වැලින් මලින් සරසමු වැලන්ටයින්

පෙබරවාරි 5, 2024

 

සමහරු අපිට ගහන ගල් එකතු කරලා අපි හදන්න ඕනෙ මාලිගා. නමුත් බොහෝ අය ඒ ගල්වලට තමන්ගේ හීනය බිමට සමතලා කරන්න ඉඩ දෙනවා. තමන්ගේ වටිනා ජීවිතය, වටිනාකම් විනාශ කරන්න, නැති කරන්න ඉඩ දෙනවා.

ඒ ගල්වලින් මාලිගා හදන්න ඕනෙ කියලා තේරුම් නොගෙන මිනිස්සුන්ට බයේ ජීවිතයෙන් පැන යන්න කටයුතු කරනවා. සැඟවෙන්න, පරාජය පිළිගන්න කටයුතු කරනවා.

මට බැහැ. මට නැහැ කියලා හිතලා අ⁣ධෛර්යවත් වෙනවා. හොඳට මතක තියාගන්න. ඒ ගල් ගහන මිනිස්සුන්ට ඕනෙත් ඒක කරන්න.

ඔබව ලේසියෙන් පරාජයට පත් කරන්න. ඔබට මුකුත් බැහැ කියලා ඔබට වැරදි අවබෝධයක් දෙන්න. ඕක කරන්න ඔයා සුදුසු නැහැ කියලා කියන්න.

ඉතින් සමහර අයත් කරන්නේම තමන්ට ගල් මුල් ගහන අයගේ අරමුණ ආසාව කැමැත්ත ඉටුකර ගන්න ඉඩ දීලා පරාජය පිළිගන්න එක.

"ඔයාට ඕක කරන්න බැහැ, ඔයාට ඕක ගැළපෙන්නෙ නැහැ. ඔයා ඕකට සුදුසු නැහැ". මේ විදිහට සමාජය කියන්නෙ ඔයාට ඒක පුළුවන් නිසා, ඔයා ඒකට සුදුසු නිසා ඔයාව මානසිකව වට්ටන්න වෙන්න පුළුවන්.

මේ සටහන කියවන ඔබට මේ බොහෝ දේවල් සිද්ධ වෙලා ඇති. අත්විඳලා ඇති. අත්විඳිමින් ඇති. මතක තියාගන්න. කිසිම කෙනෙක්ට තමන් දකින්න ආසා හීනය බිමට සමතලා කරලා දාන්න ඉඩ තියන්න එපා. එහෙම කරනවා නම් ඒකට වග කියන්න ඕනෙ ඒ අය නොවේ. කාගෙවත් වචන ක්‍රියාවන් නිසා තමන්ව අත් හරින්න එපා.

කවදාවත් අනෙක් අයට තමන්ගේ හීනය නැති කරා කියලා චෝදනා කරන තත්ත්වයට පත් වෙන්න එපා. තේරුම් ගන්න, සමාජය එහෙම තමා.

දැන් ඔයා වියළි මල් කලාවේ සෑහෙන දුරකට ඇවිත්. ඔයා මේ තිබ්බ අඩිය දැන් ආපස්සට ගන්වන්න කාටවත්ම බැහැ. ඔබ ලද දියුණුව දැක ඔබටම සතුටු වන්නට හැකියි. දැන්නම් ඉතින් පුංචි බිස්නස් එකකටත් අත ගහන්න පුළුවන්. ළඟ එන වැලන්ටයින් එකට මේ වගේ මල් සැරසිලි කීපයක් හදා ගත්තොත් හොඳ අලෙවියක් තියේවි. එහෙම වුණොත් ඔයාට සතුටින් වැලන්ටයින් සමරන්නත් පුළුවන්.

අද අපි කියලා දෙන්න යන්නේ ලේසියෙන් කරන්න පුළුවන් සැරසිල්ලක් ගැන. අපිට මේසයක් උඩකට තියාගන්න සැරසිල්ලක් ලෙස හදාගන්නත් පුළුවන්. වැඩියෙන්ම මෙයින් ලස්සන තියෙන්නේ අවුරුද්දේ එක එක මාසවල උත්සවාකාරයෙන් පවත්වන සාදවලදී දොරේ එල්ල ගන්න පුළුවන් ලෙස සාදා ගැනීමෙනි.

මේ සඳහා අපිට කැලෑවෙන් හොයාගන්න පුළුවන් වැල් කෑල්ලක් ගත හැකියි. අනිත් එක තමයි මේ වගේ සැරසිල්ලක් කරද්දි අපි අලංකරණය කරගන්න සරසනවා වගේම මේ නිර්මාණය කරන වළල්ල විතරක් අද වෙ‍ෙළඳපොළට සැපයුම් කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට නාගරික පරිසරයේ හොයාගන්න අපහසුයි. ඉතින් සැපයුම්කරුවන් හොයනවා. ඒ අවස්ථාවත් ඔබට ලබා ගත හැකියි.

එකම සැරසිල්ල අවස්ථානුකූලව කීපයකට පාවිච්චි කර වර්ණ වෙනස් කර නිර්මාණය කරන්න පුළුවන්. මේ වැල් කෑල්ල එක එක වර්ණවලට හමුවෙනවා. ගොඩක් කළු පාටයි. දුඹුරු පැහැයෙනුත් තියෙනවා. වැල් කෑල්ලේ සම්පූර්ණ පොත්ත ගිහිල්ලා සුදු පාට කොටස ගත්තත් අපිට මේක වර්ණ කරගන්න පුළුවන්. වර්ණ කරගන්නකොට ඒ අදාළ කාලයට අනුව, කරන වැඩේ අනුව වර්ණය වෙනස් කරගන්න පුළුවන්. සම්පූර්ණ වැල් කෑලි, ලොකු පොඩි ඒවා කලවමට ගෙන මේක අඹරලා වළල්ල හදන්නත් පුළුවන්. සම්පූර්ණ වැල් සාමාන්‍ය විදිහට ගන්නත් පුළුවන්. ස්වභාවයෙන් හැදිච්ච දේවල් අවුරුදු ගාණක් යනකම් දිරාපත් වෙන්නේ නැහැ. අවස්ථානුකූලව නැවතත් අලුත්වැඩියා කරගත හැකියි. දැන් වළල්ල හදාගෙන අවසන්. මෙය මංගල සැරසිල්ලක් ලෙස, අවස්ථානුකූල මල් බොකේ එකක් වෙනුවට පාවිච්චි කරන්න, සමහරවිට බිත්ති සැරසිල්ලක් ලෙස, දොර සැරසිල්ලක් ලෙස විශේෂයෙන් තව සති කිහිපයකින් එන වැලන්ටයින් සමරන්න ගන්න පුළුවන්. සමහරවිට තෑග්ගක් දෙනකොට ඉස්සර දෙන මල් කලඹ වෙනුවට මේ වගේ ලස්සනට තමන්ගේ අතින්ම නිර්මාණය කරපු එකක් වැලන්ටයින් දිනයේදී තිළිණ කරන්නත් හැකියි. දැන් සියුම් වර්ණ මල්, තද වර්ණ මල් ගෙන තමන්ගෙ නිර්මාණශීලිත්වය අනුව වළල්ල මත මල් රඳවා ගන්න.

වර්ණ තෝරා ගැනීම හරිම සීරුවෙන් කළ යුතු දෙයක්.

 

 

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්