පුතුගේ තනියට ගිරා මලිත්තෙක්

මාර්තු 4, 2024

සිත් ඇදගන්නා ආකර්ෂණීය කුෂන් කවරයකට කතිර රටා ඔස්සේ මෙලෙසින් ජීවය දෙමු. අත්තක් උඩ සිටිනා ගිරා මලිත්තකුගේ දසුනකි. ඔබ කැමැති නම් මෙය පුතුගේ නිදන කාමරයට කදිමයි. මේ නිර්මාණය මැසීමේදී කොටු හැඩයට මෙන්ම රවුම් හැඩයට ලීවලින් සහ ප්ලාස්ටික්වලින් නිමවන ලද රාමුවක් භාවිත කළ හැකියි. කතිර රටා මැසීමට හොඳින් අත හුරු අයට රාමු අවශ්‍ය නොවේවි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟලට කොටු 10ක්, 11ක්, 12ක්, 14ක් හෝ 16ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක් නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

නිර්මාණය කිරීම

 

මෙම නිර්මාණය සෙන්ටිමීටර් 16.5 x සෙන්ටිමීටර් 16.5 ප්‍රමාණයට හෝ අඟල් 6.5 x අඟල් 6.5 ප්‍රමාණයට මසා ගත හැකියි. එසේ නොමැති නම් මෙය කොටු ගණන්කර මසා ගන්න පුළුවන්. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. නූල් පොටවල් දෙක භාවිතයෙන් මෙම නිර්මාණය මැසිය හැකියි. එසේම නිර්මාණය සඳහා ආපසු මැස්ම ද යොදා ගෙන තිබේ. ඒවා අදාළ සංකේත සහ වර්ණ මඟින් අප ඔබට ලබා දී ඇත. මේ නිර්මාණය මැසීමේදී මැස්ම තදින් ඇදීම නොකළ යුතු මෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. එය සමබරව පවත්වාගෙන යාමට සැලකිලිමත් වන්න. අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වෙන්නේ නූල් රෙදි කොටසට සම්බන්ධකර ගැනීම පිළිබඳවයි. ඒ අපි කතිර මැස්ම මැසීමේ දී කිසිවිටෙකත් ගැට නොදමන බැවිනි.

 

පළමුව මසන කතිර භාගය මසා එම නූල පිටුපසට ගෙන කොටු අතරින් යවා සකසා ගන්න.