රෙසින් විස්කමෙන් මැවෙනා මුහුදු මනාලි

පෙබරවාරි 26, 2024

රෙසින් කලාව දැන් අත්කම් ක්ෂේත්‍රයට එතරම් අලුත් දෙයක් නොවෙයි. සල්ලි මවන අත්කම් කියද්දි කාටත් මුලින්ම මතක් වෙන්නේ රෙසින් කලාව. ඒ තරමට ස්වයං රැකියාවක් ලෙස කාන්තා ව්‍යවසායකත්වයට රෙසින් කලාවේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ නිසාම අද කවුරුත් කතාබහ කරන මේ රෙසින් කලාවෙන් හරි අපූරු නිර්මාණයක් ඉදිරිපත් කරන්න හිතුවා.

මුහුද තේමා කරගෙන නිර්මාණය කරන මේ බුක් මාක් එක ඔයාලත් හදලා බලන්න.

මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 1:2 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුලු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

සී තීම් එකට කරන මේ නිර්මාණය අලංකාරකර ගැනීම සඳහා සිප්පිකටු, මුහුදු වැලි සහ ගල් අවශ්‍ය වේ. මේවා මුහුදු වෙරළින් ලබා ගන්නත් පුළුවන් නැතිනම් වෙළෙඳසැල්වලින් මිල දී ගන්නත් පුළුවන්.

ඊළඟට තවත් කප් එකක් ගෙන ඒකට සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් දමා ගන්න. එයට මුහුදු වැලි, සිප්පිකටු සහ කුඩා ගල් කැට එකතු කොට හොඳින් මිශ්‍රකර ගන්න.

රූපයේ පරිදි මෝල්ඩ් එකක් ගෙන එයට සකසාගත් මේ මිශ්‍රණය දමාගෙන පැය 4ක් පමණ වියැළෙන්නට තබන්න. මේකට මුතු පබුළුවක්, කුඩා බෙල්ලෙක් එකතුකර ගත්තොත් තවත් ලස්සන වේවී.

දැන් වර්ණ සකසා ගත යුතුයි. රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. දැන් අපි වර්ණක සකසා ගනිමු. ඒ සඳහා කප් තුනක් ගෙන එකිනෙකට තද නිල්, ළා නිල් සහ සුදු යන වර්ණ එකතුකර ගන්න. ඒ එක් එක් කප්වලට මුලදී සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න.

දැන් මුහුදු වැලි, සිප්පිකටු යොදාගෙන මෝල්ඩ් එකට දැමූ ලේයර් එක මතට වර්ණක ලේයර් වශයෙන් එකතුකර ගත යුතුයි. මුලින්ම සුදු වර්ණය සිප්පිකටු ආසන්නයට ලේයරයක් විදිහට එකතු කරන්න. ඉන්පසු ළා නිල් වර්ණය එකතුකර අවසානයට තද නිල් වර්ණයෙන් ලේයර් එකක් දමා ගන්න.

දැන් වර්ණක අතර ඇති ලයින් ටික බ්ලෙන්ඩ් වෙන විදිහට ටූත් පික් එකකින් සකසා ගන්න. සුදු වර්ණක කොටසට ස්ට්‍රෝ එකක් අරගෙන මුහුදු රැලි එන විදිහට පිඹින්න. ඉන්පසු රූපයේ පරිදි ස්ටාර් ෆිෂ් කෙනෙක් එකතුකර ගන්න. දැන් මෙය පැය 24ක් පමණ වියැළෙන්න තබන්න.

දැන් ඔබට පුළුවන් අකුරු සහිත ස්ටිකර් එකක්, මාළුන්ගේ රූප සහිත ස්ටිකරයක් ඊට උඩින් අලවා ගන්න. ස්ටිකර් අලවා ගැනීමෙන් පසු නැවත රෙසින් ලේයර් එකක් උඩින් දමාගන්න. දැන් පැය කිහිපයක් වියැළෙන්න තබා නිර්මාණය මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. එයට නූල් ටසල් එකක් එකතුකර තවත් හැඩකර ගන්න.

 

ඡායාරූප - රුක්මාල් ගමගේ

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka