අලුත් අවුරුද්දට සාදාගත හැකි කිරිබත් වර්ග

අප්‍රේල් 8, 2020

තට රතේ පිපුණු එරබදු මලින් හැඩවී, කොහාගේ සුමිහිරි ඇරැයුමින් සිංහල හිංදු අලුත් අවුරුද්ද සුපුරුදු පරිදිම උදාවේ.

එනමුදු එරබදු මල්වත්, කොහාවත් මේ රුදුරු ව්‍යසනයේ තතු නොදනී. ඔවුන් එදා මෙන්ම අදද තම යුතුකම් ඉටුකරමින් සිටි.

වෙනසකට ඇත්තේ වෙනදා මෙන් සතුට, සොම්නස, සූදානම අද අප තුළ නැතිවීම පමණි.

සුපුරුදු පරිදිම අලුත් අවුරුදු උදාව මෙන්ම නැකත් වේලාවන්ද එළැඹේ. මෙදා අතමිට මුදල් නොගැවසුණද, අලුත් ඇඳුම් පැලඳුම නොමැති වුවද සිත් යට සැඟවුණු අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ බලාපොරොත්තුව පහව ගොස් නොමැති බව අපි දනිමු.

නිවෙස්වලටම කොටුවී සිටින තරුණී පාඨක ඔබට තම ආදරණීයයන් සමඟින් මේ අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට සුපුරුදු අත්වැල සැපයීමට අප අමතක නොකළේ මේ දිනවල ඔබ පෙළෙන මානසික ආතතියෙන් මුදවාගැනීමේ අදිටනෙනි.

නියමිත සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් මෙම චාරිත්‍ර ඉටුකිරීමේ වගකීම ඇත්තේ ඔබටයි. එය ඔබට මෙන්ම රටට ද මේ මොහොතේ ආශීර්වාදයක් වනු ඇත.

අලුත් අවුරුදු උදාවත් සමඟ එළැඹෙන ආහාර පිසීමේ නැකතට අවම පහසුකම් යටතේ, ඉතාම සරල අයුරින් සකසාගත හැකි මේ කිරිබත් වට්ටෝරු කිහිපය ඉදිරිපත් කිරීමට තරුණී අදහස් කළේ තම නිවෙසේම ඇති ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සකසා ගතහැකි නිසාවෙනි.

සිංහල කිරිබත්

 

එදා හෙළ සිරිතට අනුව ඕනෑම සුබ කටයුත්තකට පිටත් වූයේ කිරිබත් අනුභව කිරීමෙනි. එමෙන්ම ඕනෑම සුබ මොහොතකට යොදා ගැනුනේද කිරිබත්‍ ය.

හෙළ සංස්කෘතියට අනුව ක්‍රියාකළ පැරැන්නන් අලුත් අවුරුදු චාරිත්‍රද එලෙසින්ම ඉටු කළේය. වර්තමානයේද එය එලෙසින්ම පවත්වා ගැනීම සතුටට කරුණකි. ඉතාම අඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතාම සරලව සාදාගත හැකි සිංහල කිරිබතකි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හෝ කැකුළු හාල් කිලෝ 1 ක්

මිටිකිරි කෝප්ප 6 ක්

අවශ්‍ය තරමට ලුණු

අවශ්‍ය තරමට වතුර

සාදන ක්‍රමය

සහල් හොඳීන් සෝදා තැම්බීමට අවශ්‍ය තරම් වතුර යොදා ළිප තබන්න. එයටම අවශ්‍ය තරම් ලුණු ද එක්කරගන්න. බත හොඳීන් තැම්බුණු පසු මිටිකිරි දමා හොඳීන් කලවම් කර ටික වේලාවකින් ළිපෙන් ඉවත්කර බඳුනකට දමන්න.

මෙය තුනීකර හොඳීන් නිවුණු පසු ඔබ කැමැති හැඩයකට කෑලි කපා සුදුසු බඳුනකට දමා කෑම මේසයට පිළිගන්වන්න.

 

----------------

 

මුං කිරිබත්

 

මේ හදිසි ව්‍යසන තත්ත්වය මත ගෙදරටම කොටුවී සිටින කුඩා දරුවන්ට එහි බරපතළකම ගැන වැටහීමක් නැත. වෙනදා මෙන්ම අලුත් අවුරුදු උදාව එනතෙක් ඔවුන් බලාසිටින්නේ නොඉවසිල්ලෙනි.

ඔවුන්ට පෝෂණය මෙන්ම ප්‍රතිශක්කීකරණය ද මේ දිනවල අත්‍යාවශ්‍ය ය. ශක්තිය මෙන්ම පෝෂණය සපිරි මුං ඇට මිශ්‍ර මේ කිරිබතට කුඩා දරුවන් බොහෝ ප්‍රියකරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

මුං ඇට ග්‍රෑම් 100 ක්

රස අනුව ලුණු

මිටිකිරි කෝප්ප 3 ක් පමණ

අවශ්‍ය තරම් වතුර

 

සාදන ආකාරය

මුං ඇට ටික ගරා හොඳීන් සෝදා වතුර බේරෙන්නට තබන්න. ඉන්පසු එය මඳක් කබලේ බැදගෙන හොඳීන් තම්බා ගන්න. එවිට කිරිබත රසය මෙන්ම ආකර්ෂණීය සුවඳකින් යුතුවේ. ඉන්පසු සහල් සෝදා අවශ්‍ය තරමට වතුර තබා රස අනුව ලුණු ද එක්කර හොඳීන් පිසගන්න. එයටම තම්බාගත් මුං ඇට, මිටිකිරි එක්කරන්න. වරින්වර හොඳීන් කලවම් කරමින් මුංඇට බතට හොඳීන් එකතු වනතෙක් මඳ ගින්දරේම තබා කිරිබත සාදා ගන්න. රයිස් කුකරයේ වුවද සදාගත හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී

සර්වදර්ශනී අප්සරා