ට්‍රෙන්ඩ් එකට කැමති අයට එලිෆන්ට් පෑන්ට්

ජනවාරි 8, 2024

නව වසරක උදාවත් සමඟ ජීවිතේ තවත් වගකීම් වැඩි වුණා නේද? අලුත් බලාපොරොත්තු, ඉලක්ක එක්ක යන ගමන බොහොම වෙහෙසකාරී විය හැකියි. ගතට මෙන්ම හිතටද වෙහෙසකාරී මේ ගමනේදී නිරන්තරයෙන්ම පුංචි වෙනසක් තිබිය යුතුයි. ඒ සඳහා ඔබ අඳින පලඳින විදිහේ ද වෙනසක් ඇති කරගන්න. එවිට ඔබ යන මේ ගමන හරිම සැහැල්ලුවෙන් ගිය හැකියි. නිදහස් මනසකින් ඔබේ ඉලක්ක කරාද ළඟා විය හැකියි.

තව පැත්තකින් පුංචි වෙනසකටත් එක්ක ඔබේ ඇඳුම් ඔබම මසා ගන්න. එය ඔබේ සාර්ථකත්වයට අත්වැලක්වනු නොඅනුමානයි.

මේ එලිෆන්ට් පෑන්ට් කලිසමකි. විවේකී මොහොතක මසා ගැනීමට ඔබත් උත්සාහ කරන්න.

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

ඉණවට අඟල් 30

ගොල්ෆි උස අඟල් 10

උස අඟල් 38

 

එලිෆන්ට් පෑන්ට් එක සඳහා ඉණ ඉලාස්ටික්කර ඇත. එය පතරොමෙන්ම නවා මසා ඇති අතර ඒ සඳහා ඉඩ තබාගත යුතුයි .

රෙදි කොටස බලවාටියට නවා ගන්න. අඟල් 1/2ක් මැහුම් වාසි තබා ඉලාස්ටික් සඳහා අඟල් 1 1/2 ක් හෝ 2ක් වෙන්කර ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න. වාටිය සඳහා අඟල් 1 1/2ක් තබා ගන්න. බලවාටියේ සිට ඉණ රේඛාවේ අඟල් 2 1/2ක් ලකුණු කරන්න. එය AB වේ.

බලවාටියේ සිට ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 1/2 ක් ලකුණු කරන්න. එය CD වේ. DB යා කරන්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා රැලි සඳහා අඟල් 2ත් 3 ත් අතර එකතු කරන්න. එය BF වේ.

F සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය FG වේ. අඟල් 1ක් හෝ 1 1/2 ක් ඇතුළටකර හැඩකර අඳින්න.

 

D සිට ගොල්ෆි වක්‍රය අඟල් 1 1/2ක් අඳින්න. ගොල්ෆි වක්‍රයේ සිට වාටිය රේඛාවේ අඟල් 1ක් ලකුණුකර අඳින්න. මැහුම් වාසි තබා

පොකට් එක ලකුණු කරන්නේ නම් F සිට ඇතුළට අඟල් 1ත් 2ත් අතර මිම්මක් ලකුණු කරන්න. එය FJ වේ. F සිට පහතට අඟල් 4ත් 5ක් ලකුණු කරන්න. එය FK වේ. KJ යාකර සාක්කුකට අඳින්න.

 

පසුපස

පසුපස සඳහා ද රෙදි කොටස නවා ගන්න. ඉදිරිපස පතරොම ඒ උඩින් තබන්න. ඉදිරිපස ගොල්ෆි රේඛාවෙන් අඟල් 2ක් වැඩි කරන්න. වාටිය නැම්ම රේඛාවෙන් අඟල් 1ක් වැඩි කරන්න. එම ලක්ෂ්‍යය යා කරන්න. ඉතිරි කොටස් ඉදිරිපස ප්‍රමාණයට කපාගන්න.

මෙලෙසින් මසාගන්න.

* පොකට් සඳහා වෙනම රෙදි කොටසක් කපා එය හොඳපිටින් තබා සාක්කු කටෙන් මසා ඇතුළට පෙරළා

ගත යුතුයි. පසුව පොකට් එක සාදා ගන්න.

* ගොල්ෆිය මසන්න. ඉදිරිපස හා පසුපස

* අංශය මසන්න. * ඉණ ඉලාස්ටික් කිරීම

සඳහා නවා මසා ඉලාස්ටික් යොදාගන්න.

* වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක

 

******************************

නූල් භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ අැයි?

ඇඳුම් සඳහා නූල් භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. වෙළෙඳපොළේ නොයෙක් වර්ගයන්ගෙ නූල් බහුලව ඇත. එයින් හොඳම වර්ගයක නූල් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. සමහර නූල් වර්ග සේදීමේදී වර්ණය යෑමක් සිදුවිය හැකියි. එවිට එම වර්ණය ඇඳුම්වලට වැදීමෙන් අපගේ ඇඳුම භාවිත කිරීමට අපහසුවක් විය හැකියි. එම නිසා හරි නමක් යටතේ ඇති නූල් වර්ග තෝරා ගැනීමට ඔබ අවධානයක් දිය යුතුමය.

අප ඇඳුම් සඳහා භාවිත කරනුයේ TKT 120 සටහන් වී ඇති නූල් වර්ගයයි. TKT යනු නූලේ ඇති ඝනත්වයයි. එය අප ඇඳුම් සඳහා වෙනස්කර භාවිත කරනු ලබනවා. බහුල වශයෙන් භාවිත වන්නේ TKT 120 නූලයි. එම නූල්වල ද වර්ග බෙදී ඇත. එනම් කොට්න්. පොලියස්ටර් නයිලෝන් වැනි කොටස්වලට බෙදී ඇත. ඔබට ගැළපෙන නූල් වර්ගය තෝරාගත යුතුයි .

නූල් ගැන සරලව අප සිතුවාට ඒ තුළ බොහෝ කරුණු අන්තර්ගත වී ඇත. එයින් මඳක් හෝ ඔබ දැනුවත්නම් ඔබට නූල් තේරීම පහසුය. එසේ නොමැතිව ඔබ මිලදීගත් නූල්වලින් ඔබට යම් ගැටලු මතුවිය හැකියි.

සෑම විටම උත්සාහගත යුතු මූලිකම කරුණ නම් හොඳම වර්ගයක් තෝරා ගැනීමයි. එවිට බොහෝ ගැටලු මඟහැරෙනු ඇත. මිල අඩුම දේ මිලදී ගන්නවාට වඩා හොඳම දේ තෝරාගැනීම නුවණට හුරුය. මිල අඩුම දේ තුළ ඔබට මුදලත් භාණ්ඩයත් දෙකම නැතිවිය හැකියි. එම නිසා අවධානය හා දැනුවත්කම ඉතාමත් වටී.

මේ වනවිට වෙළෙඳපොළෙත් නූල් මිල අධිකය. එම නිසා අවශ්‍ය දේ නිසියාකාරව තෝරාගත යුතුයි.

එමෙන්ම ඔබ නූල් තෝරා ගැනීමේදී රෙදිවල වර්ණයට ගැළපෙන අයුරින් තෝරාගත යුතුයි. එම නූල් වර්ග ඔබට මීටර් 1000, 2500, 5000 වැනි මීටර්වලින් මිලදී ගැනිමේ හැකියාව ඇත. එය ඔබේ ඇඳුම් සඳහා අවශ්‍ය ප්‍රමාණය අනුව මිලදී ගන්න.