කාර්යාලයට හැඩට යන්න හැඩකාර යුවතියන්ට

පෙබරවාරි 12, 2024

 

කාර්යාලයට හැඩට යන්න රැකියාවක් කරන යුවතියකට කොයිතරම් ඇඳුම් තිබුණත් ප්‍රමාණවත් වන්නේ නැති තරම්. දිනෙන් දින විලාසිතා ලෝකය හඹා එන ඕනෑම ඇඳුමක් ඇයට ගැළපෙන්නෙත් නැත. එබැවින් කාර්යාලයක රැකියාවක නියුතු යුවතියකට තම අභිමානය ඔප් නැංවෙන ඇඳුමකින් හැඩවීම වටී. මේ එවැනි ඇඳුමකි. මෙම පෑන්ට් එක කාර්යාල යුවතියකට කදිමට ගැළපේවි.

 

ඉණ වට අඟල් 30

උකුළ වට 36

ගොල්ෆි උස අඟල් 9

දණහිස දක්වා උස අඟල් 18

උස අඟල් 25

දණහිස වට අඟල්16

කකුල වට අඟල් 18

 

පෑන්ට් එක සඳහා ඉණ පටිය වෙනම සාදා ඇත. උසින් එම උස අඩුකර පෑන්ට් එක සාදා ගන්න.

රෙදි කොටස බළවාටියට නවාගන්න. අඟල් 1/2ක් මැහුම්වාසි තබා ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස, දණහිස දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න. වාටිය සඳහා අඟල් 1 1/2ක් තබා ගන්න. බළවාටියේ සිට ඉණ රේඛාවේ අඟල් 2 1/2 ලකුණු කරන්න. එය AB වේ.

බළවාටියේ සිට ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 1/2ක් ලකුණු කරන්න. එය CD වේ. DB යා කරන්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර එන රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BF වේ.

 

D සිට ගොල්ෆි වක්‍රය අඟල් 1 1/2ක් අඳින්න.

 

ඉණ රේඛාවත් ගොල්ෆි රේඛාවත් අතර මැද ගෙන හරහට රේඛාව අඳින්න. එය උකුළ රේඛාවයි.

ඉණ මිම්මේ මැද ලක්ෂ්‍යය්‍ ලකුණුකර එතැන් සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය GH වේ.

 

දණහිස වට හතරෙන් බෙදා එම පිළිතුර දණහිස රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. එය IJ වේ.

කකුල වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර වාටිය නැම්ම රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. එය KL වේ. දෙපස හැඩකර ඇඳ මැහුම්වාසි තබා කපාගන්න.

 

පසුපස

 

පසුපස සඳහා බළවාටියට ගෙන ඉදිරිපස පතරොමේන් ගොල්ෆියේ සිට අඟල් 2ක්ද දණහිස රේඛාවෙන් හා වාටිය රේඛාවෙන් අඟල් 1ක බැගින් වැඩිකර අඳින්න.

ඉණ පටිය සඳහා ඉණ වට ප්‍රමාණය මැන එම ප්‍රමාණයට මැහුම්වාසි එකතුකර දිගද උස අඟල් 4ක් ලෙස කපා එය දෙකට නවා සාදාගන්න.

 

මෙලෙසින් මසාගන්න

 

* ගොල්ෆි වක්‍රය මසන්න. (ඉදිරිපස හා පසුපස)

* ඉණ නවා මසා ඉලාස්ටික් කරන්න.

* අවශ්‍ය නම් පොකට් මැසිය හැකියි.

* අංශය මසාගන්න.

* කකුල මැද පහතට මසන්න.

* වාටිය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක