල් 2

ඉණ වට අඟල් 28

සාය උස අඟල් 25

 

බ්ලවුසය සඳහා වෙන් කර නෙට් භාවිත කර ඇති නිසා පතරොමක් සාදාගත යුතුයි.

 

ඉදිරිපස

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

 

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.

 

E සිට පහතට පපුව දක්වා උස, ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත් කර හරහට රේඛා අඳින්න.

 

අත් කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත් කට රේඛාව යි.

 

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතු කර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. (ඩාට් තබා මසන්නේ නම් ඩාට් සඳහා එකතු කරගන්න.)

 

GI යා කර අංශය අඳින්න. අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩු කර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

 

මෙහි අත බැගී බ්ලවුස් එක ආකාරයට කපා ඇති නිසා උරහිස අඟල් 2ක් පමණ දික් කර කපා ගත යුතුයි.

 

පසුපස

පසුපස සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 1ක් හෝ 2ක් තබා නැම්ම අඳින්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 2ක් පමණ පහත් කර කපාගන්න.

 

යෝක් උස පහත් කර උරහිස් කෙළවර දක්වා ඇඳ කපා ගත යුතුයි. (ඉදිරිපස හා පසුපස යන කොටස් 2න්ම.) පසුව උඩ කොටස නෙට් එකෙන් කපාගන්න. (මැහුම් වාසි තබා) පහත කොටස ද මැහුම් වාසි තබා කපාගන්න.

 

වටේට යන ෆ්‍රිල් එක සඳහා වට ප්‍රමාණය මැන බයස් අතට කපා ගත යුතුයි. උස සඳහා අවශ්‍ය උසගන්න. එමෙන්ම නැම්මට තබා කපාගන්න.

 

ෆ්ලෙයාඩ් සාය

සාය සඳහා රෙදි කොටස පහතට දෙකට නමා නැවත ත්‍රිකෝණාකාරව නමන්න. ඉණ වට ප්‍රමාණය 3න් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AB වේ. AB පිළිතුර ට උස හා මැහුම් වාසි එකතු කර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපා ගන්න. මේ සායේ ඉදිරිපසට වඩා පසුපස දිගට ඇති බැවින් ඉදිරිපසින් මඳක් කපා ඉවත් කරගන්න.

 

සාය සඳහා නෙට් එක හා ගවුම සඳහා ගත් රෙදි කොටස් 2න්ම කපාගන්න. නෙට් එක කැපීමේ දී මඳක් වැඩි කර කපාගන්න.

 

මැසීම

ෆ්‍රිල් එක මැදි කර නෙට් එක හා බ්ලවුසය අල්ලා ගත යුතුයි.

කර පයිපිං කරන්න. පසුපස ට සිපරය හෝ බොත්තම් අල්ලා ගන්න. සාය කොටස් දෙක ඉණට අල්ලා ගන්න.

වාටිය කෝඩ් කරන්න.

ඉණට ඇති පටිය සඳහා ගැළපෙන වර්ණයකින් පටියක් තබා මසාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා දිලුෂි දසනායක