ජීවිතේ මලක් වගේ විකසිත කරගන්න ඔයාටම පුළුවන්

ජනවාරි 8, 2024

 

අපි හැමෝටම ජීවිතේ දුෂ්කර කාලයක් එනවා. දන්නවද? ඒ හැම දුෂ්කර කාලයක් ඇතුළෙම ඊට පිටිපස්සෙන් වසන්තයකුත් තියෙනවා. දුෂ්කර කාලවල වසන්තය වහගෙන ඉන්න නිසා අපිට ඒක පේන්නේ නැහැ. අපිට දුෂ්කර කාලයක් තියනකොට අපි සතුටු වෙන්න ඕනෙ. ඒ අපි දුක් විඳින එකට නෙමෙයි. ඊට පස්සෙ එන සුන්දර කාලේ මතක් කරලා.

අපේ හිතේ හයියට පුළුවන් ඕනෙම දෙයක් කරන්න. අපි එක තැන පල් වෙනවද? අපි ඉදිරියට යනවද? කියන දේ තීරණය කරන්නේ අපේ සිතුවිලි මත පදනම්වන හිත.

එහෙම හිතුවේ නැත්නම් ඔයා තව අවුරුදු කීයක් ගියත් ඔතනමයි. ජීවිතේ ඔයාව ලස්සනට සතුටින් තියන්න පුළුවන් ඕනම දෙයක් කරන්න. මේ ලෝකේ ඔයාට විතරයි ඔයාව සතුටින් තියන්න පුළුවන් එකම කෙනා කියලා ඔයා තේරුම් ගන්න දවසට ඔයාට ගොඩක් සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඔයාව රිද්දන්නෙ නැති එකම කෙනා ඔයා, ඔයා කැමති අකමැති දේවල් දන්න එකම කෙනා ඔයා. ඉතින් සතුටින් ඉන්න. ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න.

ජීවිතය දිනන්න නම් මේ ධනාත්මක සිතුවිලි අවශ්‍යයි. මතක් කරගන්න ඔයා ඉස්කෝලේ යන කාලේ එච්චර පෙනුමට ඉඳපු නැති, ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නැති ඔහේ ඉඳපු කෙනෙක් දැන් ලස්සන වෙලා පිළිවෙළට ඉන්නවා. එයාගෙ ඒ සාර්ථකත්වයත් පිටුපස තියෙන්නෙ ඩිප්ලෝමා, සහතික, උපාධි නෙමෙයි. පුංචිම පුංචි තැනකින් නැඟිටපු අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයි.

ඔයාගේ ජීවිතෙත් සාර්ථකකර ගන්න හොඳ අවස්ථාවක් අපි ලබාදී තිබෙනවා.

ඉතින් ඔයාටත් පුළුවන් මේ ලිපි පෙළ එක්ක එකතුවෙලා ලස්සන ජීවිතයක් ඔයාටම ලබා දෙන්න.

වියළි මල් කලාව ගැන කතා කරද්දී අපේ රටේ සහ ලෝකයේ මේ සඳහා හොඳ ආදායම් මාර්ග ගණනාවක්ම මේ වනවිටත් බිහි වී ඇති බව කිව යුතුමයි.

එබැවින් ඉහළ වෙළෙඳපොළක් ඇති මෙය ඔබටත් අත මිට සරු කරන ස්වයං රැකියාවක් බවට පත්කර ගත හැකියි. ඔබ මෙහිදී වියළි මල් කලාව පිළිබඳ ඉගෙන ගත යුතු වන්නේ මල් වියළා ගැනීම, වර්ණ ගැන්වීම සහ කල් පවත්වා ගැනීම ආදිය පිළිබඳවයි.

එහෙමනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ වියළි මල් කලාව කියන්නේ කියලා.

වියළි මල් කලාව ලෙසින් හඳුන්වන්නේ අප අවට පරිසරයේ ඇති ස්වභාවික මල් වර්ග වියළා නිර්මාණ බිහිකිරීමයි. ඒ ආශ්‍රිත ස්වභාවික කොළ ගෙඩි අතු වියළා නිර්මාණ සඳහා එකතුකර ගැනීමෙන් නිර්මාණයට වටිනාකමක් ලැබේ.

රෝස, කානේෂන්,බේබි ස්බ්‍රෙත්, එවර්ලාස්ටින් වැනි මල් වර්ග මේ සඳහා පහසුවෙන්ම ගත හැකියි. ඒ වගේම මානා වර්ග, පැන්පස්, තුත්තිරි, ෆයිනස් ගෙඩි, නෙළුම් මල් කෙමිය, කොක්මොට සහ විවිධ ලස්සන මල්, අතු, කොළ, ගෙඩි ආදී නොයෙකුත් දෑ භාවිත කරන්නට පුළුවන්.

වියළා ගන්නේ මෙහෙමයි,

මල් වර්ග වියළා ගන්නා විට පොඩි කිනිති එකතුකර ගැට ගසා ගත හැකියි. හිරු එළිය නොවැටෙන ස්ථානයක මෙය ක්‍රමානුකූලව අසුරා තැබිය යුතුයි. මෙය Dark room ක්‍රමය ලෙස හඳුන්වයි. මල් වර්ග ගැටගසා උඩු අතට එල්ලෙන සේ වේළා ගත හැකියි. තවත් මල්, කොළ, ගෙඩි වර්ග තම්බා වියළා ගැනීමත් සිදුකර ගන්නට පුළුවන්. එසේම නවීන තාක්ෂණය භාවිත කරමින් කෙමිකල් යොදා ගෙන ද වර්ණය වෙනස්කර ගත හැකියි. දුර්ලභ ගණයේ වටිනා මල් වර්ග සිලිකන් ජෙල් භාවිතකර වියළා ගන්නත් පුළුවන්.

මේ විදිහට වියළි මල් කලාවෙන් සිදුකරන නිර්මාණ පිළිබඳ ඉදිරි සතිවලදී කතා කරන්න සූදානම්.

උදා වූ නව වසරේ මේ අලුත් බලාපොරොත්තුව තුළින් සතුටින් සිටින්න යැයි ඔබට ආරාධනා කරන්නෙමු.

 

 

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්